
අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පා පැදි සවාරිය ආරම්භ කළ අවස්ථාව. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම සහ වඩාත් සුවිශේෂී තරගාවලිය වන ලංකා සවාරිය වසර විසි එකක දීර්ඝ විරාමයකින් පසු රයිඩ් -2026 නමින් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.
විසි එක් වසරක නිහඬතාව බිඳිමින් ශ්‍රී ලංකාවේ මහ මඟ දෙවනත් කරමින් පැවැත්වූ මෙම මහා පාපැදි සවාරිය හුදෙක් තරගයක්ම පමණක් නොවූ අතර එය මෙරට පාපැදි ක්‍රීඩාවේ නව යුගයක ආරම්භය සනිටුහන් කළ ඓතිහාසික තරගයක් බවට පත් විය. එම ඓතිහාසික සවාරියේ අභිෂේකය ලබමින් සමස්ත ශූරතාව මෙන්ම තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා සහ හොඳම කඳු තරණය කරන්නා යන ත්‍රිවිධ කිරුළම දිනා ගත් සාරංග පෙරේරා අද මුළු රටේම කතාබහට ලක්වන අසහාය තරුවක් බවට පත්ව සිටියි. නමුත් මේ විජයග්‍රාහී සිනහව පිටුපස ඇති කැපවීම සහ කඳුළ මෙන්ම අම්මා කෙනකුගේ අසීමිත ආශීර්වාදය පිළිබඳ කතාව මහා මාර්ගයේ තාර පාරට වඩා අතිශය සංවේදී මෙන්ම ගැඹුරු එකකි.
1960 වසරේදී ලේක්හවුස් ආයතනයෙන් ආරම්භ කළ ලංකා සවාරිය 2004 වසරෙන් පසු නිහඬව තිබූ අතර නැවතත් 2026 වසරේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලේක්හවුස් ආයතනය සහ ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය එක්ව මෙය නැවතත් LANK RIDE ආරම්භ කරන්නේ පාපැදි ක්‍රීඩාවට නව ජීවයක් එක් කිරීමේ අරමුණෙනි. කොළඹින් ආරම්භ වී ගන්නෝරුව සහ අනුරාධපුරය හරහා කිලෝමීටර් 450කට අධික දුරක් ගෙවා පැවැත්වූ මෙම තරගාවලියේ තීරණාත්මකම අදියර වූයේ අනුරාධපුරයේ සිට කොළඹ දක්වා වූ කිලෝමීටර් දෙසිය අටක අති දුෂ්කර ගමන් මාර්ගයයි. මෙම සවාරියේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ පෞද්ගලික දක්ෂතා මෙන්ම කණ්ඩායම් අතර පැවති තියුණු තරගකාරිත්වයයි. එහිදී සියලු අදියරයන්හි දී දක්වන ලද සාමූහික දක්ෂතාව මත සමස්ත කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම් ජයග්‍රහණය පසුපස සිටි දැවැන්තම ශක්තිය වූයේ ඔවුන්ගේ උපදේශක දේශිත රාජපක්ෂ මහතා වන අතර ඔහුගේ මඟ පෙන්වීම සහ සැලසුම් සහගත පුහුණුව යුද හමුදාවට මෙම අසමසම ජයග්‍රහණය කරා යාමට මහා රුකුලක් විය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම ද මෙම තරගාවලිය පුරාම යුද හමුදාවට දැඩි අභියෝගයක් එල්ල කරමින් ඉතාම ඉහළ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ බව මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුය.
මෙම ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවා වන සාරංගගේ විජයග්‍රහණයෙන් පසු අප ඔහු සොයා යන විට ඒ අසල සිටි ඔහුගේ පියා වූ ලාල් ශාන්ත මහතා සහ මව වූ ගංගානි මල්ලිකා මහත්මියගේ දෑස්වල තිබුණේ ආඩම්බරය මුසු සතුටු කඳුළකි. සාරංගගේ මූලික අධ්‍යාපන තක්සලාව වූයේ කළගෙඩිහේන ධර්මාශෝක විද්‍යාලය වන අතර ඔහු උපතින්ම ක්‍රීඩකයෙකුට වඩා කලාකරුවෙකු වූ බව ඔහුගේ මව අප සමඟ පැවසුවේ අතීතය සිහිපත් කරමින් සිනාසෙමිනි. සාරංග පුතා පොඩි කාලේ ඉඳලම හරිම සංවේදී දරුවෙකු වූ බවත් ඔහු වැඩිපුරම ඇලුම් කළේ සංගීතය, නාට්‍ය හා රංග කලාව මෙන්ම නර්තනය වැනි කලා කටයුතුවලට බවත් ඇය සඳහන් කළාය. ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සංගීත තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ඔහු ලබාගෙන තිබූ බැවින් කිසිවෙකුත් ඔහු මෙතරම් රළු ක්‍රීඩාවකට යොමු වෙයි කියා සිහිනෙකින්වත් නොසිතූ බව ඇය පවසයි. නමුත් ජීවිතයේ එක් තීරණාත්මක මොහොතකදී ඔහු මේ පාපැදියට පෙම් බඳින්නට ගත් අතර එය ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළ බව ඇය ආදරයෙන් සිහිපත් කළාය.
