මහන මැෂිමේ කටුව රිද්මයානුකූලව රෙදි කැබැල්ල මත රටා මවද්දී, කුසුම්ගේ සිත තිබුණේ මැහුම් පාරවල් අතර නොව වෙනත් ලෝකයකය.
සාලයේ ඇති රේඩියෝවෙන් ගලා එන අතිශය හැඟීම්බර ආදර ගීත පෙබරවාරි මාසයේ පවතින අමුතුම උණුසුමත් සමඟ හිතට නොසන්සුන් බවක් ගෙන ආවේය. දින කිහිපයක සිට සඳනිගේ හැසිරීමේ ඇති වෙනස කුසුම්ගේ සිතට බියක් එක් කර තිබුණි. “දැන් සමාජෙ ගොඩක් දරුණුයි, අහිංසක කෙල්ලන්ව සෙල්ලම් බඩු කරගත්ත මිනිස්සු හැමතැනම” කුසුම් සුසුමක් හෙළමින් තමාටම කියා ගත්තාය.
දහසය හැවිරිදි සඳනිගේ මුළු ලෝකයම දැන් සීමා වී තිබුණේ ඇගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ අඟල් පහක තිරය මතටයි. එහි දිස්වූ කවිෂ්කගේ රූපය සහ ඔහු එවන ආකර්ෂණීය පණිවිඩ ඇයට ගෙන ආවේ අමුතුම උද්යෝගයකි. කවිෂ්ක ඇයට වඩා වසර කිහිපයකින් වැඩිමල් වුවද, ඔහුගේ සූක්ෂ්ම වචන භාවිතය සඳනිගේ හිත මොහොතකින් දිනා ගැනීමට සමත් විය.
වැලන්ටයින් දවස ළඟා වෙත්ම කවිෂ්කගෙන් ඇයට ලැබුණු පණිවිඩය ඇගේ හදගැස්ම වේගවත් කළා.
“සඳූ… වැලන්ටයින් දවසටනේ අපි ඉස්සෙල්ලාම මීට් වෙන්නේ. එදාට මට ඕනේ මගේ හීනවල ඉන්න ඔයාව ඇස් දෙකෙන් දකින්න. මට එදාට ඔයාගේ ලස්සන ඇත්තටම විඳින්න ඕනේ. මගේ මැණික එදාට ලස්සන කොට ගවුමක් ඇඳගෙන එන්න ඕනේ හරිද රත්තරන්… ඔයා මගේ පණනේ ඉතින්.”
කවිෂ්කගේ ඒ වචන පිටුපස සැඟවුණු රාගික ස්වරය තේරුම් ගැනීමට තරම් සඳනි ලෝකය දැක තිබුණේ නැත. ඇය මවගෙන් ඉල්ලා සිටියේ රතු පාට, හීනි පටි සහිත කෙටි ගවුමකි. කුසුම් රෙදි මහන මැෂිම නතර කර, දෑස්වල කඳුළු පුරවාගෙන සඳනිගේ අතක් තදින් අල්ලා ගත්තාය.
” මගෙ දුවේ…උඹව මේ තත්ත්වයට ගේන්න මම වින්ද දුක දන්නේ මම විතරයි. තාත්තා නැති අඩුව දැනෙන්න නොදී රෑ දවල් නැතුව මේ මැෂිම පෑගුවා.ඒකට පින් සිද්ධ වෙන්න කීයක් හරි හම්බකරගත්තා. මේ වගේ ඇඳුම් ඇඳගෙන පාරට බැස්සම පිරිමි උඹ දිහා බලන්නේ ආදරේකට නෙවෙයි දුවේ. අම්මා කෙනෙක් විදිහට මගේ පපුව පිච්චෙනවා උඹට මොකක් හරි කරදරයක් වෙයි කියලා බයට…”
කුසුම්ගේ ඒ ආයාචනය සඳනිට දැනුණේ තහංචියක් ලෙසය. ඇය තම අත රුදුරු ලෙස ගසා දමා කුසුම්ට බැණ වැදුණාය.
“හැමදාම මගේ සතුට නැති කරන එක තමයි අම්මගේ වැඩේ..අම්මා හිතන්නේ මම තවම හතරේ පහේ පන්තියේ ළමයෙක් කියලද? මට වැඩිය මෙහේ ඉන්න කෙල්ලෝ අහරෙන් මෙහෙන් කපපු ඇඳුම් අඳින්නේ. අම්මට බැරිනම් මම වෙන කාට හරි කියලා මේක මහගන්නම්.”
දියණියගේ ඒ රළු වචන හදවත පසාරු කරගෙන ගියත්, ඇගේ අමනාපය දරාගත නොහැකි තැන කුසුම් හිතේ බරක් තබාගෙන ඒ ඇඳුම මසා නිම කළාය. පෙබරවාරි දහහතර උදා විය. සඳනි ඒ රතු ගවුම හැඳ අම්මා ඉදිරියට ආවාය.
“අම්මේ, ඉෂිනිගේ හදිසි වැඩක් තියෙනවා කිවුවා ටවුන් එකේ. මම එයාට උදව්වට ගිහින් ඉක්මනට එන්නම්.”
