Monday, January 19, 2026
Epaper
Home Highlightsජංගම දුරකතනයට ඇබ්බැහි වී ඔබත් අන්ධ වී ඔබේ දරුවා ද අන්ධ නොකරන්න

ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඔබත් අන්ධ වී ඔබේ දරුවා ද අන්ධ නොකරන්න

by Shanaka Lakehouse

අතීතයේ මිනිසුන්ගෙන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා මොනවාදැයි විමසූ විට ඔවුන් පවසන්නේ ආහාර, නිවස, ඇඳුම් පැලඳුම් යනාදියයි. නමුත් වර්තමානය වන විට එයට තවත් එක් දෙයක් එක් වී ඇති බව සත්‍යයකි. එනම් සුහුරු ජංගම දුරකතනයයි (Smart Phone). සමීක්ෂණවලට අනුව මෙරට ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකතන තිබෙන බව සොයාගෙන තිබේ.එනම් මෙරට තුළ ජංගම දුරකතන භාවිතය කෙතරම් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බවට පත් වී ඇති ද යන්න එයින් ගම්‍ය‍ වේ.

වර්තමානය වනවිට ලොකු කුඩා සියලුම දෙනා එක ලෙස මෙම ජංගම දුරකතන භාවිතයට ඇබ්බැහි වී සිටින බව නොරහසකි.නමුත් එය අපගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි. ජංගම දුරකතනයෙන් අධ්‍යාපනයට, රැකියාවට සහ දෛනික ජීවිතයට විශාල වශයෙන් ප්‍රයෝජන ඇත. නමුත් එහි අනිසි ප්‍රතිඵල පිළිබඳ ද අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. ජංගම දුරකතන භාවිතය මඟින් ඔබේ ජීවිතයේ වටිනාම දෑ ඔබට අහිමි වේ.

කුඩා දරුවන්ගේ ඇස් පෙනීම හා කථන හැකියාව දුර්වල වේ.

මවුපියන් දරුවන් ආරක්ෂා කරන්නේ තමන්ගේ දෙනෙත මෙනි. නමුත් කුඩා දරුවන් පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා ඔවුන් ජංගම දුරකථනයට ඇබ්බැහි වේ. දැඩි ලෙස ජංගම දුරකතනයට ඇබ්බැහිවීම නිසා ඇස් පෙනීම, කථන හැකියාව ක්‍රමයෙන් දුර්වල වේ. වැඩි වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම නිසා ඇස වියළී යෑම නිසා දුර පෙනීම දුර්වල වේ.

බෝ නොවන රෝග රැසකට ගොදුරු වේ.

එකම ස්ථානයක සිට ජංගම දුරකතනය හෝ පරිගණකය දෙස බලා සිටීම නිසා බෝ නොවන රෝග රැසකට ගොදුරු වීමට සිදු වේ. කුඩා කල සිටම අනවශ්‍ය ලෙස රෝගවලට ගොදුරු වීම දරුවාගේ අනාගතයම අඳුරු කරවයි.

දරුවා ඔටිසම් තත්ත්වයට පත්විය හැකිය.

ජංගම දුරකතනයට ඇබ්බැහි වීම නිසා දරුවා බොහෝවිට හුදෙකලාව ජීවත්වීමට උත්සාහ කරයි. එම හේතුවෙන් දරුවා කිසිවකුත් සමඟ කතා කිරීමට, සිනාසීමට මැළිකමක් දක්වයි. එයින් දරුවා “ඔටිසම්” තත්ත්වයකට පවා ගොදුරු වීමේ හැකියාව ඇත.

විටමින් ඩී ඌනතාව ඇති වේ

නිරන්තරයෙන් කාමරයක සිටින ඔබේ දරුවාට හිරු එළියට නිරාවරණය වීමට හැකියාවක් නැත. එම නිසා ඔබට “විටමින් ඩී” වැනි විටමින් ඌනතාවන් ද ඇතිවිය හැකි ය. එය ද ශරීර සෞඛ්‍යයට කිසිසේත්ම හිතකර නොවේ.

දරුවන් බේරා ගන්නේ කෙසේ ද?

මවුපියන් තම දරුවන්ට කෑම කැවීමේ දී සහ හඬන විට නළවා ගැනීමේ දී බොහෝවිට ජංගම දුරකතනය භාවිත කිරීමේ ප්‍රවණතාවක් ද වර්තමානයේ දැකගත හැකිය. නමුත් එමඟින් ඔබේ දරුවා තව තවත් ජංගම දුරකතනයට ඇබ්බැහි වෙනවා මිස අන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලැබේ. ඒ වෙනුවට කතන්දරයක් කියා දෙමින්, ගීතයක් කියා දෙමින්, පරිසරයේ දේවල් විඳගනිමින් ආහාර ගැනීමට දරුවා පුරුදු කළ යුතු ය.

සෑම විටම දරුවන් ව්‍යායාම කිරීමට, විවිධ ක්‍රියාකාරකම් කිරීමට, අන්‍යයන් සමඟ ගනුදෙනු කිරීමට, සන්නිවේදනය කිරීමට හුරු කරවීම මඟින් ඔබේ දරුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වීම වළක්වා ගත හැකිය. එය සිදුකිරීම මවුපියන්ගේ සහ වැඩිහිටියන්ගේ වගකීමයි.

දරුවන්ගේ අනාගතයත්, වැඩිහිටි ඔබගේ අනාගතයත් සුබ කර ගැනීමට නම් මෙම වගකීම සුළුවෙන් නොතකා අකුරටම ඉටු කිරීමට උත්සාහ කළ යුතුය.

කුඩා දරුවන් පමණක් නොව, වැඩිහිටියන් ද වැඩි වේලාවක් ජංගම දුරකතනය භාවිත කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වීම සහ මානසික ආතතියට පවා ගොදුරු වේ. එමෙන්ම පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ දවසේ වැඩි වේලාවක් පරිගණකය පරිශීලනය නිසා උරහිස් වේදනාවන් හා කොන්දේ වේදනාවන්වලට ඔවුන් ගොදුරු වී ඇති බවයි. ඔවුන් ද තරුණ සමයේම බෝ නොවන රෝගීන් බවට පත් වීම වැළැක්විය නො හැකිය. බොහෝ විට තාක්ෂණ අංශයන්හි රැකියාවල නිරත වන වැඩිහිටියන් නිරන්තරයෙන් ජංගම දුරකතන,පරිගණක භාවිත කරයි. නමුත් තම රැකියාවට බාධාවක් නොවන පරිදි ඒවා කළමනාකරණය කර ගනිමින් තමන්ගේ දෙනෙත් මෙන්ම මානසික හා ශාරීරික සෞඛ්‍යය ද ආරක්ෂා කර ගැනීමට උත්සුක වීම ඉතාමත් වැදගත් වේ.

TEXT – ටිරුණී ඉමායා වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?