සාරංගගේ පාපැදි ගමන ආරම්භ වන්නේ කිසිවෙකුගේ බලපෑමක් මත නොව ඔහුගේම තිබූ දැඩි උනන්දුව මත වූ අතර ඔහු තනිවම පාපැදියක් සකස් කර ගැනීමට තරම් අපූර්ව දක්ෂතාවයකින් හෙබි තරුණයෙකු විය. සාරංගගේ මව පවසන පරිදි ඇය මුලින් මෙම ක්‍රීඩාවට කිසිසේත්ම කැමති වී නැත. මහා පාරේ වේගයෙන් පාපැදි පදින විට අනතුරක් වේ යැයි මවක ලෙස ඇයට ලොකු බයක් දැනුණු නමුත් තම දරුවා කවදාවත් නරක දෙයක් කරන්නේ නැහැ යන විශ්වාසය ඇය තුළ නොසැලී තිබුණි. සාරංගගේ ක්‍රීඩා කෞශල්‍යය මුලින්ම ප්‍රදර්ශනය වූයේ ගමේ අවුරුදු උත්සව වලදී වන අතර ඔහු තම මවටත් නොකියා පාපැදි තරගවලට සහභාගි වී ජයග්‍රහණය කර අම්මේ මං දිනුවා යැයි පවසමින් කුසලාන සහ තෑගි රැගෙන එන විට මුළු පවුලම මවිතයට පත් විය. පාසල් යෑම සඳහා වෑන් රථයක් පිළියෙල කර තිබුණ ද සාරංග එය ප්‍රතික්ෂේප කර දිනපතා පාපැදියෙන්ම පාසල් ගියේ තම දරාගැනීමේ ශක්තිය වැඩි කර ගැනීමට සහ පුහුණුවීම් සඳහා කාලය සොයා ගැනීමටය. ඔහු ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද එකසේ දක්ෂතාව දක්වා ඇති අතර ගමේ සැවොම ඔහුට ආදරය කළේ ඔහුගේ නිහතමානී ගතිගුණ නිසාමය.
සාරංගගේ පවුලේ සෙවණැල්ල මෙන් සැමදා සිටියේ ඔහුගේ ආදරණීය අක්කා වූ ඩිල්කි සාරංගාය. සාරංගගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ වයස අවුරුදු දහඅටේදී ඔහු උසස් පෙළ හදාරමින් සිටි කාලයයි. එම අවධියේ රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පවුලේ අනාගතය පිළිබඳ ඔහුට තිබුණේ දැඩි වගකීමකි. ඔහුගේ මව ඒ සංවේදී මොහොත විස්තර කළේ තම දරුවා පිළිබඳ මහත් අභිමානයෙනි. ඒ කාලයේ සාරංගගේ අක්කා ඩිල්කි විශ්වවිද්‍යාලයට තේරී සිටි අතර සාරංග තම අක්කාට පවසා ඇත්තේ, “අක්කේ ඔයා ඉගෙනගන්න කැම්පස් යන්න මං මේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්නම්” යනුවෙනි. එසේ පවසා ඔහු කිසිදු බියකින් තොරව යුද හමුදා පුහුණුවට එක් වූයේ පවුලේත් රටේත් බර කරට ගනිමිනි. කොරෝනා වසංගතය නිසා පවුලේ අයට ඔහුගේ විසිර යාමේ උත්සවයට පවා සහභාගී වීමට අවස්ථාව නොලැබුණද ඔහු එම අතිදුෂ්කර පුහුණුව ඉතාම සාර්ථකව නිම කළ බව මව පවසයි.
මෙවර ලංකා “රයිඩ් සවාරිය” ජයග්‍රහණය කිරීම සාරංගට අහම්බයක් නොවූ අතර එය වසර ගණනාවක අඛණ්ඩ කැපවීමේ සහ ජයග්‍රහණ වැලක ප්‍රතිඵලයකි. ඔහු දෙදහස් විසි දෙක වසරේදී ජාතික පාපැදි ශුරතාවලියේ කාලය මැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් තම දක්ෂතාව මුලින්ම ජාතික මට්ටමින් තහවුරු කළේය. එමෙන්ම පසුගිය දෙදහස් විසි පහ වසරේ පැවති ගුවන් සවාරියේ සමස්ත ශූරතාවයේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේ ද ඔහුය. එම තරගාවලියේ කඳු තරණයේදී ද ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වූ අතර ශ්‍රී ලංකාවේ වයස අවුරුදු විසි තුනෙන් පහළ පාපැදි ශ්‍රේණිගත කිරීම්වල අඛණ්ඩව වසර තුනක්ම ප්‍රථම ස්ථානය රැක ගැනීමට සමත් වූයේ සාරංග පෙරේරා නමැති මෙම අසහාය ක්‍රීඩකයාය. මෙවන් වූ වාර්තා රැසක් තමන් සතු කරගෙන සිටි සාරංගට ලංකා රයිඩ් ජයග්‍රහණය කිරීම තම ක්‍රීඩා දිවියේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පමණක් විය.

