ගැහැනියකට මෙලොව ලැබිය හැකි උතුම්ම, ගෞරවනීයම පදවිය වන්නේ මවු පදවියයි. කිරි කැටියා කුසට පැමිණෙන ඒ මොහොතේ පටන්ම, ඇය තනි පුද්ගලයකු නොව තවත් ජීවිතයක ආරක්ෂාව තම සිරුර තුළ දරාගත් මවක් බවට පත්වෙයි.
එතැන් සිට ඇයගේ සිතිවිලි, හැසිරීම්, ආහාර වේල පවා වෙනස් වන්නේ තම කුස දරා සිටින දරු සම්පත වෙනුවෙනි.
මවක වූ දා පටන්, දරුවා වෙනුවෙන් ඇපකැප වීම මවකගේ ස්වාභාවික වගකීමක් බවට පත්වෙයි. විශේෂයෙන්ම ගර්භිණී සමය තුළ මවකගේ ආහාර වේල පිළිබඳ ඇති ප්‍රවේශම, දරුවාගේ සෞඛ්‍යයටත් ආරක්ෂාවටත් සෘජුවම බලපායි. දරුවකු කුසට ආ දවසේ පටන්ම මවකට විවිධ රසයන්ට ඇදී යන ‘දොළදුක්’ ඇති වීම සාමාන්‍යය. එහෙත්, ඒ සියල්ලම තෝරාගත යුත්තේ දරුවාගේ යහපත මුල් කරගෙනය.
මවක් ආහාරයට ගන්නා සෑම කෑමක්ම, පසුකාලීනව දරුවාට කිරි ලෙස පෝෂණය වී එන බව අප සැවොම දන්නා කරුණකි. ඒ නිසාම කෘත්‍රිම, ඇඟට හානිකර ආහාරවලින් හැකි තරම් ඈත් වී, ස්වාභාවික, රසවත් සහ පෝෂණයෙන් සම්පූර්ණ ආහාර අනුභවය මවකට වඩාත් සුදුසුය.
අතීතයේ අප සමාජය තුළ, දරුවෙක් ලැබෙන්න ඉන්නා හෝ දරුවකු ප්‍රසූත කළ මවකට, වටපිට ගෙවල්වලින්ම ආදරයෙන් බෙදා දෙන ගුණවත් බත් පතක් තිබුණි. වැඩිහිටි කාන්තාවන් ඒ සඳහා එළවළු, කොළ, ඖෂධීය ආහාර තෝරාගත්තේ තමන්ගේ යුතුකමක් ලෙස නොව මවක් වෙනුවෙන් කළ යුතු මහත් වගකීමක් ලෙසය. අහුවෙන ඕනෑම කෑමක් නොව, මවටත් දරුවාටත් ගුණ දෙන ආහාර පමණක් තෝරා පිළියෙල වූ එවන් බත් පතක, නොවරදින ලෙස කිරි වඩන ආහාරයක් තිබුණි. අද අපගේ කතාබහ, ඒ අමතක වෙමින් යන මවුවරුන්ට සුදුසු, කිරි වඩන ගුණ ආහාර පිළිබඳවයි.
කිරිඅඟුණ සහ තිත්ත, අඟුණ
කොළ කැඩූ විට ස්වල්ප වශයෙන් කිරි දැකිය හැකි කුඩා පැළෑටියක් වන කිරිඅඟුණ ගම්බද නිවෙස් අවට බොහෝ විට දැකිය හැකිය. මවුකිරි හිඟ බවටත්, රෝග රැසකටත් ගුණ දෙන කිරිඅඟුණ රසවත් පලා වර්ගයකි. එහි රසය මෙන්ම ගුණයද ඉහළය. ඔෟෂධීය ගුණයෙන් පිරුණු කිරිඅඟුණ සම්බෝලය ඇඟට ලේ වඩවයි. විස නසන කිරිඅඟුණ කොළ සිහින්ව ලියා, පොල් ටිකක්, රතුලූනු, අමුමිරිස් මෙන්ම අවශ්‍ය පමණට ලුණු සහ දෙහි දමා අනාගත් විට රසවත් සම්බෝලයකි. එමෙන්ම කිරිඅඟුණ මැල්ලුමක් ලෙසද සකසා ගත හැකිය. අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට මෙය ඉතාමත් ගුණදායකය. කිරිඅඟුණ මෙන්ම තිත්තඅඟුණද ඉතා ගුණදායක පලා වර්ගයකි. ආහාර රුචිය වඩවන තිත්තඅඟුණ කිරි දෙන මවුවරුන්ට කිරි එරීමට මෙන්ම කිරි පිරිසුදු කිරීමටද උපකාරි වේ. තිත්ත අඟුණ යන නාමයටම ගැළපෙන තිත්ත රසයක් පිරුණු තිත්ත අඟුණ ආහාරයට ගැනීමෙන් ඔබට සෞඛ්‍යමය වාසි රැසක් අත්කර ගත හැකිය. දරුවා ලැබීමෙන් පසු ඉක්මනින්ම මවට සුවපත් බවක් උරුම කර ගැනීමටත් ‘තිත්ත අඟුණ’ ආහාරයට ගැනීම තුළින් හැකියාව ලැබේ.
