Monday, January 19, 2026
Epaper
Home Highlightsජලභීතිකාව මාරාන්තිකයි! දරුවන් සහ පවුල ආරක්ෂා කරගනිමු

ජලභීතිකාව මාරාන්තිකයි! දරුවන් සහ පවුල ආරක්ෂා කරගනිමු

by Shanaka Lakehouse

ජලභීතිකාව යනු ලොව පුරා වෙසෙන ක්ෂීරපායී සතුන් අතර පැතිර යන, සත්ත්ව ලෝකයෙන් මිනිසාට බෝවන භයානකම රෝගයකි. වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද, රෝග ලක්ෂණ මතු වූ පසු මෙම රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැත. එබැවින් ජලභීතිකාව සම්බන්ධයෙන් පවතින එකම විසඳුම “දැනුවත්භාවය සහ වැළැක්වීම” පමණි.

ජලභීතිකාව ඇති කරන්නේ Lyssavirus නම් වූ වයිරසයකි. මෙම වයිරසය ප්‍රධාන වශයෙන් සතුන්ගේ ඛේට ග්‍රන්ථිවල ජීවත් වේ. සතෙකු සපා කෑ විට හෝ සීරූ විට, එම කෙළවල ඇති වයිරසය මිනිස් සිරුරේ පටක තුළට ඇතුළු වී, එතැන් සිට ස්නායු පද්ධතිය දිගේ මොළය කරා ගමන් කරයි. එසේම වයිරසය මොළයට ළඟා වූ පසු මොළය ඉදිමීමට ලක් වන අතර, ඉන්පසු රෝගියා තුළ අසාමාන්‍ය චර්යාවන් ඇති වී මරණය සිදුවේ.

මවුපියන් වන ඔබ ඔබේ දරුවන් ජලභීතිකාවෙන් ආරක්ෂා කරගැනීමට ගත යුතු උපායමාර්ග වන්නේ, දරුවන් සතුන්ට දක්වන ආදරය සහ ඔවුන්ගේ කුතුහලය නිසා ඔවුන් ජලභීතිකාවට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතී. දරුවන් ආරක්ෂා කිරීමට ඔබේ දරුවාව මේ පිළිබඳව දැනුවත් කිරිම කළ යුතුය. එනම්, පාරේ යන හෝ අයිතිකරුවකු නැති සතුන් කිසිවිටෙකත් ඇල්ලීමට නොයන ලෙස දරුවාට අවධාරණය කරන්න. එසේම නිදා සිටින, ආහාර ගන්නා හෝ පැටවුන් පෝෂණය කරන බල්ලන් හෝ බළලුන් ඇවිස්සීමෙන් වැළකී සිටිය යුතුය. ඒවගේම නි‍ෙවසේ සුරතල් සතුන් සමඟ සෙල්ලම් කරන විට වුවද, සතාගේ මුහුණට මුහුණ දී සෙල්ලම් කිරීම හෝ සතාව බදා ගැනීම වැනි ක්‍රියාවලින් වැළකීමට කටයුතු කරන ලෙස පවසන්න. එවගේම තවද සතුන් ගැවසෙන ප්‍රදේශවල ඇවිදින විට දරුවාට සපත්තු සහ දිගු කලිසම් අන්දවා තැබීමෙන් සීරීම් සහ සපා කෑම් අවම කරගත හැකිය. මේවා තුළින් ඔබේ දරුවා ජලභීතිකා රෝගයෙන් මුදවගත හැකිය. එසේම තවද මවුපියන් වන ඔබගේ ප්‍රධානතම වගකීමක් වන්නේ බොහෝ දරුවන් බල්ලෙකු සැපූ විට බියට හෝ දඬුවම් විඳීමට ඇති අකැමැත්ත නිසා එය සඟවයි. මෙය ඉතා භයානකය. “සතෙකු සැපුවොත් හෝ සීරුවොත් මට වහාම කියන්න, මම ඔයාට බණින්නේ නැහැ” යන විශ්වාසය දරුවා තුළ ඇති කරන්න. එමඟින් ඔබේ දරුවා එය ඔබට පවසයි. එමඟින් රෝගය උත්සන්න වීමට පෙර දරුවාට ප්‍රතිකාර ලබා දිය හැකිය. මෙය කුඩා දරුවන් වගේම වැඩිහිටියන් වන ඔබත් මෙලෙස කටයුතු කිරීමෙන් ඔබේ නිවැසියන් ආරක්ෂා කර ගත හැකිය.

