ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල වැවෙන ශාක අතරින් ‘ගොඩපර’ යනු අපේ පැරන්නන් ඉතා සමීපව ඇසුරු කළ ශාකයකි. එහෙත් නූතන කාර්මික ලෝකය තුළ බොහෝ දෙනකු ගොඩපර යනු හුදෙක් නමක් පමණක් වී ඇත.
අපේ ගෙවතුවලින් ඈත් වෙමින් පවතින මේ අගනා ඖෂධීය ශාකය රූපලාවණ්‍ය ලෝකයේ සහ දේශීය වෙදකමේ සඟවා ඇති වටිනාකම අතිමහත්ය.
අද වනවිට වෙෙළඳපොළ ඇති බොහෝ ෂැම්පු වර්ග රසායනික ද්‍රව්‍යවලින් පිරී පවතී. නමුත් අපේ අත්තම්මලාගේ දිගු කළු පැහැති කෙස් කලඹේ රහස වූයේ ගොඩපරය. ගොඩපර ගෙඩියක් ගෙන එය තළා ජලයේ දිය කළ විට ඉන් නිකුත්වන සෙවල සහිත ශ්‍රාවය ස්වාභාවික සබන් වර්ගයක් ලෙස ක්‍රියා කරයි.
හිස්හොරි සඳහා ඇති සාර්ථකම ස්වාභාවික ප්‍රතිකර්මය ගොඩපරය. එහි අඩංගු ප්‍රති- දිලීර ගුණය මඟින් හිස්කබලේ ඇතිවන කැසීම් සහ කොරල ඉවත් කරයි. එමෙන්ම හිස්කබල සිසිල් කරමින් රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන නිසා කෙස් ගස් මුල් ශක්තිමත් කරයි. ස්වාභාවික කන්ඩිෂනර් එකක් ලෙස එනම් හිසකෙස්වල පවතින රළු බව ඉවත් කර දිදුලන බවක් ලබා දීමට ගොඩපර ස්‍රාවයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.
ගොඩපර යනු හුදෙක් හිසකෙස් සඳහා පමණක් සීමා වූ ඔසුවක් නොවේ. දේශීය පාරම්පරික වෙදකමේදී විවිධ රෝගාබාධ රැසකට ගොඩපර ගෙඩිය පොතු සහ කොළ යොදා ගනු ලබයි. ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ සන්ධි වේදනා සඳහා ගොඩපර පොතු තම්බා ගත් ජලයෙන් තැවීම හෝ පත්තුවක් ලෙස භාවිත කිරීම මඟින් ක්ෂණික සහනයක් ලැබේ . එමෙන්ම කුෂ්ඨ, කැසීම් වැනි සමේ රෝග සඳහා ගොඩපර ගෙඩිය ඇඹරීමෙන් සාදාගත් ආලේපය ඉතා ගුණදායකය. තුවාල සුව කිරීමට යොදා ගනී. එනම් තුවාල පිරිසුදු කිරීමට සහ ඒවා ඉක්මනින් සුවපත් කිරීමට ගොඩපර කොළ සහ පොතු තැම්බූ වතුර භාවිත කරයි.
ගොඩපර ශාකය සෙමින් වැඩෙන ශාකයක් වුවද එය පරිසරයේ තෙතමනය රඳවා ගැනීමට මහෝපකාරී වේ. සෙවණ ලබාදෙන අතු පතරින් විහිදෙන මෙම ශාකය පසෙහි සෝදාපාළුව වැළැක්වීමට දායක වෙයි. එමෙන්ම වන සතුන් විශේෂයෙන්ම මුවන් සහ වඳුරන් වැනි සතුන් ගොඩපර ගෙඩි ආහාරයට ගැනීමට බෙහෙවින් ප්‍රිය කරති.නූතන පරපුර රසායනික ආලේපන පසුපස හඹා යද්දී අපේ ගෙවත්තේ තිබිය යුතු ගොඩපර ගස් අමතක කර දමා ඇත. දේශීයත්වය අගය කරන සමාජයක් ලෙස මෙවැනි ඖෂධීය වටිනාකමකින් යුතු ශාක අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම අපේ වගකීමකි. ගෙවත්තක එක් ගොඩපර ගසක් රෝපණය කිරීම ඔබේ පවුල් සෞඛ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයකි.
‘සැබැවින්ම ගොඩපර යනු සොබාදහම අපිට දායාද කළ නොමිලේ ලැබෙන සෞඛ්‍ය රක්ෂණයකි’. රසායනික ද්‍රව්‍යවලින් බැටකන ඔබේ හිසකෙස්වලට සහ ශරීරයට නියම සුවය ලබාදීමට නැවතත් ගොඩපර වැනි දේශීය ඔසු වෙත හැරීමට කාලය එළඹ ඇත.
TEXT – ඒ. ජී. හංසනී
