Monday, January 19, 2026
Epaper
Home Highlightsසෙලෝලයිඩ් තිරයේ නූතන අතික්‍රමණය Father

සෙලෝලයිඩ් තිරයේ නූතන අතික්‍රමණය Father

by Shanaka Lakehouse

සිනමාව යනු අධ්‍යක්ෂකගේ මාධ්‍ය යැයි ප්‍රකට කියමනක් තිබේ. එහෙත් ඒ ප්‍රකට කියමන බැහැර වන අවස්ථාද නැතිවා නොවේ. මේ දිනවල සිනමාශාලාවල අසුන් ධාරිතාව ඉක්මවමින් ධාවනය වන ෆාදර් සිනමා වෘතාන්තයේ අධ්‍යක්ෂවරයා වන චමින්ද ජයසූරිය එම ප්‍රකට කියමන වෙනස් කළ අපේ පරපුරේ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු සිනමා කර්මාන්තයට ආගන්තුකයෙක් නොවේ. එහෙත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් එළිදැක්වුණු පළමු සිනමා වෘතාන්තය මෙයයි. ඔහුට අනුව මෙන්ම ඔහු වටා මෙම වෑයමට ගොනු වූ සියලු දෙනාගේද මතය අනුව මෙය සාමූහික වෑයමකි. පිටපත් රචනය, නිෂ්පාදනය, කලා අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය සහ වේෂ නිරූපණය, සංගීත අධ්‍යක්ෂණය සහ රංගනය එකී මෙකී නොකී සෑම අතකින්ම අති සාර්ථක යැයි කිව හැකි මෑත කාලයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක් ලෙස ෆාදර් නම් කළ හැකිය. මේ ඒ පිළිබඳ මෙහි අධ්‍යක්ෂ චමින්ද ජයසූරියගේ අදහස්ය. ඒ සිද්ධිය චිත්‍රපටයකට මරු කියලා මට හිතුණා.

 

සිද්ධිය චිත්‍රපටයකට මරු කියලා හිතුණා අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය

සැබෑ ලෝකයේ ජීවත් වන චරිතයක් සිනමාවට ගත් ආකාරය ගැන කීවොත්,

අපි කතා කරන්නේ මහ පොළොවේ ජීවත් වන ඇත්ත වීරයෙක් ගැන. කාලයක් පුරා මගේ ඔළුවේ මේ අදහස තිබුණා. ඉතින් ඒ සිද්ධිය චිත්‍රපටයකට මරු කියලා මං විශ්වාස කළා. ඒක ඕනෑම අයෙක් තර්කයකින් තොරව පිළිගනු නිසැකයි. මෙහි තිබෙන්නේ අභව්‍යයි සේ දැනුණාට සමාජයේ සිදු වූ ඇත්ත සිද්ධි.

මේ සඳහා පසුතල තෝරා ගැනීම අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම ලොකේෂන් තෝරා ගැනීම යම් කිසි අභියෝගයක් වුණා. ලොකේෂන් හන්ටින්වලදී අපි සෑහෙන මහන්සි වුණා. ඔරිජිනල් තැන්වල අපි මෙහි රූගත කිරීම් සිදු කරන්නට බැලුවත් අපට අත්හරින්න සිදු වුණේ ඒ ස්ථාන මේ මොහොතේ කාලයත් සමඟ වෙනස් වීම නිසා.

චිත්‍රපටයේ බොහෝ චරිත අදටත් ජීවමානයි. ඉතින් ඒ චරිත නිරූපණය කරද්දී තිබුණු අභියෝග ගැන කීවොත්,

ඒක ඇත්තටම විශාල අභියෝගයක්. මේ චිත්‍රපටයට පසුබිම් කරගත් ප්‍රධාන චරිතය ඇතුළු බොහෝ චරිත තවමත් අපේ සමාජයේ ජීවමාන චරිත. අපි වරදක් කළොත් ඒ මිනිසුන්ගේ ජීවිත උඩුයටිකුරු වෙනවා. ඉතින් අපට එහිදී පොඩි වරදක් හෝ කරන්නට අවසර නෑ. ඒ නිසා හරියට සිතා බලා හැම දේම නූලට මිම්මට කරන්නට අපට සිදු වුණා. කණ්ඩායමක් ලෙස අප ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් චිත්‍රපටය නිර්මාණය කළා. ඉතින් අපේ උත්සාහය සාර්ථක යැයි අපි විශ්වාස කරනවා.

