Wednesday, February 4, 2026
Epaper
Home සදහම් සෙවණපතිවත රැකීමේ ආනිසංස

පතිවත රැකීමේ ආනිසංස

by Shanaka Lakehouse

කලාතුරකින් ලැබෙන මනුසත්භාවය රැකගෙන මානුෂීය හදවතකින් ජීවත්වෙන්න අපහසුවෙන්න පුළුවන්. නමුත් අප උපරිම වීර්යය ගන්න අවශ්‍යයි. නැත්නම් අපගේ ආයුෂ ගෙවී අවසන් වූ විට අප ආයේ කොහේ කොතැන කොහොම ඉපදෙයිද කියන්න අප දන්නෙ නැහැ.

අපේ සමාජයේ කාන්තාව කියන්නෙ විශේෂ භූමිකාවක්. ඇය පවුල් සංස්ථාව තුළ හැසිරෙන ආකාරය අනුව පවුල ගොඩක් ලස්සන වෙනවා. ඇයට පුළුවන් වෙන්න ඕන ගිනිගන්න හිතක් නිවන්න. තමන්ගේ සැමියව ආදරයෙන් බලාගන්න. පිරිමි හරිම කැමැතියි තම බිරියගේ ආදරය තුළ රැඳෙන්න. නමුත් අද සමාජයේ විවාහ බිඳෙන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. අනියම් සබඳතාත් එන්න එන්නම වැඩියි. හේතු ගොඩක් ගැන විමසීමෙන් බැලුවොත් එක්කෝ තමන්ගේ සැමියා මහන්සිවෙලා ගෙදර එනකොට බිරිය වෙන වැඩක්, ඔහු ගැන කිසිම හැඟීමක් නැහැ. සමහර කාන්තාවෝ යක්ෂණියෝ වගේ අැඟට කඩන් පනිනවා. මේ දේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.

නැත්නම් පිරිමියා හරිහම්බ කරන දේ බිරියට මදි. එහා ගෙදර මිනිස්සුන්ට කාර් එකක් තියෙනවා, ඔයාට කාර් එකක්වත් ගන්න බැහැ නේ. ඇයට තේරුම් ගන්න පුළුවන් නම් ලැබෙන දේ අනුව සන්තෝෂයෙන් ජීවත් වෙන්න ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.

ඔබට සහකරුවා හෝ සහකාරිය ලැබෙන්නෙ කර්ම විපාකයන්ට අනුව. සමහර කාන්තාවන් තම ස්වාමියාට කොච්චර බැල මෙහෙවරකම් කළත් ඒවල අගයක් නැහැ. පේන්නෙ අඩුපාඩුවක්මයි. ගුටිබැට විඳින කාන්තාවෝ කොච්චර ඉන්නවද? මේ පින්වත් ඔබ සසරේ ගනුදෙනු පියවන විදිහ. මේ කරුණු කාරණා නිසා ඔබ ද්වේෂය හෝ වෙනත් අනියම් සබඳතා ඇතිකරගත්තොත් ඔබට වෙන්නෙ මේ ආත්මභාවයේත් ඊළඟට ලැබෙන ආත්මභාවයේත් දුකට පත්වෙන්න. ඒ නිසා ඔබට ලැබුණ ජීවිතය කුමක් වූවත් විඳවන්නෙ නැතිව ජීවිතය විඳින්න.

පස්පවෙන් වැළකී ආදරය උතුරායන බිරියක් වෙන්න. ගොඩක් පිරිමින් දියුණු වුණේ කාන්තාව ශක්තියක් වුණ නිසා. ඔබත් ඔබේ ස්වාමියාට ශක්තියක් වෙන්න. ලැබෙන දේ පරිස්සමෙන් රැකගන්න. සොබා දහමට ආදරය කරන දරුවෝ ලොවට දායාද කරන්න. පවුල තුළ දරුවනුත් සැමියාවත් ළංකරගෙන මේ ලැබුණ ජීවිතය සතුටින් ගෙවලා ඉවර කරන්න. වෙන පින් අවශ්‍ය නැහැ. ඔබට සුමඟට යන්න මේ පිනම ඇති.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා ප්‍රියමනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා දිවි දෙවෙනි කොට පතිවත ධර්මය ආරක්‍ෂා කළ ඇය ස්වාමියාට ඉතා කීකරුයි. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කතා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශවත් කාන්තාවක වූවා ය.

සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවාය. රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි නිරත වූවාය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවයි. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියාය.

ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තවුතිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවාය.

මුගලන් මහ රහතන් වහන්සේ තවුතිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, ඍද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේය. ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත්ය. මෙසේ මහානුභාවසම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?

ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය. එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේය.

පතිව්‍රතා ධර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහළම ගණයේ ආභරණයකි. මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණවල වටිනාකම මෙලොවට පමණි. නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය. මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය.

තෙරුවන් සරණයි!

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?