Saturday, February 14, 2026
Epaper
Home විශේෂාංගපියයුරු ගැන සමාජයේ මුල්බැසගත් මිථ්‍යාවන් සහ විද්‍යාත්මක ඇත්ත

පියයුරු ගැන සමාජයේ මුල්බැසගත් මිථ්‍යාවන් සහ විද්‍යාත්මක ඇත්ත

by Shanaka Lakehouse

පැරණි හෙළ සාහිත්‍යයේ හංස රුවටත් පියුම් කැකුළුවලටත් සම කරමින් කවියා වර්ණනා කළේ ගැහැනියකගේ මනස්කාන්ත රූපකායයි. ස්ත්‍රී දේහයක රිද්මය සහ ලාලිත්‍යය ඉස්මතු කර පෙනුමට අලංකාරයක් ගෙනෙන ප්‍රධානතම සාධකය පියයුරු යුග්මය වුවත් එය හුදෙක් රූපලාවණ්‍යමය අවයවයක් පමණක්ම නොවේ. මෙලොව උපන් ඕනෑම දරුවකු ආදරයේ පළමු ස්පර්ශයත් ජීවිතයේ පළමු පෝෂණයත් ලබන්නේ මවු පියයුරෙන් වෑහෙන කිරි බිඳුවෙනි. අප ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමේදී පවා පියයුරුවල පිහිටීම සහ හැඩය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නේ එය කාන්තා රූපයට අභිමානයක් එක් කරන බැවිනි. සැබවින්ම පියයුරු යනු ගැහැනියකගේ රූපශ්‍රීය වර්ධනය කරන අලංකාරයක් වගේම මුළු මහත් පරම්පරාවක්ම පෝෂණය කරන සෙනෙහසේ සහ ජීවයේ උතුම්ම උල්පතයි.

කාන්තාවකට සොබාදහමෙන් ලැබුණු අපූර්වතම තිළිණයක් වන පියයුරු ඇගේ රූපශ්‍රීයට මෙන්ම මාතෘත්වයේ උදාර පෝෂණයටද හිමිකම් කියයි. එහෙත් අවාසනාවකට මෙන් අදටත් අපේ සමාජය තුළ කාන්තා පියයුරු සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමකින් තොර විවිධ මිථ්‍යා මත සහ වැරදි ආකල්ප රැසක් මුල්බැස තිබේ. පියයුරුවල හැඩය, ප්‍රමාණය සහ ක්‍රියාකාරිත්වය ගැන පවතින මේ සමාජ සම්මතයන් හා මතවාදයන් බොහෝ විට කාන්තාවන් අනවශ්‍ය පීඩනයකට හෝ ලජ්ජාවකට පත් කිරීමට හේතු වී ඇත. ඇත්ත වශයෙන්ම පියයුරු සම්බන්ධයෙන් සමාජය මවන මේ මනඃකල්පිත චිත්‍රය සහ එහි ඇති සැබෑ යථාර්ථය පිළිබඳ අපි විමසා බලමු.

පියයුරු සෑම විටම එකම ප්‍රමාණයෙන් පැවතිය යුතු ද?

කාන්තා පියයුරු සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ඇති තවත් එක් ප්‍රධාන මිථ්‍යාවක් වන්නේ ශරීරය වර්ධනය වී අවසන් වූ පසු එහි ප්‍රමාණය සැමදා එකම ලෙස පැවතිය යුතු බවයි. මේ නිසාම බොහෝ කාන්තාවන් වසර ගණනාවක් තිස්සේ එකම ප්‍රමාණයේ යට ඇඳුම් භාවිත කිරීමට උත්සාහ කළත් සැබවින්ම කාන්තා සිරුර යනු නිරන්තර වෙනස්වීම්වලට භාජන වන්නකි. විශේෂයෙන්ම ශරීරයේ බරෙහි සිදුවන වෙනස්, වීම්, මාසික ඔසප් චක්‍රය හා බැඳුණු හෝමෝන ක්‍රියාකාරිත්වය මෙන්ම ගර්භිණී සමයේදී සහ මවුකිරි දෙන කාලසීමාව තුළ පියයුරුවල ප්‍රමාණය සහ හැඩය සැලකිය යුතු ලෙස වෙනස් වේ. නව යොවුන් වියේදී තිබූ පෙනුමම විවාහයෙන් පසුව හෝ මැදි වියේදීත් අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවන අතර සිදුවන මේ ස්වාභාවික වෙනස්කම් අවබෝධ කරගෙන ඒ ඒ අවධීන්ට ගැළපෙන පරිදි තම සෞඛ්‍යය සහ සුවපහසුව ගැන සැලකිලිමත් වීම සෑම කාන්තාවකගේම වගකීමකි.ජිවිතේ සෑම කාලයකදීම ඔබේ පියයුරු එකම අයුරින් නොපවතින බව කාන්තා ඔබ අවබෝධ කර ගත යුතුය.

පියයුරු කුඩා නම් මවුකිරි මදි වෙනවාද?