ඔස්මන්ඩ් අයියා චිත්‍රපටය ගැන මොකද කිව්වේ..

ඇත්තටම ඔහු මේ ගැන ගොඩාක් සතුටු වුණා. “මේක මරු. මේ කතාව හරියටම දන්නේ මම නේ. ඒක ඔයා නියමෙට කරලා තියෙනවා.” යනුවෙන් පැවසූ ඔහු අපේ කතාව ගැන හැඟීම්බරව සතුටින් කතා කළා. ඔහුගේ පවුලේ සමාජිකයන් සමඟ ඔහුත් චිත්‍රපටයේ ප්‍රිමියම් එකට එක් වීම මට ලොකු සතුටක්.

ඔබගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස දැනුණු දේ කීවොත්..

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර නොතිබුණාට මම කාලයක් මේ ක්ෂේත්‍රය සමඟ කටයුතු කළ කෙනෙක්. නිර්මාණයට දායක වුණු හැම දෙනෙක්ම පාහේ මා දන්නා හඳුනන මගේ මිතුරන්. ඉතින් මෙය මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වුණත් මට එය අභියෝගයක්.

වසර තිහකට එහා අතීතයක් ගැන චිත්‍රපටයක් කරද්දී ඒ කාලය ගැන අධ්‍යනයක් කළාද?

අපි මේ චිත්‍රපටයට පාදක වූ සිදුවීම් හා සබැඳි මිනිස්සු හමු වුණා. ඒ සිදුවීම් දැක්ක අයගෙනුත් අදහස් ගත්තා. ඒ සිදුවීම් සිදු වුණු තැන්වලට ගියා. අපේ කතානායකගෙන් පවා අපි අදහස් විමසුවා. මෙම චිත්‍රපටයේ ඉතා කුඩා සිදුවීමක් පවා සමාජයේ සිදු වූ සත්‍ය සිදුවීම්. ඉතින් ඇත්තටම අපි නිසි අධ්‍යයනයකින් යුතුව මෙම කාර්යය සිදු කළා.

ඩෙස්මන්ඩ් කියන චරිතය වටා කොහොමද චිත්‍රපටය නිර්මාණය වුණේ?

ඔහු සාමාන්‍ය මනුස්සයෙක්. එහෙත් යම්කිසි මිනිසුන් ප්‍රමාණයකගෙන් ඔහුට එල්ල වූ තර්ජනය නිසා මෙවැනි මිනිසෙක් හැදෙනවා. ඒ කාල රාමුව තුළ තිබුණ දේශපාලන සහ සමාජ වටපිටාව ඊට බලපෑවා. එය එසේ නොවුණා නම් ඔහු ෆාදර් කෙනෙක්, ගුරුවරයෙක් වෙන්න තිබුණා. ඉතින් ඇත්තටම මේ සාමාන්‍ය මනුෂ්‍යයා සමාජය තුළ විශේෂිත මනුස්සයෙක් වෙන්නේ සමාජ වටපිටාව නිසාමයි. ඉතින් අපි රසිකයන්ට ඇරයුම් කරනවා චිත්‍රපටය බලලා මේ ගැන අවබෝධයක් ලබා ගන්න කියලා.

මේ කතාවට ෆාදර් කියන නම යෙදුවේ ඇයි?

ඇත්තටම විශේෂ හේතුවක් තිබුණේ නෑ. හැබැයි ඔහුගේ ආගමික ඇදහීම, ඔහු තාත්තෙක් වගේ දරුවන්ට දැක්වූ සැලකිල්ල, දරුවන් දිහා බැලූ ආකාරයත් මෙම චිත්‍රපටයට නම ලැබීමේදී හේතු වුණා කිව්වත් වැරදි නෑ.

