Wednesday, January 28, 2026
Epaper
Home Highlightsඉඩමක අයිතිය සහ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී අත්‍යවශ්‍යම ලේඛනය

ඉඩමක අයිතිය සහ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී අත්‍යවශ්‍යම ලේඛනය

by Shanaka Lakehouse

නි‍ෙවසක් තැනීම, ඉඩමක් මිලදී ගැනීම සුළුවෙන් තැකිය යුතු කාරණාවක් නොවේ. නිසි පරිදි ඉඩම් කඩම් හා දේපළවල හිමිකාරීත්වය නොදැන මාස ගණන්, අවුරුදු ගණන් දක්වා දීර්ඝ වන නඩු විභාග අද ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. එමෙන්ම ඉඩම් නඩු දුර දිග යාමෙන් පවුල් අතර, මිතුරන් අතර, අසල්වාසීන් අතර ආරවුල් ඇතිවීමෙන් මිනී මැරුම් ඇති වන තත්ත්වයට පවා මිනිසුන් සාහසික වන අවස්ථා අද සමාජය අසන්නට දකින්නට ලැබේ.

එම නිසා ඉඩකඩම් මිලදී ගැනීමේදී හෝ ඉඩකඩම් පවරා ගැනීමේදී අප විසින්ම ඉඩම්වල නියම හිමිකාරීත්වය, භූමි භාගයේ ප්‍රමාණය, මායිම් සීමා ආදිය දැනගෙන සිටීම ඉතා වැදගත් වෙයි. හිමිකාරීත්වය ගත්කළ වර්තමාන හිමිකාරීත්වය පමණක් නොව පරම්පරාවෙන් පරම්පරාවට ඉඩම් හිමිවූයේ කෙසේද , කාගෙන්ද? ආදී යන කාරණා දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම මූලික කාරණා සියල්ල විසඳා ගත හැකි ක්‍රමයක් ලෙස පත්තිරු පරීක්ෂාව හැඳින්විය හැකිය. නමුත් මෙම බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු හිමිවන පත්තිර පරීක්ෂාව පිළිබඳව බොහෝ දෙනා තුළ දැනුවත් භාවයක් නැත. පත්තිරු බැලීම යනු කුමක්ද? ඒ පිළිබඳව අනෙක් මූලික දැනුම හා අවබෝධය ලබා ගැනීම වඩා යෝග්‍ය වේ.

පත්තිරුවක් කියන්නේ මොකක්ද?

පත්තිරුවක් යනු අප සතු හෝ අප මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඉඩමක් සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ඇතුළත් වූ විස්තරයකි. එය ඉංග්‍රීසි භාෂාවෙන් Folio ලෙසින් හඳුන්වනු ලබයි. පත්තිරුව තුළ මූලික වශයෙන් ඉඩමේ අවසාන හිමිකාරීත්වය කා සන්තක පවතින්නේද?, ඉඩමේ නම, ඉඩමේ දිග පළල, ඉඩමේ පිහිටීම, ඉඩමේ පිහිටි දිශාවන් ආදී තොරතුරු අන්තර්ගත වෙයි.

පත්තිරුවක් පරීක්ෂා කළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

සාමාන්‍යයෙන් ඉඩමක් විකුණන අවස්ථා, ඉඩමක් කුලියට සහ බද්දට දෙන අවස්ථා, තෑගි ඔප්පු දෙන අවස්ථාවල පත්තිරු බැලීම සිදුකරනු ලබයි. ඉඩම පැවරුනේ කොයින්ද?, කාගෙන්ද?, වර්තමාන අයිතිය කාගේද? යන කරුණු කාරණා පිළිබඳව එමඟින් දැනගත හැකිය.

පත්තිරුවක් පරීක්ෂාව සිදු කළ හැක්කේ කොහින්ද?

පත්තිරු පරීක්ෂා කිරීමේදී ඉඩම පිහිටා ඇති අදාළ ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් මඟින් තොරතුරු අවශ්‍ය ඉඩමේ පත්තිරුව පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතී. පත්තිරු පරීක්ෂා කිරීමේදී ඒ හා සම්බන්ධයෙන් බලයලත් නොතාරිස්වරුන් කටයුතු කරයි.

