නැවුම් අරමුණු, බලාපොරොත්තු ගොන්නක් සිතෙහි රඳවා ගනිමින් නව වසරකට ඔබ මා දැන් පියමැන අවසන්. වසරක මුල් කාර්තුව සැබැවින් ම නැකැත් දිනයන්ගෙන් බහුල කාර්තුවකි. එබැවින් වසරක කුලුඳුල් කාර්තුහි විවාහ මංගල උත්සව ද වැඩි වශයෙන් සංවිධානය වේ. එහිදී මනාලියක් වීමට පෙර සූදානම් විය යුතු ආකාරය, මනාලියක් වීමට බලාපොරොත්තු වන යුවතියකට අතිශයින්ම වැදගත් වූවකි.මෙම ලිපියෙන් ඒ පිළිබඳ මනාව සාකච්ඡා කරමු.
විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීම එතරම් පහසු කටයුත්තක් නම් නොවේ. ඔබ බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් එහි සැරසිලි මෙන්ම අනෙකුත් අංගයන් උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරයි. නමුත් එයටත් වඩා මංගල දිනයට පෙර මනාලියකගේ පෙර සූදානම වඩාත් වැදගත් වූවකි. ලියක් “මනාලියක්” බවට හැඩගැන්විය හැක්කේ ඉන් පෙර ඇගේ සූදානම මතය. ලියක් මනාලියක් සේ හැඩගැන්වීමට නම් ඉන් පෙර ඇය සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් ඇත.
මනාලිය යනු කවුරුන් ද?
“මනා” යනු ඉතා හොඳ , පිළිවෙළ යන්න යි.”ලිය” යනු තරුණියයි. එනම් මනාලිය යනු ඉතා හොඳ , පිළිෙවළ තරුණිය යන්නයි. අප සමාජයේ බොහෝම මිනිසුන් මනාලිය යන්න ශබ්ද කරන්නේ මනමාලි ලෙසටයි. නමුත් සාම්ප්‍රදායික සිංහල වචනය වන්නේ උක්ත සඳහන් කරන පරිදි මනාලිය යන්නයි.
වැය කළ හැකි මූල්‍ය ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වන්න.
විවාහ මංගල උත්සවය යන්න සිංහල සමාජයේ අර්ථගන්වාගෙන ඇත්තේ ඉතා උසස් සැරසිලි, කෑම බීම, ඇඳුම් පැලඳුම්, නෑදෑයන්, හිතමිතුරන් සමඟින් මිශ්‍ර වූ වැඩි මුදල් ප්‍රමාණයක් වැය කළ යුතු උත්සවයක් ලෙසටය. ඔව්, ඔබට වැඩි මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාව ඇත්තේ නම් එවැනි උත්සවයක් සංවිධානය කිරීමේ කිසිදු වරදක් නැත. නමුත් එවැනි හැකියාවක් නොමැති අයකු පවා එවැනි විවාහ මංගල උත්සවයක් සඳහා මුදල් වැය කිරීම ඉතාම නුසුදුසු වේ.
වර්තමානයේ ඇතැමුන් තමා සතුව මූල්‍යමය හැකියාවක් නොමැති වුවද විශාල ණය මුදල් ලබා ගනිමින් තම විවාහ මංගල උත්සවය සැලසුම් කරයි. එයට හේතුව වන්නේ විවාහ මංගල උත්සවය පිළිබඳ සාවද්‍ය ලෙස අර්ථකථනය කරගැනීමයි. විවාහයෙන් පසු සාමකාමී තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම විවාහයේ අරුතයි. නමුත් එදින උත්සවශ්‍රීයෙන් සැමරීමේ හැකියාව එකිනෙකාට සාපේක්ෂ වේ. විවාහයෙන් පසු විවාහය වෙනුවෙන් ලබාගත් ණය මුදල මානසික පීඩනයකින් යුතුව ගෙවීමට සිදුවන්නේ නම් පෙර සඳහන් කරන ලද සාමකාමී තෘප්තිමත් විවාහ ජීවිතය ඔබට අහිමි වේ. එම නිසා ඔබට හැකි ප්‍රමාණය මනාව අවබෝධ කර ගනිමින් කළමනාකරණය කිරීමට ඤාණවන්ත වන්න.