අධ්‍යක්ෂවරයාගේ ආධිපත්‍යයෙන් මිදී සාමූහික වෑයමකින් ගොඩනැඟුණු ෆාදර් චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගේ සුසංයෝගයද නැවුම් පලතුරු එකතුවකින් සෑදුණු නැවුම් පලතුරු සලාදයක් සේ රසවත්ය. කලාගාර යැයි කිව හැකි ප්‍රවීණයන් රැසකගේ දායකත්වය මෙයට ලැබී තිබීම ද විශේෂත්වයකි. මීට පෙර සිංහල සිනමාවේ අතුරු චරිත රැසකට පණ පෙවූ පූජන දන්දෙණියගෙන් පළමුවරට හරියටම වැඩක් ගෙන ඇත්තේ චමින්ද ජයසූරිය යැයි කිවහොත් වරදක් නැත. ෆාදර් හි ඩෙස්මන්ගේ යොවුන් වියේ භූමිකාව පණ ලබන්නේ පූජනගේ රංගනයෙනි. සැබැවින්ම ඩෙස්මන්ඩ්ගේ චරිතයට අඩුවක් නැතිව සාධාරණය ඉටු කරන්නට ජූජන මෙහිදී සිය රංගන කෞශල්‍යය යොදා ගෙන ඇති බව අතිශයෝක්තියක් නොවේ.

සිංහල සිනමාවේ අප දන්න හඳුනන තරු රැසක් ෆාදර් චිත්‍රපටයේදී අපට මුණ ගැසෙයි. රංගන තරගයකට ඉදිරිපත් වී ඇත්තා සේ ඔවුහු මෙහි අද්විතීය රංගනයක නියැළෙති. ඇතැම් චරිතවලට මෙහි ලැබී ඇත්තේ තප්පර දහයක දොළහක රංග කාලයකි. සිංහල සිනමාවේ අහිංසක චරිත රැසකට පණ පෙවූ බිමල් ජයකොඩි මෙහි දුෂ්ටයාගේ චරිතයට පණ පෙවීමද කැපී පෙනෙයි. චිත්‍රපටය පුරා පූජන, ඩෙස්මන්ගේ යොවුන් වියට පණ පොවද්දී සෞම්‍ය ලියනගේ ඩෙස්මන්ගේ වැඩිහිටි විය රඟ දක්වන්නේ මිනිත්තු තුන හතරක් අප ඉදිරියේ දර්ශනය වෙමිනි. චාන්දනී සෙනෙවිරත්න, සුනෙත් චිත්‍රානන්ද, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුරාජ් මාපා, අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, ගාමින්ද ප්‍රියවිරාජ්, සනත් විමලසිරි ඇතුළු ප්‍රවීණ, යොවුන් රංගන ශිල්පිහු ශිල්පිනියෝ රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

විමල් කැටිපේආරච්චිගේ සොඳුරු පදවැල්වලට කුලුඳුලේම සිනමා කෘතියක ගී ගයන හදවතේ ගායක චාමර වීරසිංහ හඬ දෙන්නේ ද දෙසවන් හරහා රසික සිත්වලට වචනයෙන් කිව නොහැකි හැඟීමක් උපදවමිනි. පැය දෙකක කාලය, මිනිත්තුවක් දෙකක් ලෙස දැනෙන, හැඟෙන තරමට අප හදවත් සොරා ගන්නා ෆාදර් වත්මන් තරුණ පරපුර නුදුටු 70-80 දශකයේ මිහිරියාවට ඔවුන්ව ගෙන යන්නේ කියා ගත නොහැකි හැඟීමක් දනවමිනි. මිනි ගවුමින් හැඩ වුණු කෙල්ලන්, වටේට ටකරන් ගසා සාරි එල්ලූ මඟුල් මඩු, සාදවල මධුවිත සමඟ චියර් එකට ගැටෙන අසෝකා වීදුරු ඇතුළු 70-80 දශකවල අප සමාජයේ සැබෑ ස්වභාවය ෆාදර් දර්ශන තිරයෙන් අප නෙතට අතීත කාමය සිහිපත් කරයි.

තේ කෝප්පයට තේ කොළ වාගේ සාර්ථක සිනමා කෘතියකට නිෂ්පාදකයාගේ භූමිකාව ද නැතිවම බැරි එකකි. ෆාදර් සිනමා කෘතියේ නිෂ්පාදකයා ද බයිස්කෝප් පිස්සෙකි. ඔහුගේ නිෂ්පාදනයෙන් නිමැවුණු ෆාදර් ඔහුගේ බයිස්කෝප් පිස්සුව දෙගුණ තෙගුණ කරවන තරම් තෘප්තියට පත් කළ බව ඔහුගේ කතාබහෙන් අපට පසක් විය. මේ ෆාදර් ගැන එහි නිෂ්පාදක ශාන්ත ගීතදේවගේ අදහසයි.

ඔහු අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයෙක් මිස නරක චරිතයක් නොවේ.නිෂ්පාදක – ශාන්ත ගීතදේව

සිනමා කර්මාන්තයට ආවේ ඇයි?

