අමිලා හිතුවේ ගැස්ට්‍රයිටිස් කියලා. දිගටම බඩ පුරවා දාන ගතියක් තිබුණා. එයාට දවසක් දරාගන්න බැරි තරමටම ගැස්ට්‍රයිටිස් වැඩි වුණා. කාලයක් තිබුණ මේ ගැස්ට්‍රයිටිස් ගතිය එකපාරම වැඩි වුණේ ඇයි කියලා එයාට හිතාගන්න බැරි වුණා ඒත් අන්තිමට හිතපු නැති දෙයක් තමයි අහන්න ලැබුණේ. ඇයට ඩිම්බකෝෂ පිළිකාවක් කියලා වෛද්‍ය පරීක්ෂණවලින් දැනගන්නට ලැබුණා.
කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන, එහෙත් මුල් අවධියේදී හඳුනා ගැනීමට අපහසුම පිළිකාවක් ලෙස ඩිම්බකෝෂ පිළිකා හඳුන්වා දිය හැකියි. මෙය බොහෝ විට Silent Killer කෙනෙක් ලෙස හැඳින්වෙන්නේ රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නේ රෝගය තරමක් වර්ධනය වූ පසුව වීම නිසාය. ඉතින් අපි අද කතා කරමු ඒ ගැන.
මොකක්ද මේ Ovarian Cancer එකක් කියන්නේ?
කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියේ ගර්භාශයට දෙපසින් පිහිටි ආමන්ඩ් ඇටයක හැඩය සහ ප්‍රමාණය ඇති ඉන්ද්‍රියයන් දෙක ඩිම්බකෝෂ (Ovaries) ලෙස හැඳින්වේ. ඩිම්බ නිපදවීම (බිත්තර) සහ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිපදවීම සිදුවන්නේ මෙහිය. මෙම ඩිම්බකෝෂවල සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගෙඩියක් බවට පත්වීම ඩිම්බකෝෂ පිළිකාවක් ලෙස සරලව හැඳින්විය හැකියි.
Ovarian Cancer රෝග ලක්ෂණ මොනවද?
බොහෝ විට මුල් අවධියේ දී රෝග ලක්ෂණ නොපෙන්වයි. නමුත් පහත ලක්ෂණ සති දෙකට වඩා පවතී නම් සැලකිලිමත් වන්න.
👉 නිතර බඩ පුරවා දැමීම හෝ කැලතෙන ස්වභාවය (Bloating)
පිළිකා සෛල වර්ධනය වීමත් සමඟ උදර කුහරය තුළ තරලය එකතු වීම (Ascites) නිසා බඩ පිපුණු ස්වභාවයක් දැනේ.
👉 යටිබඩේ හෝ කොන්දේ වේදනාව (Pelvic or Abdominal Pain)
ගෙඩිය විශාල වීමත් සමඟ අවට ඇති ඉන්ද්‍රියයන්ට සහ පටකවලට තෙරපීමක් ඇති කිරීම.
👉ඉක්මනින් බඩ පිරෙන ගතිය සහ කෑම රුචිය අඩු වීම
විශාල වූ ඩිම්බකෝෂ හෝ උදරයේ එකතු වූ තරලය මගින් ආමාශය (Stomach) තෙරපීමකට ලක් කිරීම නිසා ස්වල්පයක් කෑවත් බඩ පිරුණු බවක් දැනේ.
👉 නිතර මූත්‍රා කිරීමට අවශ්‍ය වීම (Urinary Urgency/Frequency)
ඩිම්බකෝෂ පිහිටා ඇත්තේ මූත්‍රාශයට ආසන්නව බැවින්, පිළිකා ගෙඩිය මඟින් මූත්‍රාශය තෙරපීම නිසා නිතර මූත්‍රා පිට කිරීමට අවශ්‍ය වේ.
👉 මල බද්ධය හෝ පාචනය
පිළිකාව මඟින් අන්ත්‍රවලට බලපෑම් ඇති කිරීම.
කාටද වැඩිම අවදානමක් ඇත්තේ?
👉 වයස අවුරුදු 50-60 ඉක්ම වූ (ආර්තවහරණයෙන් පසු) කාන්තාවන්ට අවදානම වැඩිය.
👉 ජානමය බලපෑම (Genetics)
පවුලේ මවට, සොහොයුරියට හෝ ආච්චිට ඩිම්බකෝෂ හෝ පියයුරු පිළිකා වැලඳී ඇත්නම් (BRCA1 සහ BRCA2 ජාන විකෘතිතා).
👉 දරුවන් නොසෑදූ කාන්තාවන්
ජීවිත කාලය පුරාම දරුවන් නොසෑදූ කාන්තාවන්ට අවදානම තරමක් ඉහළය. (ගැබ් ගැනීම ඩිම්බකෝෂ පිළිකා අවදානම අඩු කරයි).
👉 එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis)
ගර්භාශ පටල පිටත වර්ධනය වීමේ රෝගී තත්ත්වය ඇති අය.
👉 හෝමෝන ප්‍රතිකාර (HRT)
ආර්තවහරණයෙන් පසු දීර්ඝකාලීනව හෝමෝන ඖෂධ භාවිත කිරීම.
හඳුනා ගැනීමේ පරීක්ෂණ මොනවද?
👉 ශ්‍රෝණි පරීක්ෂාව (Pelvic Exam)
වෛද්‍යවරයා විසින් අතින් ස්පර්ශ කර බලා ගෙඩියක් හෝ වෙනසක් ඇත්දැයි පරීක්ෂා කිරීම.
