මේ ගම්මානයේ සුන්දර උදෑසනක පහස විඳගනිමින් සිටින මට සිහියට නැඟෙන්නේ අප කවුරුත් කුඩා කලේ ආශාවෙන් මිමිනූ ගීතයකි.එම ගීතය නම්,
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කතා කියයි හෙමින්
හිරු එබෙයි එළිය දෙයි
කුරුලු ගී ඇසෙයි” යන්නයි
ගස් වැල් ඉතාමත් සාවධානව රහසින් කතා කරයි. අලංකෘත වූ මල් ඒවාට සවන් දෙන්නට මෙන් හෙමින් හෙමින් අවදි වෙයි. කුරුල්ලන් අහසේ රටා මවමින් නර්තනයෙහි යෙදෙන්නේ හිරු එළිය වැටීම නිසා අලංකාර වූ මෙම ගම්මානය නමැති සිතුවම දැකීමෙන්දෝ මට සිතෙයි.එපමණක් නොව ගම්මානයෙහි ඇති දේශීය සංස්කෘතික උරුමයන් එම අලංකාරිත්වයට මුසුවී හෙළ අභිමානය සිතට නංවයි.
මේ කියන්නේ ලෝකයෙන් සැඟවුණු, ප්‍රමාද වී හිරු නැඟෙන අපූරු ගම්මානයක් පිළිබඳවයි.
සුන්දර උදෑසනක පහස විඳගැනීමට ශ්‍රී ලාංකික අප කෙතරම් ආශා කරන්නේද?. නමුත් ශ්‍රී ලංකාවේ එක් ගම්මානයකට පමණක් උදෑසන එළඹීමට ප්‍රමාද වන බව ඔබට විශ්වාස කළ හැකිද? මෙම ගම්මානයේ හිරු උදාව ප්‍රමාද වුවද මෙහි ගැමියන් ඔවුන්ගේ ජීවිත ප්‍රමාද කර නොගනිමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට සමත් වී තිබීම ඉතාමත් ආදර්ශවත් වේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයෙන් කිලෝමීටර් 12ක් නුදුරින් පිහිටි මෙම සුන්දර ගම්මානය කොහුනාවලයි. මෙම ගම්මානයට ළඟාවීමට මාර්ග දෙකක් ඇත. එමෙන්ම ලෝකයෙන් සැඟවී ඇති මෙම ගම්මානය පිළිබඳ ආසන්නයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවද හරිහැටි දැනුවත් නැත. නමුත් සංචාරක ආකර්ෂණයක් දිනාගත් මඩොල්සිම ප්‍රදේශය ගමනාන්තයක් කරගන්නා සංචාරකයන්, මෙම සුන්දර ගම්මානයේද පහස විඳගැනීමට අමතක නොකරති.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම දිනකට පැය 12ක පමණ කාලයක් සූර්යාලෝකය ලැබෙයි. නමුත් මෙම ගම්මානයට හිරු එළිය ලැබෙන්නේ දිනකට පැය 6 පමණ කාලයක් පමණි. අනෙකුත් ප්‍රදේශයන්ට අලුයම 5 – 6 අතර සූර්යාලෝකය ලැබීම ආරම්භ වුවත් මෙම ගම්මානයට සූර්යාලෝකය ලැබීම ආරම්භ වන්නේ උදෑසන 10 ට පමණය. එමෙන්ම පස්වරු 4 පමණ වන විට නැවතත් ගම්මානය අඳුරෙන් වැසී යයි. මෙලෙස සිදුවීමට හේතුව වන්නේ ගම්මානය පැතිරුණු කඳු වළල්ලකින් වටවී තිබීමයි. එමෙන්ම අඩි 4500ක පමණ බෑවුමක මෙම ගම්මානය පිහිටා තිබීමද ඊට හේතුවකි. එබැවින් සූර්යයා උදාවී පැය 4ක පමණ කාලයක් සූර්යයා මෙම කඳු වළල්ලට වැසී තිබේ. සූර්යයා බැස යන විටද මෙම කඳු වළල්ලෙන් සූර්යයා ඉතා ඉක්මනින් වසා ගනියි.