ජලභීතිකාව වැලඳුණු සතෙකු හඳුනාගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් බල්ලෙකුට ජලභීතිකාව වැලඳුණු පසු එම සතා දින 10-14ක් ඇතුළත මියයයි. එසේම රෝගී සතුන් ප්‍රධාන ආකාර දෙකකට හැසිරේ. එනම්,

 

ප්‍රචණ්ඩකාරී රෝගී සතුන්

මොවුන් ඉතාමත් නොසන්සුන් සහ කලහකාරීය. මොවුන් කිසිදු හේතුවක් නැතිව හමුවන ඕනෑම දෙයක් (ලී කැබලි, ගල්, මිනිසුන්) හපා කෑමට උත්සාහ කරයි. එසේම මොවුන් හඳුනාගැනීමට ඇති ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ කටින් කෙළ වැගිරීම සහ හකු පහළට වැටී තිබීමයි. තවද අසාමාන්‍ය ලෙස නොනවත්වා දිව යාමත් හා බිරීමේ හඬ වෙනස් වීම (කටහඬ ගොරෝසු වීම)යි. මේ තුළින් සාමාන්‍ය මිනිසුන්ට ඉතා ඉක්මනින් මොවුන් හඳුනාගත හැකිය.

නිහඬ රෝගී සතුන්

මොවුන් හඳුනාගැනීම වඩාත් අපහසු නිසා වැඩි අවදානමක් පවතී. එනම් සතා එක්තැන් වී අඳුරු තැන්වල සැඟවී සිටී. තවද කෑම ගැනීමට හෝ වතුර බීමට අපහසු වීම (උගුරේ යමක් හිරවී ඇති බව හිමිකරුට සිතිය හැකියි). තවද කට පියවීමට නොහැකි වීමත්, පසුපස දෙපා අප්‍රාණික වීමත් තුළින් මෙම රෝගය වැලඳි සතුන් හඳුනාගත හැකිය.

මෙම රෝගය බෝ විය හැකි අනෙකුත් සතුන්

බල්ලන් පමණක් ජලභීතිකාව පතුරවන බවට සමාජයේ වැරදි මතයක් ඇත. නමුත් පහත සතුන්ගෙන් ද රෝගය බෝ විය හැකිය. එනම් බල්ලන්ට පසුව ශ්‍රී ලංකාවේ වැඩිපුරම ජලභීතිකාව පතුරවන්නේ බළලුන්ය. තවද වනසතුන් වනමුගටියන්, හෝතඹුවන්, වඳුරන් සහ වවුලන්ගෙන්ද මෙම රෝගය බෝ විය හැකිය. එසේම ගවයන්, එළුවන් සහ ඌරන් වැනි සතුන්ව රෝගී බල්ලෙකු සපා කෑමෙන් උන්ට රෝගය වැලඳේ. එම නිසා මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.

මෙම රෝගය සහිත සතෙකු සපා කෑ විට හෝ සීරූ විට ගත යුතු පියවර නම්,

සතෙකු සපා කෑ වහාම සිදු කරන ප්‍රථමාධාරය ඔබේ ජීවිතය තීරණය කරයි. එහිදි ඔබ කළ යුත්තේ මුලින්ම තුවාලය සේදීමය. එහිදි සේදිය යුත්තේ ගලා යන නළ ජලයෙන් සහ සබන් යොදා විනාඩි 10-15ක් පුරා තුවාලය ඉතා හොඳින් සෝදන්න.