මවක් වීමට සූදානම් වන හෝ මවක් වූ බොහෝ දෙනෙක් පීඩා විඳින තවත් එක් ලොකුම ගැටලුවක් තමයි මගේ පියයුරු කුඩා නිසා දරුවාට අවශ්‍ය තරම් කිරි ලැබෙයිද? කියන එක. ඇතැම් විට ඔබේ අසල්වැසියන් හෝ වැඩිහිටියන් පවා “ඔයාට කිරි නැත්තේ බ්‍රෙස්ට් එක පොඩි නිසා” කියලා පවසනවා ඔබ අසා ඇති. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව මෙහි කිසිදු සත්‍යතාවක් ඇත. ඇත්ත වශයෙන්ම පියයුරුවල ප්‍රමාණය තීරණය වන්නේ එහි ඇති මේද පටක ප්‍රමාණය මතයි. නමුත් මවුකිරි නිපදවනු ලබන්නේ පියයුරු තුළ ඇති ග්‍රන්ථිමය පටක මඟිනි. පියයුරු කුඩා වුවත් විශාල වුවත් මෙම කිරි නිපදවන ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය එක හා සමානයි. ඒ නිසා පියයුරුවල බාහිර ප්‍රමාණය කිරි නිෂ්පාදනයට කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඇතැම් විට පියයුරු තුඩු ඇතුළට ගිලී ඇති බව හෝ කුඩා වැඩි බව පෙනෙන්නට තිබුණහොත් එය දරුවාට කිරි ලබා දීමට යම් බාධාවක් විය හැකිය. මවක් වීමට සූදානම් වන ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

පියයුරු එල්ලා වැටෙන්නේ මවුකිරි දීමෙන් ද?

මව්කිරි දීම නිසා පියයුරු එල්ලා වැටෙන බවට සමාජයේ පවතින මතය විද්‍යාත්මකව සත්‍ය නොවේ. ඇත්ත වශයෙන්ම පියයුරුවල හැඩය වෙනස් වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මවුකිරි දීම නොව ගර්භිණී සමයේදී සිදුවන හෝමෝන වෙනස්කම් සහ පටක ඇදීමට ලක්වීමයි. මීට අමතරව වයසට යෑමත් සමඟ සමේ ප්‍රත්‍යාස්ථතාව අඩුවීම, ශරීරයේ බර වේගයෙන් වෙනස් වීම, දුම්පානය සහ ජානමය හේතු මෙයට සෘජුවම බලපායි. එබැවින් පියයුරුවල පෙනුම ගැන අනියත බියක් ඇති කර නොගෙන නිවැරදි ඉරියව් පවත්වා ගනිමින් සහ ගැළපෙන තනපටක් භාවිත කරමින් දරුවාට අවශ්‍ය පෝෂණය ලබා දීමට මවුවරුන් උනන්දු විය යුතුය.

පියයුරුවල ප්‍රමාණයට ජාන බලපානවා ද?

ශරීරයේ බර සහ හෝමෝන සමබරතාව පියයුරුවල ප්‍රමාණය කෙරෙහි සෘජුවම බලපාන නමුත්, වෛද්‍ය විද්‍යාත්මකව ජානමය බලපෑම සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකියි. පියයුරුවල හැඩය සහ ප්‍රමාණය තීරණය වීමට මවගේ මෙන්ම පියාගේ පාර්ශ්වයෙන් ලැබෙන ජානද බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ඔබේ පවුලේ අයට විශාල පියයුරු තිබූ පමණින්ම ඔබටත් එසේම වේ යැයි ස්ථිරවම කිව නොහැකි වන්නේ සිරුරේ සමස්ත මේද ප්‍රතිශතය, වයස, සහ හෝමෝන ක්‍රියාකාරිත්වය වැනි සාධක මත එම ප්‍රමාණය ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකි බැවිනි. එබැවින් පරම්පරාව ගැන පමණක් නොසිතා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ නිවැරදි බර පවත්වා ගැනීම මඟින් පියයුරුවල පෙනුම සහ සෞඛ්‍යය මැනවින් පවත්වා ගත හැකියි.

වැරදි ප්‍රමාණයේ තනපටක් පැලඳීමෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් මොනවාද?

ඇත්ත වශයෙන්ම සෑම සන්නාමයකම ප්‍රමාණ එක හා සමාන නොවන අතර එක් සන්නාමයක ප්‍රමාණය තවත් සන්නාමයක ප්‍රමාණයකට අසමාන විය හැකියි. තනපට මෝස්තරය සහ භාවිත කරන රෙදි වර්ගය අනුව එහි තද ගතිය සහ හැඩය වෙනස් වේ. වැරදි ප්‍රමාණයේ තනපටක් පැලඳීම නිසා පියයුරු එල්ලා වැටීම, පටක තෙරපීමෙන් ඇතිවන අපහසුව, උරහිස් සහ පිටකොන්දේ වේදනාව මෙන්ම ශරීරයේ බාහිර පෙනුම අසමබර වීම වැනි ගැටලු රැසක් ඇති විය හැකියි. එබැවින් සැමවිටම අලුත් වර්ගයක් මිලදී ගැනීමේදී මිනුම් පටි මඟින් ඔබේ වත්මන් මිනුම් නැවත පරීක්ෂා කර බැලීම හෝ මිලදී ගැනීමට පෙර ඇඳ බලා තීරණය කිරීම ඔබේ පහසුවට සහ පෙනුමට ඉතාමත් වැදගත් වේ.