සාරංග සිය පියා, මව සහ සහෝදරිය සමඟ
දින තුනක් පුරා පැවති මෙම මහා සවාරියේ අවසානයේ සමස්ත ප්‍රතිඵල සටහන ප්‍රකාශයට පත් වූයේ මුළු රටම මහත් ප්‍රමෝදයට පත් කරමිනි. එහිදී සමස්ත ශූරතාව යුද හමුදාවේ සාරංග පෙරේරා සතු වන විට අනුශූරතාව දිනා ගැනීමට නාවික හමුදාවේ පී.ඩී.එස්.පී. චන්දික සමත් විය. තෙවන ස්ථානය යුද හමුදාවේම එච්.ඩබ්ලිව්.එම්. සඳරුවන් පින්තු හිමිකර ගත් අතර සිවුවන ස්ථානය ආර්.ටී.එස්. දයානන්ද සතු විය. එමෙන්ම පස්වන ස්ථානය සහ හොඳම යොවුන් ක්‍රීඩකයාට හිමි ගෞරවය දිනා ගත්තේ ජා ඇල ෆ්ලෑෂ් ක්‍රීඩා සමාජයේ දේශාන් කවිඳ විසිනි. කණ්ඩායම් ශූරතාව යුද හමුදාව සතු වුවද ගුවන් හමුදා කණ්ඩායම ද තරගයේ සෑම තත්පරයකදීම දැක් වූ සටන්කාමීත්වය ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි පැසසුමට ලක් විය. ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමූ කුසලානය සාරංගගේ දෝතට ලැබෙන විට ඔහුගේ මවගේ මුවින් පිටවූ ඒ සංවේදී අදහස් ඕනෑම හදවතක් කම්පනය කරවනසුලු ය.
“මම හිතනවා මං මගේ දරුවෝ දෙන්නටම හැමදාමත් හොඳම දේ දෙන්න ශක්තියක් වුණා කියලා. අද මගේ පුතා දිහා මුළු රටක්ම බලාගෙන ඉන්නවා. ඒක තමයි මට ලැබුණු ලොකුම සතුට. ඉදිරියටත් එයා ජාත්‍යන්තරයට ගිහින් රටේ නම බබළවනවා දකින්නයි මට ඕනේ. ඒ වෙනුවෙන් මං එයාට හැමදාමත් ශක්තියක් වෙනවා.” ගංගානි මල්ලිකා මෑණියන් තම පුතුගේ ජයග්‍රහණය හමුවේ දැක්වූ ඒ සටහන අකුරු කරන විට පවා දැනෙන්නේ මහත් වූ භක්තියකි. ඇය තම වදන් ගැළපූ ආකාරය කෙතරම් සංවේදී ද යත්, එය තම දරුවා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන මවකගේ නොනිමෙන සෙනෙහසේ දෝංකාරයයි.
සාරංග පෙරේරා යනු හුදෙක් පාපැදි ශූරයකු පමණක් නොව ඔහු කලාවට ළැදි, පවුලට ආදරය කරන, සහෝදරියගේ අනාගතය වෙනුවෙන් තමාගේ මාවත කැපකළ ගුණවත් පුතෙකි. යුද හමුදා විනය, දේශිත රාජපක්ෂ මහතා වැනි උපදේශකයන්ගේ මඟපෙන්වීම සහ මවගේ ආශීර්වාදය කැටි වූ සාරංගගේ මේ සවාරිය මෙතැනින් නොනැවතී ජාත්‍යන්තරය ජය ගන්නා දිනය වැඩි ඈතක නොවේ. කළගෙඩිහේන ධර්මාශෝකයෙන් ආරම්භ කළ ඒ පුංචි පාපැදි ගමන අද මුළු ලංකාවම ජයගෙන හමාරය. මෙම ඓතිහාසික සවාරිය නිමාවට පත් වුවද සාරංග පෙරේරාගේ රෝද හඬ තවමත් ශ්‍රී ලංකාවේ මහා මාවත්වල රැව් පිළිරැව් දෙමින් පවතින්නේ අනාගත ජයග්‍රහණවල පෙරනිමිති පළ කරමිනි.

තරග අවසානයේ ජයග්‍රාහකයන්ට තෑගි තිළිණ පිරිනමන මොහොත

මෙම අවස්ථාවට සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර, නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන්, නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර
TEXT – දුමින්ද කාරියවසම්
PIX – හිරන්ත විතානගේ, රංජිත් අසංක, නිශ්ශංක විජේරත්න