ජපන් බටු කොළ
සියවස් ගණනක් මවුකිරි වඩවන්නට යොදාගත් විවිධ කොළ වර්ග අතර බොහෝ ගුණ ඇති කොළ වර්ගයක් තමා ජපන් බටු. මේ කොළයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව ගැන මෑතකදී කළ විද්‍යාත්මක පර්යේෂනවලින් පවා තහවුරු කර තිබේ. කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා කොළ පැහැති පලා අතරට හෝ කලවම් පලා වෑංජනයට එක්කර ගත හැකි රසවත් වෑංජනයක් වේ.
කරවිල
රත්තරන් ඇතැයි සැලකෙන කරවිල කිරෙන් දරු පැටියා සනසන්නට මෙලොව ඇති වටිනාම ආහාර අතරින් එකක්. තිත්ත වුණත් ගුණ දෙන කරවිල ආහාරයට එක් කර ගැනීම තුළින් පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්වේ. ඉන් කිරි දෙන වයසේ පසුවන දරුවන්ට ඇති විය හැකි රෝග රැසක් පාලනය කර ගත හැකියි. කරියට පිසුවත්, තෙලට දැම්මත්, සලාදයක් සාදා ගත්තත් ඒ තුළ තිත්ත රසය මුසු වූ පුදුමාකාර රසයක් තිබෙනවා. දද-කුෂ්ඨ, වේදනා කැක්කුම් සමනය කර ගැනීමටත් කිරි දෙන මවුවරුන්ට දියවැඩියාව වැනි රෝගවලින් සුවයක් ලැබීමටත් කරවිල උපකාරී වේ.
කොස්
ගස යටින් ගියත් කිරි එරෙන කොස් ගෙඩිය කොයි කාලයේදීත් රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදි වශයෙන් කිරි මවට දීමෙන් කිරි එරවා ගන්නට පුළුවන්.
කිරිහැන්ද
කිරි දෙන මවුවරුන්ට තවත් අගනා පලා වර්ගයක්. කොළ මැල්ලුම් ලෙසට, කලවම් පලාවට හෝ ළපටි දලු වෑංජනයට පරිප්පු/කව්පි වැනි ධාන්‍ය වර්ගයක් මිශ්‍ර කර රසවත්ව පිස ගත හැකියි.
කෙසෙල් මුව
ඔබේ ගෙවත්තෙන් සොයා ගත හැකි කෙසෙල් මුවයක් ආහාරයට ගැනීමෙන් විස්මිත ප්‍රතිඵල අත්වේ. ඉන් මලපහ කිරීමේ අපහසුතාවද මඟහරවා ගැනීමට හැකිය. ප්‍රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා ආහාරයක් කෙසෙල් මුව. කෙඳි සහිත ආහාරයක් වන කෙසෙල් මුව කිරිදෙන මවුවරුන්ට අතිශය ගුණදායකය.
මුරුංගා
සරලව ආහාර වේලට මුරුංගා එකතු කරන්න. මැල්ලුමට මුරුංගා කොළ අහුරක් එක් කරන්න. මුරුංගා වල ඇති කිරි එරවීමේ ප්‍රබල හැකියාව අද මුළු ලොවම මවිත කරවන තරම්.
