Monday, January 19, 2026
Epaper
Home Beautyඩැමේජ් වුණ කොණ්ඩෙට ආයෙත් පණ දෙන කෙරිටින් සත්කාරය…

ඩැමේජ් වුණ කොණ්ඩෙට ආයෙත් පණ දෙන කෙරිටින් සත්කාරය…

by Shanaka Lakehouse

සේද වන් සිනිඳු කෙස් කළඹක සිහිනය සැබෑ කරන කෙරටින් සත්කාරය පිළිබඳව සලකා බලන විට එය නූතන රූපලාවණ්‍ය ලෝකයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇති බව නොරහසකි. ස්වාභාවිකවම අපගේ කෙස් ගසක ව්‍යුහය සැකසී ඇති ප්‍රධාන ප්‍රෝටීනය වන කෙරටින්, අධික හිරු රශ්මිය, දුමාරය, ක්ලෝරීන් මිශ්‍ර ජලය මෙන්ම නිතර නිතර කොණ්ඩය වර්ණගැන්වීම සහ රත් කිරීම වැනි හේතු නිසා කාලයත් සමඟ කෙස් ගසෙන් ගිලිහී යයි. මෙලෙස කෙස් ගසෙන් ප්‍රෝටීන් ඉවත් වූ විට එහි ආරක්ෂිත පිටත ස්ථරය දුර්වල වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කොණ්ඩය පණ නැති වී, අග පැළී, වියළි පිදුරු ගොඩක් මෙන් රළු වන්නට පටන් ගනී. මෙවන් අවස්ථාවක කෙරටින් සත්කාරයක් ඔබේ රූපලාවණ්‍ය ලේඛනයට අත්‍යවශ්‍ය වන්නේ අහිමි වූ එම ප්‍රෝටීන් ස්ථරය නැවතත් කෘත්‍රිමව කෙස් ගස තුළට කා වැද්දීම මඟින් කොණ්ඩයට අභ්‍යන්තරිකව නව පණක් ලබා දිය හැකි බැවිනි. එය හුදෙක් කොණ්ඩය කෙළින් කරන ප්‍රතිකාරයකට වඩා, කෙස් ගස ප්‍රතිසංස්කරණය කරන ගැඹුරු පෝෂණීය සත්කාරයකි.

අතීතයේ කෙරටින් සත්කාරය සිදු කළ ආකාරයත් වර්තමානය වන විට එහි ඇති වී තිබෙන නව සොයාගැනීමුත් දෙස බැලූ විට තාක්ෂණික වශයෙන් විශාල පිම්මක් දැකගත හැකිය. මුල් අවධියේදී කෙරටින් සත්කාර සඳහා භාවිත කරන ලද නිෂ්පාදනවල “ෆෝමල්ඩිහයිඩ්” (Formaldehyde) වැනි සැර රසායනික ද්‍රව්‍ය අධිකව අඩංගු වූ අතර, එමඟින් සත්කාරය සිදු කරන අවස්ථාවේදී දැඩි දුමාරයක් සහ ඇස් දැවිල්ලක් ඇති විය. එය ඇතැම් විට හිස්කබලට සහ ශ්වසන පද්ධතියටද අහිතකර ලෙස බලපෑ හැකි බවට වෛද්‍ය මත පවා පළ විය. එහෙත් වර්තමානයේ නවීන රූපලාවණ්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ මෙම රසායනිකයන් ඉවත් කර “Formaldehyde-free” හෝ ස්වාභාවික ශාකසාර පදනම් කරගත් “Organic” කෙරටින් නිෂ්පාදන ලොවට හඳුන්වා දී ඇත. එදා කොණ්ඩය ඉතා තදින් අයන් කර කෘත්‍රිම ලෙස කෙළින් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ ද, අද පවතින “Nano-Keratin” වැනි තාක්ෂණයන් මඟින් ඉතා කුඩා ප්‍රෝටීන් අංශු කෙස් ගසේ ගැඹුරුම ස්ථර දක්වා ගමන් කරවා කොණ්ඩයේ ස්වාභාවික නම්‍යශීලී බව සහ සෞඛ්‍යසම්පන්න පෙනුම සුරැකීමට වැඩි අවධානයක් යොමු කරයි.