ඇය අම්මාට බොරුවක් කියා නිෙවසින් පිටව ගියේ දහසක් බලාපොරොත්තු හදවතේ පුරවාගෙනය.
සඳනි ගොස් විනාඩි දහයක් පමණ ගත වෙද්දී, ඉෂිනි කලබලයෙන් ඔවුන්ගේ නිෙවසට පැමිණියාය.
“ඇන්ටී…………ඇන්ටි සඳනි කෝ?
“ඉෂිනි! ඇයි දුවේ ඔයා මෙහේ? සඳනි කිවුවේ ඔයාට ටවුන් එකේ හදිසි වැඩක් තියෙනවා, ඒකට උදව් වෙන්න යනවා කියලා. ඔයා මෙහේ නම් මගෙ කෙල්ල කොහෙද ගියේ?”
“අනේ ඇන්ටි සඳනි අද කවිෂ්ක කියලා කෙනෙක්ව හම්බෙන්න යනවා කියලා මට මැසේජ් එකක් දාලා තිබුණා. මම ඒ කොල්ලගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවට පස්සෙ මට තේරුණා ඒ මනුස්සයා වැඩිය හොද මිනිහෙක් නෙවේ කියලා. ඒකේ තියෙන්නේ ඔක්කොම හරි නැති දේවල්. හරි අමුතුයි, රස්තියාදුකාරයෙක් වගේ. මම සඳනිට එපා කිවුවා, ඒත් සඳනි මටත් බැණලා ගියේ. මට බයයි සඳනිට කරදරයක් වෙයි කියලා.ඒකයි මං මේ දුවගෙන ආවේ.”
කුසුම්ගේ ලෝකය එකවරම නැවතුණාක් මෙන් දැනුණි. ඇය දෙවරක් නොසිතාම පාරට දිව ගොස් සුනිල්ගේ ත්‍රීවීල් රථයෙන් නගරය දෙසට ඇදුණාය.
“සුනිල් අයියේ… මගේ කෙල්ල අමාරුවක වැටිලා. මාව ඉක්මනට ටවුන් එකට දාන්න” කුසුම් හඬමින් පැවසුවාය.
මේ අතර සඳනි නගරයේ උද්‍යානයකදී කවිෂ්කව මුණගැසුණාය. නමුත් ඇයගේ සිතේ මැවුණු සිහින කුමාරයා වෙනුවට එතැන සිටියේ රළු මිනිසෙකි. ඔහු වහාම ත්‍රීවීල් රථයක් ගෙන්වා සඳනිව එහි නංවා ගත්තේය.
“කවිෂ්ක… කොහෙද මේ යන්නේ? අපි පාර්ක් එකට නේද ආවේ?” සඳනි බියෙන් ඇසුවාය.
“කෑගහන්න එපා කෙල්ලේ… අපි යන්නේ නිදහස් තැනකට. ඔයාගේ මේ ලස්සන බලන්න මට මීට වඩා හොඳ තැනක් ඕනේ.”
ඔහු ත්‍රීවීල් එකේ යන අතරතුර තම මිතුරන්ට දුරකථන ඇමතුමක් ගත්තේය.
“මචං… වැඩේ හරි. මම දැන් වීල් එකේ එනවා හොටෙල් එකට. උඹලත් එතනට වරෙල්ලා. මම ලොකේෂන් එක ෂෙයා කරලා තියෙන්නේ.”
කවිෂ්කගේ ඒ වචන ඇසූ සඳනිගේ මුළු සිරුරම වෙව්ලන්නට විය. තමා මහා ප්‍රපාතයකට වැටී ඇති බව ඇයට වැටහුණි.
“මට බහින්න ඕනේ… මේක නතර කරන්න!” සඳනි කෑගසමින්, කවිෂ්කට බැන වදිමින් හඬා වැටුණාය.
“තමුසේ මාව රැවැට්ටුවා නේද පාහරයෝ..මම හිතුවේ තමුසේ මට ආදරෙයි කියලා. තමුසෙ මහ තිරිසනෙක්..නවත්තපන් මේක..මාව අත ඇරපන් කවිෂ්ක.මට ගෙදර යන්න ඕනේ..අනේ මගේ අම්මේ….”
සඳනිගේ බැණ වැදීම් හමුවේ කෝපයට පත් වූ කවිෂ්ක, ඇගේ මුහුණට දැඩි පහරක් එල්ල කළේය.
“කට වහපන්.උඹේ සද්දෙ වැඩි හොඳටම…”
“මචං පුළුවන් තරම් වේගෙන් යමන් අපේ ලොකේෂන් එකට” යනුවෙන් ත්‍රීවීල් රියැදුරාට කවිෂ්ක පැවසුවේය.