කුරක්කන්
මවුකිරි වැඩීමට අරුම පුදුම හැකියාවක් ඇති යකඩ බහුල නිසා ප්‍රසවයේ ඇති වූ සියලු ගැටලුවලට ගුණ ඇති, විඩා නිවන සිත කය පිනවන අපූරු ආහාරය කුරක්කන්. කැමැති ලෙස ආහාරයට ලබා ගත හැකිය. කැඳ, රොටි, පිට්ටු, තලප යනාදි වශයෙන්.
හබල පෙති
කිරි එරවන්න භාවිත කළ අපූරු උදෑසන ආහාරයක් තමා හබල පෙති. කැඳ වශයෙන් හෝ අග්ගලා ලෙස රසවත්ව උදේ ආහාරයට ගත හැකිය.
බතල
පිෂ්ටය සහිත ප්‍රෝටීන් බහුල ආහාරයක් වන බතල අලයක් පොල් සමඟ මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් කිරි දෙන මවුවරුන්ට නොසිතන ආකාරයේ සෞඛ්‍යමය ප්‍රතිඵල අත්වේ. නමුත් බතල දියවැඩියා රෝගයෙන් පෙළෙන මවුවරුන්ට නම් සුදුසු ආහාරයක් නොවේ.
රාජ අල
තද දම් පැහැති රාජ අල කිරි වඩවන දේශීය අල වර්ග අතර ඉදිරි පෙළ අල වර්ගයක්.උදෑසන ආහාරයට කදිමයි.
නෙලුම් අල
නෙලුම් අල ද මවුකිරි වඩවා ගැනීමට ඉවහල් කරගත් ඖෂධීය රසවත් එළවළුවක්.
සුදුලූනු
ප්‍රසූතියෙන් පසු පළමු දින කිහිපයේදී ආහාරයක් ලෙස ගිනි අඟුරුවල පිලිස්සූ සුදුලූනු කිතුල් හකුරු සමඟ කන්නට දීම. තැම්බුම් හොද්දෙදි කීවාක් මෙන් බොහෝ ප්‍රතිලාභ අඩංගු මේ ප්‍රතිකාරයේ මූලික පරමාර්ථ අතර මවුකිරි ශ්‍රාවය උත්තේජනය කිරීම සහ පවත්වා ගැනීමත් අඩංගුයි. කිතුල් හකුරුවලද මවුකිරි වැඩවීමේ ගුණ අඩංගු නිසා මේ දෙකම එක්ව ඉතා අගනා ඖෂධයක් සාදනවා. කිරි දෙන මවට සාදන වෑංජනවලට සුදුලූනු එක්කරන්නට අමතක කරන්නට එපා. සුදුලූනු තම්බා පානය, උළුහාල් සමඟ තම්බා පානය හෝ සුදුලූනු උළුහාල්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි එකට තම්බා බීමෙන් කිරි කළ හතක් එක වරුවකදී පොවන්නට හැකි බව පැවසේ.
ඉඟුරු
දහසක් ගුණ ඇති ඉඟුරුවල තවත් අපූරු ගුණයක් තමා මවුකිරි වැඩවීම. අන් ආහාර, ඖෂධ අතරට තේ සමඟ හෝ කොත්තමල්ලි සමඟ තම්බා බීමෙන් කිරි වැඩි වේ.
වස විසෙන් පිරුණු ආහාර පිරි ලෝකයක මෙවන් ගුණදායක දේ අගය කිරීම අදටත් හෙටටත් සෑම විටම වැදගත් වේ. රස ගුණ දෙන ආහාරයකින් ඔබේ කුසගින්න නිවා ගැනීමට ආහාරයට ගැනීමට හුරු පුරුදු වන්න. මෙවන් වටිනා දේ ආහාරයට ගැනීමෙන් ඔබේ දරුවාගේ පෝෂණය ඉහළ නංවා ගත හැකිය. අප ගුණ යැයි සිතා ගන්නා ආහාරවලට වඩා අගුණ යැයි ඉවතලන, රසයක් නැතැයි සිතන දේවල්හි සැඟවුණු රසයක් මෙන්ම ගුණයක් තිබෙන බව වටහා ගත යුතුය. දරුවා කුස දරා සිටින කාලයේදී මෙන්ම කිරි දෙන අවධියේදී ද මෙවැනි ආහාර අනුභවයෙන් දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව හා පෝෂණීය බව ආරක්ෂා කර ගත හැකිය.
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනි
