Saturday, February 14, 2026
Epaper
Home වෛද්‍යඅසාත්මිකතාවලට නොවරදින පෙත්ත ලොරැටඩින්

අසාත්මිකතාවලට නොවරදින පෙත්ත ලොරැටඩින්

by Shanaka Lakehouse

අද වෙද්දි ඖෂධ ලබා ගන්නේ නැති කෙනෙක් නැහැ. ඒ තරමට හැමෝම වගේ පුංචිම හරි රෝගයකින් පෙළෙනවා. ඉතින් රෝග ගැන කතා කරද්දි ඖෂධ ගැනත් කතා නොකරම බැහැ. හැබැයි වැඩි දෙනෙක් තමන් ගන්න බෙහෙත් පෙත්ත ගැන හරි දැනුමක් නැහැ. ඒ නිසා තමන් ගන්න බෙහෙත් ගැන හරි දැනුවත්භාවයක් තිබීම වැදගත්. හිතුමනාපෙට බෙහෙත් පාවිච්චි කරන්න ගිහින් වැඩ වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ නිසයි ඔබ ශරීරයට පිටතින් ලබා ගන්නා සෑම ඖෂධයක් ගැනම මනා අවබෝධයකින් පසු විය යුතු වන්නේ.

නිතර නිතර අසාත්මිකතා ඇති වන අය වරදින්නේ නැතුව ළඟ තියාගන්න සියෝස් (Zeos) පෙත්ත ගැනයි අද අපි කතා කරන්නේ. සියෝස් කියන්නේ එහි වෙළෙඳ නාමයයි. වෛද්‍ය විද්‍යාවේදී එය හඳුන්වන්නේ ලොරැටඩින් (Loratidine) යනුවෙන්. අද අපි කතා කරමු ඒ ගැන.

ලොරැටඩින් භාවිත කරන්නේ ඇයි?

ලොරැටඩින් කියන්නේ අසාත්මිකතා තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිත වන ප්‍රතිහිස්ටමින් ඖෂධයක්. පුළුල් පරාසයක අසාත්මිකතා තත්ත්වයන් නිසා ඇතිවන රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ලොරැටඩින් භාවිත කරනු ලැබෙනවා.

එය බහුලව භාවිත වන්නේ Allergic Rhinitis සහ දූවිලි මයිටාවන්, පුස් මඟින් ඇතිවන ඍතුමය අසාත්මිකතා සඳහායි. එය සම ආශ්‍රිත අසාත්මිකතා ආබාධ, විශේෂයෙන් Urticaria සඳහා ද බහුලව නියම කරනු ලැබෙනවා. එහිදී එය කැසීම, රතු පැහැය සහ පලු දැමීම පාලනය කිරීමට උපකාරී වෙනවා.

එය ක්‍රියා කරන්නේ කිවිසුම් යාම, කැසීම, නාසයෙන් දියර ගැලීම, ඇස්වලින් කඳුළු ගලා යාම සහ සමේ කුෂ්ඨ වැනි රෝග ලක්ෂණ ඇති කරන අසාත්මිකතා ප්‍රතික්‍රියාවකදී ශරීරයෙන් මුදා හරින රසායනික ද්‍රව්‍යයක් වන හිස්ටමින්වල ක්‍රියාකාරීත්වය අවහිර කිරීමෙනි.

ලොරැටඩින් දෙවැනි පරම්පරාවේ ( second generation ) ප්‍රතිහිස්ටමින් එකක් වන බැවින්, එය දැඩි නිදිමතකින් තොරව දිවා කාලයේ රෝග ලක්ෂණ සහනයක් අවශ්‍ය රෝගීන් සඳහා විශේෂයෙන් සුදුසු වන අතර, එය සිසුන්ට, වැඩ කරන වැඩිහිටියන්ට සහ රියැදුරන්ට වඩා සුදුසු වේ.

ලොරැටඩින් ක්‍රියාකරන ආකාරය

ඇලර්ජියක් ඇති වූ විට, ශරීරයෙන් හිස්ටමින් (Histamine) නම් රසායනික ද්‍රව්‍යයක් නිදහස් වේ.

මෙම හිස්ටමින් නිසා හතිය, ඇස් කැසීම සහ සම කැසීම වැනි ලක්ෂණ ඇති වේ. මෙම හිස්ටමින් ශරීරයේ ක්‍රියා කරන ස්ථාන (H1 රිසෙප්ටර්) අවහිර කරයි. එමඟින් හිස්ටමින් ක්‍රියා කිරීම අඩු වී ඇලර්ජි ලක්ෂණ අඩු වේ. එය සාමාන්‍යයෙන් පැය 1–3ක් ඇතුළත ක්‍රියා කිරීමට පටන් ගෙන පැය 24ක් පවතී.

මාත්‍රාව වැදගත්

ලොරැටඩින් රෝග ලක්ෂණ සුරක්ෂිතව පාලනය කිරීම සඳහා වෛද්‍යවරයකුගේ උපදෙස් අනුවම භාවිත කළ යුතුය.

වයස අවුරුදු 12ට වැඩි වැඩිහිටියන් සහ ළමුන් සඳහා සාමාන්‍ය මාත්‍රාව දිනකට වරක් මිලිග්‍රෑම් 10ක් (10 mg) වන අතර, ආහාර සමඟ හෝ ආහාර නොමැතිව ගත හැකියි. වයස අවුරුදු 2–11 අතර ළමුන් සඳහා මාත්‍රාව ශරීර බර අනුව වෙනස් වේ.