මං ගැටවර වියේ ඉඳලාම චිත්‍රපට පිස්සෙක්. ඉතින් කවදා කෙසේ හෝ චිත්‍රපට නිර්මාණයකට දායක වීමට මට හීනයක් තිබුණා. ඒ අතරිනුත් මං වඩාත්ම ප්‍රිය කළේ ක්‍රියාදාම චිත්‍රපටවලට. ඒ වගේම ඔස්මන්ඩ් අයියා කියන්නේ මගේ හිතවතෙක්. එවන් පසුබිමක මේ පිටපත මගේ නෙත ගැටුණා. එහිදී නිසි අධ්‍යනයකින් පසුව මම මේ වැඩේට අත තිබ්බා.

ව්‍යාපාරිකයෙක් ලෙස ආධුනිකයන් කිහිප දෙනෙක්ම සිටින චිත්‍රපටයකට අත ගහන එක අවදානමක් ලෙස දැක්කේ නැද්ද?

නෑ. ඒකට හේතුව මං හැම තිස්සේම අවදානම් ගන්නට මැළි නොවුණු කෙනෙක්. ඒ වගේම මේ චිත්‍රපටයට දායක වූ ඇතැමුන් ආධුනිකයන් වුණත් ඔවුහු අති දක්ෂයි. ඒ බව මං හඳුනා ගත්තා. මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ ඒ දක්ෂතා එළියට ගන්න හැකිය යන විශ්වාසය මට තිබුණා. ඒ නිසා මේ පිරිසත් එක්ක මේ වැඩේ කරන්න මං එකතු වුණා.

මේ චිත්‍රපටයට දායක වූවන්ගේ වැඩි පිරිසක් යොවුන් වියේ පසුවෙනවා. යොවුන් වියේ පිරිස් එක්ක වැඩ කරද්දී දැනුණු හැඟීම ගැන කීවොත්..

ඇත්තටම මගේ සිරිතක් තිබෙනවා, මොන කටයුත්ත සිදු කළත් මං වැඩ කරන සමාජයට අනුරූපීව හැඩ ගැහෙන්නට. මං වයසින් මුහුකුරා ගිය කෙනෙක්. ඒත් මං තරුණ අය එක්ක වැඩ කරද්දී ඊට අනුරූපීව හැඩ ගැහෙන්නේ පුරුද්දට වාගේ. ඉතින් පූජන, අනුෂ්කි වගේ යෞවනයන්ගේ ඉඳන් සෞම්‍ය, බිමල් වගේ ජ්‍යෙෂ්ඨයින් එක්ක වැඩ කරන එක මට අපහසුවක් වුණේ නෑ.

ඔස්මන්ඩ් ෆිල්ම් එක ගැන මොකද කිව්වේ..

මං ඔස්මන්ඩ් අයියාගේ හොඳ හිතවතෙක්. මං ඔහුට කතා කරන්නේ අයියා කියලා. ඉතින් මේ චිත්‍රපටයේ පිටපත මට ලැබුණාම මං ඒ ගැන ඔහුගෙන් විමසුවා. එහිදී ඔහු කීවේ “පිටපත හොඳ නම් ඔයා ඒක කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ” යනුවෙන්. ඉතින් පිටපත කියෙව්වාම එහි ඔහුගේ චරිතයට හානියක් වන වචනයක් හෝ තිබුණේ නෑ. ඔහු අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයෙක් මිස නරක චරිතයක් නොවේ. ඒ නිසා අපි මේ වැඩේ කළා.

මේ කතාබහේදී ශාන්ත ගීතදේව අප සමඟ සිනමා කාර්යයකදී සාමූහික වගකීමේ වැදගත්කම ද පසක් කළේය. ඒ අනුව මෙහි නිෂ්පාදන කණ්ඩායමට තේ සපයන සේවකයා, වැසිකිළිය පවිත්‍ර කරන සේවකයාගේ සිට සියලු දෙනාගේ දායකත්වය ඔහු අගය කළේය. ඔවුන්ගේ කාර්යභාර්යය නොවන්නට රංගන ශිල්පීන්ගේ මුහුණුවර පවා නිර්මාණයට උචිත අයුරින් සකස් නොවන බව ඔහුගේ අදහස විය. ඒ අනුව ඔහු නිෂ්පාදන කණ්ඩායමේ සියලු දෙනාගේම සහයෝගය මේ කාර්යය සාර්ථක කර ගැනීමට හේතු වූ බව අප සමඟ ප්‍රකාශ කළේය.