ජනප්‍රවාද රැසකින් සමන්විත මෙම කොහුනාවල ගම්මානය වළගම්බා රජු සමයේ ආරම්භ වූ බව ගම්වැසියෝ පිළිගනිති. එනම් වළගම්බා රජුගේ කෝණාර ඇමැති යුද්ධයෙන් පරාජය ලබා පලා ගොස් සැඟව සිටි ගම්මානය ලෙස ගැමියන් පවසයි. ඔවුන් කෝණාර ඇමතිගේ පරම්පරාවෙන් පැවත එන බවත් මෙම පරම්පරාව රන්පත් මුදියන්සේලාගේ පරම්පරාව ලෙස හඳුන්වන බවත් ගැමියන් විශ්වාස කරයි. එමෙන්ම වෙල්ලස්ස කැරැල්ලට සහභාගි වූ මිනිසුන් අදටත් මෙම ගම්මානයේ ජීවත් වන බවද ගැමි විශ්වාසයයි.කෙසේ වෙතත් අදටත් පවුල් 48ක් මෙම ගම්මානයේ ඉතාමත් දුෂ්කර, සරල දිවි පෙෙවතක් ගත කරමින් ජීවත් වෙයි.කෙතරම් දුෂ්කර වුවද මෙම ගම්මානයට සංචාරක ආකර්ෂණයද හිමි වී ඇත්තේ ගම්මානය මනරම් දර්ශනයක් සහිත ගම්මානයක් බැවිනි.
එමෙන්ම ලෝකයේ සැඟවී සිටීමට ස්ථානයක් සොයන්නේ නම් ඒ සඳහා කදිම ස්ථානයක් වන්නේ මෙම කොහුනාවල ගම්මානයයි. සූර්යාලෝකය ලැබුණු විට මනරම් සිතුවමක් ලෙස මෙම ගම්මානය දිස්වෙයි. කෙතරම් සුන්දර වුවද මෙම ගම්මානයේ වැසියන්ට මෙහි ජීවත්වීම එතරම් පහසු නොවේ. මෙහි ඇත්තේ කඳුකර මාර්ග බැවින් ගමින් පිටවීමට හෝ ගමට ඇතුළු වීමට ගැමියන්ට අපහසු වේ. එමෙන්ම හදිසි රෝගියකු පවා රෝහලට රැගෙන යෑම දුෂ්කර වේ.
කොපමණ දුෂ්කරතා පැවතියද මෙම ගම්මානයේ දරුවන් කිහිප දෙනකුම විශ්වවිද්‍යාල වරම් ලබා තිබීම විශේෂත්වයකි. ආඩම්බරයට කරුණකි. එමෙන්ම එම ගම්මානයේ පාසලින් අකුරු කළ දරුවන් දෙදෙනකු වර්තමානයේ එම පාසලේම දරුවන්ට ගුරුහරුකම් ලබාදීමද විශේෂත්වයකි.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ගැමි බව, ස්වාභාවිකත්වය හොඳින්ම රැකුණු ගමක් ලෙස මෙම ගම්මානය පෙන්වාදීම නිවැරදි වේ. එමෙන්ම ගම්මාන අතරින් සුවිශේෂීමම ගම්මානයක් ලෙස මෙම ගම්මානය වාර්තාවලට එක්ව තිබේ. ඔබ යම් දිනක මෙම ගම්මානය විඳගැනීමට යන්නේ නම් එහි සුන්දරත්වය එලෙසින්ම ආරක්ෂා කරමින් නැවත පැමිණීම ඉතා වැදගත් වේ. එසේම කොහුනාවල විද්‍යාලයේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට හැක්කේ නම් එයද මහඟු වටිනාකමකි.
TEXT – ටිරුණී ඉමායා වීරසිංහ