වයිරසය සබන්වලට සංවේදී බැවින් මෙය ඉතා සාර්ථක ක්‍රමයකි. ඉන් පසුව පිරිසුදු කළ තුවාලය මත Surgical Spirit හෝ Povidone-iodine (Betadine වැනි) ද්‍රාවණයක් ගල්වන්න. එසේම තවද වෛද්‍යවරයකු පවසන තුරු තුවාලයට මැහුම් දැමීම හෝ වෙළුම් පටි තදින් බැඳීම නොකළ යුතුය.

මේ සඳහා රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය. එහිදි ඔබ වහාම රජයේ රෝහලකට යන්නට හා එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්න. එහිදී ඔබට ලබා දෙන

ප්‍රධාන එන්නත් වර්ග දෙකකි:

ARV (Anti-Rabies Vaccine): සිරුරේ ප්‍රතිශක්තිය ඇති කර වයිරසය පරාජය කිරීමට ලබා දෙන එන්නත් මාලාව.

Serum (Rabies Immunoglobulin): තුවාලය දරුණු නම්, කෙළින්ම වයිරසය විනාශ කිරීමට තුවාලය අවට ලබා දෙන ද්‍රවණයකි.

ජලභීතිකා රෝගය වැළැක්වීමේ ක්‍රම වන්නේ,

ඔබේ නි‍ෙවසේ සිටින බල්ලාට හෝ බළලාට මාස 3 සම්පූර්ණ වූ පසු පළමු එන්නත ලබා දෙන්නට කටයුතු කරන්න. ඉන්පසු වසරක් පාසා බූස්ටර් එන්නත් ලබා දීම අනිවාර්ය වේ. මෙලෙස කටයුතු කිරීමෙන් ඔබේ දරුවන් හා පවුලේ අයත් වගේම සමාජයේ අනෙක් අයත් මේ රෝගයෙන් ආරක්ෂා වේ. ඒවගේම සුරතල් සතුන්ට පාරේ සැරිසැරීමට ඉඩ නොදෙන්න. එසේම ඔබ සතුන් සමඟ වැඩ කරන අයෙක් නම් (පශු වෛද්‍ය, සත්ත්ව ගොවිපළ සේවක), රෝගය වැලඳීමට පෙර ලබා ගන්නා එන්නත් මාලාව ලබා ගන්න.

සමාජය තුළ පවතින පොදු මිථ්‍යාවන් සහ සත්‍යය වන්නේ,

කුඩා සීරීමකින් මෙම රෝගය බෝ නොවේ යන්නයි. නමුත් සත්‍යය වන්නේ සම මතුපිට ඇති වන ඉතා කුඩා සීරීමකින් වුවද හෝ සමේ ඇතිවන තුවාලයක කෙළ තැවරීම හරහා වයිරසය ඇතුළු විය හැකි බවයි. ඒවගේම සමාජය තුළ පවතින තවත් මිථ්‍යාවක් වන්නේ බල්ලා එන්නත් කර ඇත්නම් බිය විය යුතු නැත යන්නයි. නමුත් ඔබ දැනගත යුතු සත්‍යයක් වන්නේ බල්ලා එන්නත් කර තිබුණද, පූර්ව ආරක්ෂාවක් ලෙස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සැමවිටම නුවණට හුරුය. එසේ නොවන්න ඔබ මිථ්‍යාවන් තුළ සිටිමින් කටයුතු කිරීමෙන් අහිමි වන්නේ ඔබගේ හා ඔබේ ආදරණීයයන්ගේ වටිනා ජීවිතයි. එම නිසා ඔබ වගකීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්නට වගබලා ගත යුතුය.

ජලභීතිකාව 100%ක් මාරාන්තික රෝගයක් වුවද, නිසි වේලාවට එන්නත් ලබා ගැනීමෙන් එය 100%ක් වළක්වා ගත හැකිය. සතෙකු සපා කෑ විට කිසිදු සාම්ප්‍රදායික රහස් වෙදකමකට හෝ මන්ත්‍ර ගුරුකම්වලට කාලය නාස්ති නොකර, වහාම බටහිර වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?