සැබැවින්ම ෆාදර් චිත්‍රපටයේ සංගීත නිර්මාණය ද කතාබහට ලක් විය යුතුම මාතෘකාවකි. ඕනෑම චිත්‍රපටයක සාර්ථක අසාර්ථකභාවයට එහි හඬමුසුව දක්වන දායකත්වය සුළුවෙන් තැකිය නොහැකිය. ෆාදර් චිත්‍රපටයේ සාර්ථකත්වයට ද එහි සංගීත අධ්‍යක්ෂවරයාගේ දායකත්වය මනා රසයක් එක් කර ඇති පැහැදිලිවම පෙනී යයි. බොලිවුඩ්, කොලිවුඩ් හෝ යුරෝපීය ආරක චිත්‍රපටයකට නොදෙවැනි අමුතු රසයක් ෆාදර් තුළින් අපට දැනෙන්නට මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කළ චින්තක ජයකොඩිගේ දායකත්වය පිටිවහලක් වී ඇත. ඔහු මීට පෙර සම්මානනීය චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය සිදු කළ යොවුන් සංගීත අධ්‍යක්ෂවරයෙකි. 2012 වසරේ මවුස් චිත්‍රපටයෙන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන චින්තක ඝරසරප, තාල, පාංශු, හැපි බර්ත් ඩේ, යූ ටර්න්, දුස්රා, සිහින සමීකරණ, වාලම්පූරි, මාරියා ඇතුළු චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබේ.

මේ චින්තක ජයකොඩි අප සමඟ දැක්වූ අදහස්.

මෙහි කිසිම අනුකරණයක් නැහැ සංගීත අධ්‍යක්ෂ චින්තක ජයකොඩි

ඔබ දායක වුණු චිත්‍රපට අතරින් ෆාදර් වෙනස් වෙන්නේ කොහොමද?

ඇත්තටම මං සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් ෆාදර් තරමක් සුවිශේෂයි. මෙයට අපේ රටේ සමාජ, දේශපාලන ඉතිහාසයේ සිදු වූ ක්‍රිටිකල් සිදුවීම් රැසක් පාදක වෙනවා. ඒ වගේම මෙහි නිරූපණය වෙන්නේ එක් එක් කාල අවකාශයන්. විවිධ උත්සව අවස්ථා මෙහි තියෙනවා. මෙහි චරිත නිරූපණය, සිදුවීම් තරමක් සංකීර්ණයි. ඒ අනුව බලන විට මෙය දැවැන්ත වැඩක්. ඉතින් ඊට යෙදවිය යුතු කාලය සහ පරිශ්‍රමයත් දැවැන්තයි.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපට කර්මාන්තයේ මට සමීප සංගීත අධ්‍යක්ෂණය හා සබැඳි අයගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. කිහිප දෙනෙක්ම මට කතා කළා. ඒ හැම දෙනෙක්ම මට සතුට පළ කළා.

චිත්‍රපටය බැලූ බැල්මට ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂණය කළා වගේ වෙනස් රහක් තියෙනවා. ඔබගේම නිර්මාණයක් මෙතරම් රහට කළේ කොහොමද?

ඇත්තටම මෙය මගේම නිර්මාණයක්. මං කරන හැම වැඩකදීම අලුත් දෙයක් මිස අනුකරණ හෝ මං සිදු කළ පැරණි නිර්මාණයක් හෝ වෙනස් කර යොදා ගන්නේ නෑ. ෆාදර් චිත්‍රපටය සඳහාත් මං කළේ අලුත් වැඩක්. එය මටම අනන්‍ය වූවක් වගේම ඒ ඒ චිත්‍රපටයට අනන්‍ය වූවක් ලෙස මං නිර්මාණය කරනවා.

ගායනයට ආගන්තුකයෙක් නොවන ගායන ශිල්පියෙක් ලෙස අප කවුරුත් දැන හඳුනන චාමර වීරසිංහ ද සිනමා පසුබිම් ගායකයෙකු වන්නේ ෆාදර් චිත්‍රපටය හරහා ය. ඔහු ද අප සමඟ මෙසේ අදහස් පළ කළේය.

