ඕනෑම දෙයක් ඕනෑවට වඩා අනවශ්‍ය බව කුඩා කල සිටම වැඩිහිටියන්ගෙන් අප ලද වටිනා උපදෙසකි. සැබැවින්ම එය වර්තමාන සමාජයට වඩාත් කාලෝචිත වූවකි. එනම් ස්මාර්ට් ජංගම දුරකතනයට ඇබ්බැහිවීම එකී අදහස තෘප්ත කරනු ලබන වර්තමාන සමාජයේ දැකගත හැකි කදිම සංසිද්ධියකි. නමුත් දැන් කාලය උදාවී ඇත්තේ එවැනි ඇබ්බැහිවීම්වලින් මිදීම සඳහා කල්පනාකාරී වීමටයි.
ස්මාර්ට් ජංගම දුරකතනය අනවබෝධයෙන් භාවිත කිරීම නිසා කාන්තාවන්, තරුණියන් හෝ පාසල් ශිෂ්‍යාවන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වනු දැකීම වර්තමානය තුළ අප සැමට නුපුරුදු කරුණක් නොවේ. එනම් කාන්තාවන් තම පෞද්ගලික ජීවිතයේ තොරතුරු, ඡායාරූප, වීඩියෝපට කිසිදු වගකීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීම විලාසිතාවක් බවට පත් වී ඇත. සැබවින්ම එහි භයානක බව ඉස්මතු වන්නේ තම පෞද්ගලිකත්වයට හා ආත්ම ගරුත්වයට හානි වන අයුරින් ඒවා නැවත වෙනත් කණ්ඩායම් විසින් භාවිත කිරීමෙනි. එබැවින් ස්මාර්ට් තාක්ෂණික උපකරණ හරහා අප වෙත ළඟා වී ඇති “සමාජ මාධ්‍ය” යනු තම අතිශය පෞද්ගලික ජීවිතය පවා බෙදා ගැනීමට තරම් සුදුසු ස්ථානයක් නොවන බව අප හොඳින් වටහා ගත යුතුය.
නමුත් සියලු දේටම අයහපත් පැතිකඩක් මෙන්ම යහපත් පැතිකඩක් ද පවතින බව අප හඳුනාගත යුතුය. අන්තර්ජාලය ඉතා හොඳ ආදායම් මාර්ග සපයන්නකි.
එය ව්‍යවසායකත්වය සඳහා වඩාත් ඔබින ස්ථානයකි. නව ව්‍යාපාරයක් සාර්ථකව හඳුන්වාදීමට හෝ ප්‍රචාරණය කර ගැනීමට අන්තර්ජාලය තුළ ඕනෑ තරම් ඉඩ හසර ඇත. ස්මාර්ට් කාන්තාවන් සෑම විටම එවැනි යහපත් පැතිකඩයන් වෙත අවධානය යොමු කරනුයේ හංසයා කිරෙන් දිය වෙන් කරගන්නා සේය.
සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම යනු ඔබව සෑම විටම ඔබගේ ආදරණීයයන්ගෙන් වෙන්කොට තැබීමට තුඩු දෙන කරුණකි. එමෙන්ම ඔබේ කාලය අනවශ්‍ය ලෙස අපතේ යාමට ඉඩ හැරීමකි. එයින් ඔබ්බට ගොස් ස්මාර්ට් ජංගම දුරකතනය හරහා තම පවුලේ දරුවන් ස්වාමියාගේ හෝ තමාගේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙම තාක්ෂණය යොදා ගත හැකි බව අප කල්පනා කළ යුතුය.
එසේම වර්තමාන ධනවාදී සමාජය තුළ බොහෝ කාන්තාවන් ඉතාමත් කාර්යබහුල ජීවිත ගත කරන්නියන්ය. එයට අස්වැසිල්ලක් ලෙස තමාට සිදු කිරීමට නියමිතව ඇති වැදගත් කාර්යයන් සඳහා නැවත මතක් කිරීම් යොදා ගැනීමට ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කිරීම වඩාත් පහසු කරයි. එමෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය වෙනුවෙන් නිර්මාණය වී ඇති නවීන App භාවිත කිරීම තම ශරීර සෞඛ්‍යය පිළිබඳ මනා අවබෝධයක් තමා තුළම ඇති කරගැනීමට වඩාත් ඵලදායීව භාවිත කළ හැකි අවස්ථාවන් මෙහිදී සැපයෙයි. එමෙන්ම දැනුම වර්ධනය කර ගැනීම, යාවත්කාලීන වීම වැනි කාර්යයන් කාන්තාවකගේ පෞරුෂය, වටිනාකම වඩාත් හොඳින් ඉස්මතු කරන අංගයන්ය. ඒ සඳහා ද මෙම උපකරණ හා බැඳි තාක්ෂණය බෙහෙවින්ම ඵලදායිව භාවිත කළ හැකිය. එවැනි කාන්තාවන් තාක්ෂණය භාවිත කරනුයේ තම එදිනෙදා ජීවිතයේ පහසුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම, දැනුම වර්ධනය කර ගැනීම වැනි අවශ්‍යතා මතය. එනම් තමන්ගේම යහපැවැත්ම සඳහාය.
එනම් තාක්ෂණය යන්න ඉතා හොඳ මෙහෙකාරියක් හා සමානය. නමුත් එය අනෙක් පසින් භයානක ස්වාමියකු වැනිය. එබැවින් ” අප විසින් තාක්ෂණය මෙහෙයවන්නේ ද? නැත්නම් තාක්ෂණය විසින් අපව මෙහෙයවීමට ඉඩ සලසා දෙන්නේ ද?” යන්න පිළිබඳ වඩාත් හොඳින් මෙන්ම නුවණින් යුතුව සිතා බැලිය යුතුය.
TEXT – පියුනි හිමායා කැලණිය විශ්වවිද්‍යාලය