👉 Transvaginal Ultrasound (TVS) Scan
යෝනි මාර්ගය හරහා කරනු ලබන ස්කෑන් පරීක්ෂණය මඟින් ඩිම්බකෝෂවල අසාමාන්‍යතා බලාගත හැකියි.
👉 CA-125 රුධිර පරීක්ෂාව CA-125 යනු ඩිම්බකෝෂ පිළිකා සෛල මඟින් නිපදවන ප්‍රෝටීනයකි. මෙය ඉහළ යෑම පිළිකාවක් ගැන ඉඟියක් විය හැකිය. (නමුත් වෙනත් රෝග නිසාද මෙය ඉහළ යා හැකියි).
👉 CT / MRI Scans
පිළිකාව පැතිරී ඇති ප්‍රමාණය බලා ගැනීමට.
👉 Biopsy (පටක පරීක්ෂාව) ස්ථිරවම රෝගය තහවුරු කරගන්නේ ශල්‍යකර්මයක් මඟින් කොටසක් ගෙන පරීක්ෂා කිරීමෙනි.
ලංකාවේ පවතින කාන්තාවන් සඳහා විශේෂිත සායන (Well Woman Clinics)
ශ්‍රී ලංකාව පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාලවල “සුවනාරි සායන” (Well Woman Clinics) ක්‍රියාත්මක වේ. වයස අවුරුදු 35 සහ 45 පසුවන කාන්තාවන්ට මෙම සායන මඟින් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කරගත හැකි අතර, යම් සැක කටයුතු තත්ත්වයක් ඇත්නම් වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහල් වෙත යොමු කෙරේ.(මෙහිදී ඩිම්බකෝෂ පරීක්ෂාවක් සිදු නොවේ.)
Ovarian Cancer Stages (අවධීන්) සහ ඒවා වෙන් කරන්නේ ඇයි?
අවධීන් වෙන් කරන්නේ රෝගියාට ලබා දිය යුතු ප්‍රතිකාර තීරණය කිරීමට සහ රෝගයේ බරපතළකම වටහා ගැනීමටයි.
👉 Stage 1: පිළිකාව ඩිම්බකෝෂ (එකක් හෝ දෙකම) තුළ පමණක් පවතී.
👉 Stage 2: පිළිකාව ශ්‍රෝණිය (Pelvis) තුළ ඇති අනෙක් කොටස් (උදා: ගර්භාශය) වෙත පැතිරී ඇත.
👉 Stage 3: පිළිකාව උදරය (Abdomen) දෙසට හෝ වසා ගැටිති (Lymph nodes) වෙත පැතිරී ඇත.
👉 Stage 4: පිළිකාව අක්මාව, පෙණහලු වැනි දුරස්ථ අවයව වෙත පැතිරී ඇත.
ප්‍රතිකාර ක්‍රම සහ අතුරු ආබාධ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම දෙකකි
👉 ශල්‍යකර්ම (Surgery)
බොහෝ විට ගර්භාශය, ඩිම්බකෝෂ දෙකම සහ පැලෝපීය නාළ ඉවත් කිරීම (Hysterectomy with Salpingo- ophorectomy) සිදු කරයි.
අතුරු ආබාධ – දරුවන් ලැබීමේ හැකියාව අහිමි වීම, ක්ෂණිකව ආර්තවහරණයට ලක්වීම (Hot flashes, දහඩිය දැමීම).
👉 රසායනික චිකිත්සාව (Chemotherapy)
ශල්‍යකර්මයට පෙර ගෙඩිය කුඩා කිරීමට හෝ පසුව ඉතිරි වී ඇති පිළිකා සෛල විනාශ කිරීමට ඖෂධ ලබා දීම.
අතුරු ආබාධ: හිසකෙස් යෑම, වමනය, තෙහෙට්ටුව, රුධිර සෛල අඩු වීම (ආසාදන අවදානම).
ප්‍රතිකාර කළ හැකි ස්ථාන සහ මිල ගණන්
👉 රජයේ රෝහල් (නොමිලේ)
අපේක්ෂා රෝහල (මහරගම) පිළිකා සඳහාම විශේෂිත වූ ප්‍රධාන රෝහල
ශික්ෂණ රෝහල් (කරාපිටිය, මහනුවර, යාපනය, අනුරාධපුර වැනි ප්‍රධාන රෝහල්වල පිළිකා ඒකක ඇත.)
සියලුම පරීක්ෂණ, ශල්‍යකර්ම සහ ඖෂධ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දේ.
👉පෞද්ගලික රෝහල් (මුදල් ගෙවා)
කොළඹ සහ තදාසන්න ප්‍රධාන පෞද්ගලික රෝහල්වල පිළිකා රෝග විශේෂඥවරුන් හමුවිය හැකියි.
මිල ගණන්: මෙය රෝගයේ අවධිය සහ රෝහල මත වෙනස් වේ.
ශල්‍යකර්ම: රුපියල් ලක්ෂ 3 – 6 ත් අතර (හෝ ඊට වැඩි) විය හැකියි.
Chemotherapy: එක් වාරයක් (Cycle) සඳහා ඖෂධ වර්ගය අනුව රු. 50,000 සිට ලක්ෂ ගණන් දක්වා විය හැකියි.
PET Scan: රු. 75,000 – 100,000 පමණ විය හැකියි.
ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, බිය නොවී වහාම වෛද්‍යවරයකු හමුවන්න. මුල් අවධියේ හඳුනා ගැනීම ජීවිතය බේරා ගැනීමට ඇති හොඳම මාර්ගයයි.