මෙම සත්කාරය මඟින් කෙස් කළඹට පුදුමාකාර පෝෂණයක් හිමි වේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ කෙස් ගස මතුපිට ඇති පලුදු වූ සිදුරු සහ පැළුණු තැන් කෙරටින් ප්‍රෝටීන් මඟින් පුරවා මුද්‍රා තැබීමයි. එමඟින් කෙස් ගස ශක්තිමත් වන අතර කොණ්ඩය කැඩී යෑම සහ නිතර ගැටගැසීම විශාල වශයෙන් පාලනය වේ. කොණ්ඩයට අමතර ආරක්ෂිත ආවරණයක් ලැබෙන බැවින් පරිසරයේ පවතින ආර්ද්‍රතාව (Humidity) නිසා කොණ්ඩය පිපිරී යන ස්වභාවය අවම වෙයි. කෙස් කළඹට සේද වැනි මොළොක් බවක් සහ කැඩපතක් මෙන් දිදුලන පෙනුමක් එක් කරයි. විශේෂයෙන්ම බොකුටු හෝ රැළි සහිත කොණ්ඩයක් ඇති අයකුට එම රැළි ස්වභාවය පාලනය කරමින් ඉතා පිරිසුදු සහ පිළිවෙළකට හැඩගැන්වූ පෙනුමක් ලබා ගැනීමට මෙය මහඟු පිටිවහලක් වේ. දිනපතා කොණ්ඩය අයන් කිරීමට හෝ හැඩගැන්වීමට වැය වන කාලය මෙයින් විශාල ලෙස ඉතිරි කරගත හැකිය.

කෙසේ වෙතත්, කෙරටින් සත්කාරයක් කිරීමෙන් පමණක් ඔබේ වගකීම අවසන් වන්නේ නැත. එම සාර්ථක ප්‍රතිඵලය මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පුරා පවත්වා ගැනීම සඳහා සත්කාරයෙන් පසු කළ යුතු වත්පිළිවෙත් හෙවත් “After care” අතිශයින්ම වැදගත් වේ. සත්කාරය කර අවසන් වූ පසු පළමු පැය 48 හෝ 72 තුළ කොණ්ඩය තෙත් කිරීමෙන්, හිස පීරීමෙන්, කන් පිටුපස රැඳවීමෙන් හෝ තදින් ක්ලිප් ගැසීමෙන් වැළකිය යුතුය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඔබ දිනපතා භාවිත කරන පිරිසුදුකාරක වර්ගයයි. කෙරටින් කළ කොණ්ඩයකට සාමාන්‍ය වෙ‍ෙළඳපොළේ ඇති සැර ෂැම්පු භාවිතා නොකළ යුතු අතර, ඒ සඳහාම විශේෂිත වූ සල්ෆේට් රහිත (Sulphate-free) සහ සෝඩියම් ක්ලෝරයිඩ් රහිත නිෂ්පාදන පමණක් තෝරාගත යුතුය. එසේම ක්ලෝරීන් මිශ්‍ර ජලය සහ ලුණු සහිත කරදිය කෙරටින් ස්ථරය ඉක්මනින් දිය කර හරින බැවින් පිහිනීමේදී හිස්වැසුම් පැලඳීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රායෝගිකව බලන විට, කෙරටින් සත්කාරයක් සඳහා ඔබේ කොණ්ඩයේ දිග සහ ඝනකම අනුව සාමාන්‍යයෙන් පැය 3ක් හෝ 5ක් වැනි කාලයක් වැය විය හැකිය. ලංකාවේ පිළිගත් රූපලාවණ්‍යාගාරයක මෙවැනි සත්කාරයක් සිදු කර ගැනීමට යන පිරිවැය රුපියල් 15,000 සිට 50,000 දක්වා හෝ ඊට වැඩි විය හැකි අතර, එය භාවිත කරන නිෂ්පාදනයේ ගුණාත්මකභාවය මත තීරණය වේ. ලාභදායී මිලකට කරන ප්‍රමිතියෙන් තොර සත්කාර මඟින් කොණ්ඩ තාවකාලිකව ලස්සන වුවත්, පසුකාලීනව දැඩි ලෙස කොණ්ඩය හැලී යාම වැනි හානි සිදුවිය හැකිය. එබැවින් සැමවිටම විශ්වාසවන්ත, පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියකු තෝරා ගැනීමත්, ඔබේ කොණ්ඩයට භාවිත කරන නිෂ්පාදනය කුමක්දැයි විමසා බැලීමත් නීරෝගි කෙස් කළඹක් හිමි කර ගැනීමට අතිශයින්ම වැදගත් වේ. නිසි ලෙස නඩත්තු කරන්නේ නම්, කෙරටින් සත්කාරය යනු ඔබේ කෙස් කළඹට ලබා දිය හැකි වටිනාම ආයෝජනයක් වනු නිසැකය.

 

TEXT – සහන් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?