ව්‍යායාම මඟින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කළ හැකිද?

පියයුරු ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ මේද පටක සහ කිරි නිපදවන ග්‍රන්ථිවලිනි. මේවායේ මාංස පේශි නොමැති බැවින් ව්‍යායාම මඟින් පියයුරුවල ප්‍රමාණය සෘජුවම විශාල කිරීමට නොහැකියි. නමුත් පියයුරුවලට යටින් පිහිටා ඇති පපුවේ මාංස පේශි ව්‍යායාම මඟින් ශක්තිමත් කළ හැකියි. එසේ කිරීමෙන් පියයුරු වලට හොඳ ආධාරකයක් ලැබී ඒවා එල්ලා වැටීම පාලනය වී මඳක් ඉහළට එසවුණු ස්වභාවයක් ලැබෙන බැවින් වඩාත් ආකර්ෂණීය නිවැරදි හැඩයක් නිර්මාණය වේ. එම නිසා ව්‍යායාම වැදගත් වන්නේ ප්‍රමාණය විශාල කිරීමට නොව පියයුරුවල ස්ථීරභාවය සහ නිවැරදි හැඩය පවත්වා ගැනීමටයි.

 

ලිංගික ක්‍රියාකාරකම් නිසා පියයුරුවල ප්‍රමාණය හෝ හැඩය ස්ථිරවම වෙනස් විය හැකිද?

ලිංගික ක්‍රියාකාරකම් නිසා පියයුරුවල ප්‍රමාණය ස්ථිරවම වෙනස් වන බවට පවතින මතය විද්‍යාත්මක පදනමක් නැති තවත් එක මිථ්‍යාවකි. ලිංගික උත්තේජනයකදී රුධිර ගමනාගමනය වැඩි වීම නිසා පියයුරුවල තාවකාලික ඉදිමීමක් හෝ ප්‍රමාණයේ සුළු වැඩි වීමක් සිදුවිය හැකි වුවද එම ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත තිබූ සාමාන්‍ය තත්ත්වයටම පත් වේ. පියයුරු ඇල්ලීම, සිප ගැනීම හෝ සම්බාහනය කිරීම මඟින් පටක වර්ධනය වීමක් හෝ හැඩය ස්ථිරව වෙනස් වීමක් සිදු නොවන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත. පියයුරුවල ප්‍රමාණය තීරණය වන්නේ ශරීරයේ හෝමෝන මට්ටම, මේද පටකවල ප්‍රමාණය සහ ජානමය සාධක මත මිස ලිංගික චර්යාවන් මත නොවේ.

නිදා ගන්නා ඉරියව්ව නිසා පියයුරුවලට හානි සිදුවිය හැකිද?

මුණින් අතට නිදා ගැනීමෙන් හෝ පියයුරු තද වන සේ නිදා ගැනීමෙන් ඒවා තැළීමකට ලක්වන බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. පියයුරු පටක ඉතා නම්‍යශීලී වන අතර නිදා ගන්නා ඉරියව්ව නිසා ඒවායේ හැඩය හෝ ප්‍රමාණය ස්ථිරවම වෙනස් වීමක් සිදු නොවේ. සුවපහසු නින්දක් සඳහා රාත්‍රී කාලයේදී තනපටක් නොපැලඳ සිටීම වඩාත් සුදුසු වන අතර ඔබ පුරුද්දක් ලෙස එය පැළඳීමට කැමැති නම් රුධිර ගමනාගමනයට බාධා නොවන සේ කපු රෙද්දෙන් මැසූ තද නොවන එකක් තෝරා ගැනීම සෞඛ්‍යයට හිතකර වේ.

දැන් ඔබට වැටහෙනවා නේද අප අපේ සිරුර ගැන මොනතරම් මිථ්‍යා මතවලට යොමු වෙලාද කියා. පියයුරුවල හැඩය සහ ප්‍රමාණය කෙරෙහි මවුකිරි දීම, ලිංගික ක්‍රියා හෝ නිදාගන්නා ඉරියව් බලපාන්නේ නැත. ඒ සඳහා බලපාන්නේ ඔබේ හෝමෝන, වයස, ශරීරයේ බර සහ ගර්භිණී සමයේ සිදුවන වෙනස්කම් පමණයි. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගෙන සැමවිටම විද්‍යාත්මකව නිවැරදි දේ පිළිගන්න. නිවැරදි තොරතුරු දැන ගැනීම කාන්තා ඔබේ ලස්සනට වගේම සෞඛ්‍යවත් ජීවිතයකටත් ඉතාමත් වැදගත් වේ.

 

TEXT – සඳුනි මුණසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?