“පොළොව මත පියවර තබන්න. එය ඔබව සුවපත් කරනු ඇත”. මිහිපිට දෙව්ලොවක් බඳු වූ “හාවගල” එවැනි ආශ්චර්යවත් සුන්දරත්වයකට හිමිකම් කියන කඳුකරයකි.
මෙහි ඇති සාමකාමී සිසිල් පරිසරය මෙහි නැරඹීමට පැමිණෙන්නන් හට විඩාව නිවා, ගෙන දෙන්නේ මහත් ආස්වාදයකි. සංචාරය සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් බෙලිහුල්ඔය, සමනල වැව ජලාශය, හෝර්ටන්තැන්න, උඩවලව මෙන්ම මෙහි සතර වටින් නිල් පැහැයෙන් දිස්වන්නේ තවත් කඳු වැටිය. සැබවින්ම මෙය නෙත්කලු,මනරම් දසුනකි.
බළන්ගොඩ ප්‍රදේශයෙහි බෙලිහුල්ඔයට ආසන්නව ඇති පින්නවල නම් ගම්මානය අසල පිහිටි හාවගල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර එක් දහස් තුන්සිය පනහක උස් මට්ටමකින් දිස් වෙයි. බළන්ගොඩ නගරයේ සිට කල්තොර පාරේ පැමිණ පින්නවල හන්දියෙන් හැරී ලෑල්ගම ගම්මානයට පිවිසීමෙන් හාවගල කඳු පාමුලට ළඟා විය හැකි ය. එතැන් සිට කන්ද තරණය කිරීම ආරම්භ කළ හැකි ය.
සම්පූර්ණයෙන් කන්ද තරණය අවසන් කිරීම සඳහා හෝරා දෙකත් තුනත් අතර කාලයක් ගත වේ. නමුත් හාවගලටම ආවේණික විවිධ ශාක, කුරුලු විශේෂයන්ගේ හඬ, සුළඟේ ශබ්දය සවනට මෙන්ම ගතට සුව පහසුව සලසයි. මෙහි මාර්ගයේ තරමක් බෑවුම් සහිත වන නිසා ලිස්සනසුලු ය. එබැවින් ඊට වඩාත් සුදුසු පාවහන් පැලඳීමෙන් ඔබේ ගමනාන්තයට ආයාසයකින් තොරව ළඟා විය හැකි ය.
හාවගල තරණය සඳහා පැය ගණනක් ගතවන නිසා, අවශ්‍ය පමණට ජලය හා ශක්තිජනක ආහාර පාන රැගෙන යෑමට සැලකිලිමත් විය යුතුය. නමුත් ඔබ පිවිසෙන්නේ වඩාත් සංවේදී පරිසර පද්ධතියකටය. එනිසා ඔබ රැගෙන යන පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය එහි ඉතිරි කර පැමිණීම මෙම සුන්දර පරිසරය විඳගැනීමට ඉදිරි පරපුරට ඇති අවස්ථාව උල්ලංඝනය කිරීමකි. එමෙන්ම ස්වභාව සුන්දරත්වය රැක ගැනීමේ මානව වගකීම පැහැර හැරීමකි. නමුත් එය අප සතු වගකීමක් බැවින් එකී වගකීම ඉටුකිරීමට අප අමතක නොකළ යුතුය.
මෙම සුන්දර කඳු පරිසරය තරණය කරන ඔබට කඳවුරු බැඳීමට ද වඩාත් උචිත ස්ථානයක් ලෙස හාවගල පෙන්වා දිය හැකිය. රාත්‍රියට දැඩි සීතලත් සුළඟත් මෙම කඳු මුදුනට නොමඳව ඇති බැවින් එයට ඔරොත්තු දෙන පරිදි ඇඳුම්, සපත්තු, කූඩාරම් ආදිය සපයා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතුය. එබැවින් වැසි රහිත දිනයක් කඳවුරු බැඳීම සඳහා තෝරා ගැනීම වඩාත් උචිතය. එවිට තරු පිරුණු රාත්‍රී අහස, අවටින් පෙනෙන කඳු පන්ති, සබරගමුව සරසවිය ආදි බොහෝ සුන්දර දසුන් දැකබලා ගැනීමට පමණක් නොව විඳ ගැනීමට ද හැකිය. ගිනි දැල්වීමේ දී වියළි තණ බිම්වලින් ඈත්ව එම කටයුතු සිදු කිරීමට ද කඳවුරු බඳින්නන් ප්‍රවේශම් විය යුතුය. මන්ද ගිනිගැනීම් ඇතිවීමෙන් අනතුරු සිදුවිය හැකි බැවිනි.
හාවගල කඳු මුදුනෙහි කඳවුරු බඳින ඔබට දැකගත හැකි තවත් මනරම් දසුනකි, උදෑසන සූර්ය උදාව. උදෑසන 5.45 – 6.00 අතර කාලය තුළ කඳු මුදුනින් හිරු නැඟෙන දර්ශනය කාගේත් නෙත්, සිත් පිනවන මෙන්ම නිවන දසුනකි. තවද වර්ෂා කාලයට පමණක් එහි එක් පසෙක පිහිටි කඳු මුදුනක සිට ගලා හැලෙන දිය ඇල්ලකි. එම දසුන නෙත ගැටෙනුයේ උදෑසන සාමකාමී පරිසරය තුළ ගැයෙන කුරුලු ගීතයෙන් සවන් පිනෙන අතරවාරයේය. එමෙන්ම වලාකුළින් ඉහළ මට්ටමක තමා ජීවත් වන බව දනවන ආශ්චර්යවත් අත්දැකීමද හාවගල කඳවුරු බඳින සංචාරකයාටම ලැබෙන අමතක නොවන අත්දැකීමකි.
“සොබාදහම යනු දෙවියන් විසින් ලියන ලද අත්පිටපතකි”යන කියමන හාවගල තරණය කරන්නන් හට සැබෑ ලොව අත්විඳිය හැකි සංසිද්ධියකි. එම සුන්දර පරිසරය එක් වතාවක් හෝ ශ්‍රී ලාංකික අප අත්විදිය යුතුමය.

TEXT – පියුනි හිමායා