ශරීර බර කිලෝග්‍රෑම් 30ක් හෝ එයට වඩා වැඩි ළමුන්ට දිනකට වරක් මිලිග්‍රෑම් 10ක් ලබා දිය හැකි අතර, කිලෝග්‍රෑම් 30ට අඩු ළමුන්ට දිනකට වරක් මිලිග්‍රෑම් 5ක් පමණක් ලබා දිය යුතුය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 2ට අඩු ළමුන්ට වෛද්‍යවරයකුගේ විශේෂ උපදෙස් නොමැති නම් ලොරැටඩින් භාවිත කිරීම නිර්දේශ නොකෙරේ.

මෙම ඖෂධය දිනකට වරක් පමණක් ගත යුතු අතර, නිර්දේශිත මාත්‍රාවට වඩා වැඩි ලෙස ශරීර ගත කිරීමෙන් ලක්ෂණ ඉක්මනින් සුව නොවන අතර අතුරුපල වැඩි විය හැකියි.

සිරප් භාවිත කරන විට නිවැරදි මිනුම් උපකරණය භාවිත කිරීම වැදගත් වන අතර, රෝග ලක්ෂණ දිගු කාලයක් පවතින විට හෝ අක්මාව හෝ වකුගඩු රෝග තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

භාවිතයට නුසුදුසු අවස්ථා

ලොරැටඩින් හෝ එහි අඩංගු අමුද්‍රව්‍යවලට ආසාත්මිකතාව (hypersensitivity) ඇති පුද්ගලයන් මෙම ඖෂධය භාවිත නොකළ යුතුය, මන්ද එය කැසීම, මුහුණ හෝ උගුර ඉදිමීම, හුස්ම ගැනීම අපහසු වීම වැනි දැඩි ඇලර්ජික් ප්‍රතික්‍රියා ඇති කළ හැකිය.

අක්මාවේ රෝග ඇති රෝගීන් ලොරැටඩින් භාවිත කිරීමේදී විශේෂ සැලකිල්ලෙන් හෝ වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතුය. මන්ද මෙම ඖෂධය අක්මාව තුළ පරිවෘත්තීය ක්‍රියාවලියට ලක් වන නිසා ශරීරය තුළ එකතු වී අතුරුපල වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 2ට අඩු ළමුන්ට වෛද්‍යවරයකුගේ විශේෂ උපදෙස් නොමැති නම් ලොරැටඩින් භාවිත කිරීම නිර්දේශ නොකෙරේ.

වකුගඩු රෝග, ගර්භිණීභාවයේදී මෙම ඖෂධය භාවිත කිරීමට පෙර වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුය, මන්ද මාත්‍රා වෙනස් කිරීමක් හෝ වෙනත් විකල්ප ඖෂධ අවශ්‍ය විය හැකිය.

එසේම, වෙනත් ඖෂධ භාවිත කරමින් සිටින රෝගීන් ලොරැටඩින් ආරම්භ කිරීමට පෙර ඒ ගැන වෛද්‍යවරයාට දැනුම් දීම අත්‍යවශ්‍ය වේ.

ඖෂධය ආරක්ෂිත ලෙස භාවිත කිරීම සඳහා, ඔබට ඇති රෝග තත්ත්ව සහ දැනට භාවිත කරන ඖෂධ සියල්ල පිළිබඳ වෛද්‍යවරයාට සම්පූර්ණ තොරතුරු ලබා දිය යුතුය.

අතුරු ආබාධ මොනවාද?

ලොරැටඩින් නිර්දේශිත මාත්‍රාවෙන් භාවිත කළ විට සාමාන්‍යයෙන් ආරක්ෂිත ඖෂධයකි. බොහෝ දෙනාට දැඩි අතුරු ආබාධ ඇති නොවේ. එහෙත්, සියලුම ඖෂධවලට මෙන්, සමහර රෝගීන්ට අතුරු ආබාධ පැනනැඟිය හැකිය. සාමාන්‍ය අතුරු ආබාධ ලෙස හිසරදය, මුඛය වියළීම, තෙහෙට්ටුව, කරකැවිල්ල සහ උදර අපහසුතාව (වමනය, බඩ වේදනාව වැනි) ඇති විය හැකිය. මෙම අතුරු ආබාධ සාමාන්‍යයෙන් සරල වන අතර, ශරීරය ඖෂධයට අනුකූල වන විට අඩු වී යයි.

ලොරැටඩින් සාමාන්‍යයෙන් නිදිමත ඇති නොකරන ඖෂධයක් වුවද, ඉතා සුළු පිරිසකට නිදිමත දැනිය හැකිය.

දුර්ලභ නමුත් දැඩි අතුරුපල ලෙස සම කැසීම, මුහුණ, තොල්, දිව හෝ උගුර ඉදිමීම, හුස්ම ගැනීමට අපහසු වීම, දැඩි කරකැවිල්ල වැනි ඇලර්ජික් ප්‍රතික්‍රියා හට ගත හැකිය. එසේම ඉතා කලාතුරකින් අවස්ථාවලදී හෘද ස්පන්දනය වේගවත් වීම හෝ අක්‍රමවත් වීමද සිදු විය හැකිය. මෙවැනි දැඩි ලක්ෂණ පෙනී යාමකදී, ඖෂධය නතර කර ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සැමට ආරක්ෂිතද?

වයසට ගැළපෙන නිවැරදි මාත්‍රාවෙන් භාවිත කරන විට එය ආරක්ෂිත වේ. සෑම විටම දරුවන් සඳහා වෛද්‍යවරයකුගේ උපදෙස් අනුගමනය කරන්න. ගර්භිණී සමයේදී හෝ මවුකිරි දීමේදී ලොරැටඩින් භාවිත කරනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?