ඇඳුම් මෝස්තරය
දෙවැනුව වැදගත්ම කාරණාව වන්නේ ඇඳුම් මෝස්තරයයි.පුද්ගලයකුගේ ශරීරයේ හැඩය මෙන්ම පෞරුෂය විදහා පාන ප්‍රධානතම අංගයක් ලෙස ඔහු හෝ ඇය භාවිත කරන ඇඳුම් පැලඳුම්විලාසිතා පෙන්වා දිය හැකිය. ඔබ මනාලියක් ලෙස හැඩ ගැන්වෙන විටද ඉතාමත් ඉහළින් අවධානය යොමු කළ යුතු අංගයක් වන්නේ ඔබේ ඇඳුම් පිළිබඳව යි. ඔබ ඔබේ ශරීරයේ හැඩය, ප්‍රමාණය පිළිබඳ ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුය. පසුව එයට අනුව ඔබට සුදුසුම මෝස්තරය තෝරා ගැනීම සිදුකළ යුතුය. එය ඔබට තනිව සිදුකළ නො හැකි නම් ඒ සඳහා ප්‍රවීණයකුගේ හෝ ඔබේ රූපලාවණ්‍ය ශිල්පියාගේ උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. මන්ද ඔබ කොපමණ මුදලක් වැය කළද එම මෝස්තරය ඔබට සුදුසු නොවන්නේ නම් ඉතා හොඳ, පිළිවෙළ තරුණියක් ලෙස ඔබට එදින හැඩවිය නොහැකිය.
රූපලාවණ්‍ය ශිල්පියා තෝරාගැනීම
ඔබ රූපලාවණ්‍ය ශිල්පියකු තෝරා ගැනීමේ දී වඩාත් සුන්දරව ඔබ ඔබම ලෙස හැඩගැන්වීමට දක්ෂ ශිල්පියකු තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. මේකප් යනු ඔබ හාත්පසින් වෙනස් පුද්ගලයකු බවට පත්කරන දෙයක් නොවේ. එය ඔබේ සුන්දරත්වයේ එලෙසම රඳවා ගනිමින් ඔබව වඩාත් සුන්දර කරවීමේ කලාවයි. ඒ පිළිබඳ මනා අවබෝධයක් සහිත රූපලාවණ්‍ය ශිල්පියෙකු ඔබ නුවණින් යුතුව තෝරාගත යුතුය. ඔබ පැහැපත් තලෙළු සමක හිමිකාරියක් නම් ඔබ එදිනද පෙනී සිටිය යුත්තේ එලෙසමය.
නැකැත් සහ චාරිත්‍ර
නැකැත් සහ චාරිත්‍ර යනු කෙනකුගේ ජීවිතය ඵලදායි ගමන් මඟකට රැගෙන යන දෙයකි. එබැවින් ඔබේ ජීවිතයේ සුන්දරම සහ වැදගත්ම දිනය නිවැරදි නැකැත් ක්‍රමවලට සහ චාරිත්‍රවලට අනුකූලව සංවිධානය කිරීමට අමතක නොකරන්න. එහිදී ජ්‍යොතිෂවේදීන් ලබාදෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීමට ද වගබලා ගන්න.
මීට අමතරව නීරෝගි සමක්, හැඩැති සිරුරක් පවත්වා ගැනීම ද මනාලියක් සේ හැඩ ගැන්වීමේ දී මූලික අවශ්‍යතාවකි. එහිදී නිවැරදි සහ ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔබේ පංචකල්‍යාණිය පවත්වාගෙන යාමට නිරන්තරයෙන් උත්සුක වන්න.
පහතින් දැක්වෙන්නේ සැළලිහිණි සන්දේශයේ සුන්දර කාන්තාවන් නිරූපණය කරන ආකාරයයි.
සිසි වන වුවන
ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ
රියසක යුරු තිසර තන
දුටු රන ලියෙව්
රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින්
නො වෙති දෙවඟන
වර්තමානයේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීම මානසික පීඩනයක් බවට පත් වී අවසන්. නමුත් මෙම කරුණු පිළිපැදීම තුළින් ඔබට ඔබේ මංගල දිනය කිසිදු මානසික පීඩනයකින් තොරව අලංකෘත මංගල දිනයක් ලෙස සංවිධානය කර ගත හැකි වනවාට නොඅනුමානය.
TEXT – ටිරුණි ඉමායා වීරසිංහ