 

ඇරයුම ආදරයෙන් බාර ගත්තා පසුබිම් ගායක චාමර වීරසිංහ

රටම හඳුනන ආදරය දිනා ගත් ගායකයෙක් වුවත් ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ පළමුවතාවට. ඒ ගැන දැනෙන හැඟීම මොකක්ද?

ඇත්තටම චිත්‍රපටවල පසුබිම් ගායනා කිරීමේ සිහිනයක් මට කවදාවත්ම තිබිලා නෑ. මට මෙහිදී ඇරයුමක් ලැබුණා. ඒ ගීතය සුදුසු යැයි හැඟුණා. ඒ නිසා මං ඊට කැමැත්ත පළ කරමින් දායක වුණා. එහෙත් මෙය මම පසුපස හඹා ගොස් ලබා ගත් දෙයක් නොවේ.

මේ ආරම්භයත් එක්ක ඉදිරියේදීත් සිනමා පසුබිම් ගායනයට එක් වෙනවාද?

මීට පෙරත් මට මෙවන් අවස්ථාවලට ඇරයුම් ලැබුණා. මං ඇරයුම් බාර ගන්නේ මට සෙට් වුණොත් විතරයි. ඉතින් ඉදිරියේදීත් මට සෙට් වෙන ඕනෑම සිනමා කෘතියකට මං දායක වෙනවා.

මෙය ඔබගේ පළමු සිනමා අත්දැකීම නිසා එය ඔබට දැනෙන්නේ කොහොමද?

ඇත්තටම මේ කණ්ඩායම ගොඩක් හොඳයි. ඉතින් මෙහිදී හොඳ නිර්මාණයක් එළිදක්වන්නට මට හැකි වුණා. ඒ වගේම චමින්ද අයියා ඇතුළු මේ චිත්‍රපටයේ කණ්ඩායමට ස්තූති කරන්නට මං මෙය අවස්ථාවක් කර ගන්නවා.

චාමරගේ තේරීම පමණක් නොව මෙහි බොහෝ තෝරා ගැනීම් අභියෝගාත්මක තෝරා ගැනීම් බව පසක් කළ යුතුය. චමින්ද ඇතුළු කණ්ඩායම ඒ අභියෝගය ඉතා හොඳින් ජය ගෙන තිබේ. විශ්වජිත් කරුණාරත්න කැමරාවෙන් පාන පෙළහර, සිනමාරූපි භාෂාව චිත්‍රපටයක සාර්ථකත්වයට යොදා ගන්නේ කෙසේ දැයි පසක් කර සිටියි. අහිංසකයෙක් ලෙස සිංහල සිනමාවේ ප්‍රකට බිමල් ජයකොඩි දුෂ්ටයෙකු කරන්නට ඔහුගේ රංගනය මෙන්ම විශ්වජිත්ගේ කැමරා කෝණයන් ද හේතු වූ බව සැබෑවකි. මෙහි ලයිටින්, ෆ්‍රේමින්, ක්ලෝස් අප්ස් චරිත නිරූපණය සඳහා භාෂාවක් ලෙස සාර්ථකව යොදා ගෙන තිබීමද කැපී පෙනේ. මෙහි වේෂ නිරූපණය සහ ඇඳුම් නිර්මාණය ද විශිෂ්ටය. මෙහි දුෂ්ටයාට පණ පොවමින් ඥානේ චරිතය රඟ දක්වන ජගත් මනුවර්ණ මල්, කොළ සහිත ඇඳුමින් සරසන්නේ ද අපරාධය යනු සාමාන්‍ය සමාජයේම පවතින සංසිද්ධියක් බව මූර්තිමත් කිරීමට ය. චාමර කොඩිතුවක්කු සිය පිටපත හරහා ඉස්මතු කරන භාෂාව ද චිත්‍රපටයේ සාර්ථකත්වය මුවහත් කරවන සුළුය. බයිස්කෝප් සිනමා කෘතියෙහි ත්‍රිලර් ආකෘතිය නංවන්නේ ඒ භාෂාවෙනි. කෙසේ නමුත් අහිංසකයෙක් ලෙස සමාජයේ දිවි ගෙවූ ඩෙස්මන් අපරාධකරුවෙක් කරන්නේ සමාජය විසිනි. ඒ මුග්ධ සමාජතලය පිළිබිඹු කරන බයිස්කෝප් චිත්‍රපටයක් මිස මෙය දේශපාලන ප්‍රොපගන්ඩාවක් නොවන බව ද ඉඳුරාම පසක් කළ යුතුය.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?