පත්තිරු බැලීමේදී සිදු කළ යුතු මූලික පියවර මොනවාද?

මුලින්ම අප පත්තිරුව පරීක්ෂා කිරීමට අවශ්‍ය ඉඩමේ ඔප්පුව හෝ එහි පිටපතක් රැගෙන ඉඩම් ලියාපදිංචි කරන කාර්යාලය වෙත පැමිණිය යුතුය. එහිදී අප වෙත ලැබෙන තොරතුරු පත්‍රිකාව හොඳින් කියවා එය සම්පූර්ණ කර පත්තිරු බැලීම සඳහා අය කරන මුදල ගෙවිය යුතුය. (මෙම මුදල ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. එම පියවර නිවැරදිව සිදුකොට එම ලියවිලි භාරදුන් පසු දින දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත පත්තිරුවල සහතික කරන ලද පිටපත් අපට ලබාගත හැකිය. එහි දී ඔබ පත්තිරු පරීක්ෂාවක් සිදු කිරිමේදි ඉඩමේ ඔප්පුව අත්‍යවශ්‍ය ලියකියවිල්ලක් වේ.

පත්තිරු පරීක්ෂා කිරීමට කොපමණ කලක් ගතවනවාද?

සාමාන්‍යයෙන් පත්තිරුවක් පරීක්ෂා කර බැලීමට බොහෝ කාලයක් ගත නොවේ. පත්තිරුවක් සඳහා ඉල්ලුම් කර දවස් දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත අපට පත්තිරු පරීක්ෂාවක් සිදුකර ගත හැකිය.

පත්තිරු පරීක්ෂා කිරීම එක් වරක් සිදුකිරීම ප්‍රමාණවත්ද?

පත්තිරු පරීක්ෂා කිරීම නිතර සිදු කරන්නේ නම් එය වඩාත් යහපත්ය. නමුත් ජීවිත කාලය පුරාම පරීක්ෂා කර බැලීමද අත්‍යවශ්‍ය නොවේ. තමා සතුව සත්‍යය ඉඩම් ඔප්පුව ඇතිනම් ඕනෑම වෙලාවක පත්තිරු පරීක්ෂාවක් සිදුකළ හැකිය. සාමාන්‍යයෙන් ඉඩමක් විකුණන විටකදී, බදු දීමක් වැනි විශේෂ අවස්ථාවල පත්තිරු පරීක්ෂාව සිදු කිරීමෙන් ඉඩම පිළිබඳ මනා විශ්වාසයක් ගොඩනඟා ගත හැකිය.

පත්තිරුව කොපමණ කාලයකට වලංගු වෙනවාද?

පත්තිරුව වලංගු වන නිශ්චිත කාලයක් නැත. ඉඩමේ මුල් අයිතිකරු කවුද?, අතරමැද්දෙන් ඉඩම මිලදී ගත් අයිතිකරුවන් කවුද? යනාදි කාරණා පියවරෙන් පියවර අවුරුද්දෙන් අවුරුද්දට සොයා බැලිය හැකිය.

පත්තිරුවක් බැලීමේ ඇති වැදගත්කම කුමක්ද?

පත්තිරුවක් පරීක්ෂා කිරීමේ ඇති මූලික වැදගත්කම වන්නේ දැනට ඉඩම අයිති වන්නේ කවුරුන් හටද යන කාරණාව නිශ්චිතවම දැනගත හැකි වීමයි. එමෙන්ම ඉඩමේ මූලික තොරතුරු වෙන ඉඩමේ දිග පළල, ඉඩමේ ප්‍රමාණය, ඉඩමේ දිශාවන් හා පිහිටීම ආදී මූලික තොරතුරු ද පත්තිරු බැලීම තුළින් ලබාගත හැකිය.

TEXT – ජීවන්ත ගුණවර්ධන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?