කම්පනයට පත් වූ සඳනි කවිෂ්කට පහරදීමට සැරසෙද්දී ම, කවිෂ්ක ඇගේ ගවුමෙන් ඇද පහරක් එල්ල කළේය. එම පොරබැදීමේදී ඇගේ රතු ගවුමේ කොටසක් ඉරී ගිය අතර දෙවරක් නොසිතූ සඳනි වේගයෙන් ඇදී යන ත්‍රීවීල් රථයෙන් බිමට පැන්නාය. ත්‍රිරෝද රථය නොනවත්වා ඉදිරියට ගමන් කළ අතර වැටුණු වේගයට සඳනිගේ දණහිස් සහ වැළමිට තුවාල වී ලේ ගලන්නට විය. ඇය හඬමින් සහ වේදනාවෙන් මිරිකෙමින් බස් නැවතුම දෙසට දිව ආවාය. ඈතින් ආ සුනිල්ගේ ත්‍රීවීල් රථයේ සිටි කුසුම්, බස් නැවතුම දිගේ හතිලමින්, කඳුළු පුරවාගෙන, ඉරුණු ඇඳුමෙන් දුවගෙන එන තම දියණියව දුටුවාය. ත්‍රීවීල් රථය නතර කළ සැණින් කුසුම් බිමට පැන සඳනිව තම පපුවට තද කරගත්තාය.
“අම්මේ… මට සමා වෙන්න අම්මේ! මම අම්මට මොන තරම් නම් හිත රිදෙන දේවල් කිවුවද?”
සඳනි මවගේ පපුවේ හිස තබාගෙන මහා හඬින් හඬන්නට වූවාය.කුසුම්ගේ දෑසින් ද කඳුළු කඩා හැලුණි. ඇය සඳනිගේ හිස පිරිමදිමින්, ඇගේ ඉරුණු ඇඳුම තමාගේ අතින් වසා ගත්තාය.
“අඬන්න එපා මගේ රත්තරන් දුවේ… දැන් ඉතින් බය වෙන්න එපා. අම්මා ඉන්නවනේ. මගේ දුවට කරදරයක් වුණා නම් මම ජීවත් වෙලා වැඩක් නෑ දුවේ. සිද්ධ වුණ දේ වුණා… මගේ දුව යහතින් ආපහු මගේ ළඟට ආව එක විතරයි මට වටින්නේ. මගේ පණට වඩා මම මගේ දුවව පරිස්සම් කරනවා. දැන් හැමදේම ඉවරයි මැණික… අපි ගෙදර යමු.”
නිෙවසට ආ පසු කුසුම් සඳනිගේ තුවාලවලට බෙහෙත් දමා ඇගේ හිස පිරිමැද්දාය. ඇය සෙමින් සඳනි අසලින් වාඩි වී ඇගේ අතක් අල්ලාගත්තාය.
“දුවේ, අම්මලා දරුවන්ට එපා කියන සමහර දේවල් දරුවන්ට දැනෙන්නේ තහංචි වගේ තමයි. ඒත් අම්මා කෙනෙක් දරුවෙක්ව පරිස්සම් කරන්නේ කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ ලෝකේ සමහර මිනිස්සුන්ට ආදරේ කියන්නේ තවත් කෙනෙක්ව පාවිච්චි කරන එකට. හැබැයි සැබෑ ආදරේ කියන්නේ තමන්ගේ පණ වගේ අනෙක් කෙනාව රකින එක. අම්මා එපා කිවුවේ ඒ රතු ගවුමට නෙවෙයි දුවේ, ඒක ඇතුළේ හැංගිලා තිබුණ අනතුරට.”
සඳනි අම්මාගේ අත තදින් අල්ලා ගෙන තුරුළු වූවාය. තමා එදා අම්මාට කී රළු වචන ගැන ඇයට දැනුණේ මහා පසුතැවීමකි.
“මට සමාවෙන්න අම්මේ. මම හිතුවේ අම්මා මගේ සතුට නැති කරනවා කියලා. ඒත් මාව ඇත්තටම රකින්න ඉන්නේ අම්මා විතරයි කියලා මම අද ඉගෙන ගත්තා.”
වැලන්ටයින් දවසේ නගරයේ තැන තැන ලස්සනට සැරසුණු පෙම්වතුන් දහසක් ඉන්න ඇති. නමුත් සඳනි එදා ලෝකයේ වටිනාම ආදරය හඳුනා ගත්තාය. ඒ කිසිවක් බලාපොරොත්තු නොවී තමාව ලෝකයෙන් ආරක්ෂා කරන අම්මාගේ අසීමිත සෙනෙහසයි. සඳනි එදා තේරුම් ගත්තේ අම්මා මහන රළු රෙදි කැබැල්ල සැබෑ සේද රෙද්දකට වඩා වටිනා බවයි. ජීවිතයේදි අප සිදු කළ යුත්තේ මිරිඟුවක් හඹා යෑම නොව, තමන්ව රකින ඇත්තම බැඳීම් හඳුනාගෙන ඒවාට ගරු කිරීම බව ද ඇය එදා ඉගෙන ගත්තාය. ඇය මසා ගත් ඒ රතු ගවුම, ඇගේ ජීවිතයේ විශාලතම පාඩම ඉගැන්වූ සාක්ෂිකරුවා බවට පත් විය.
TEXT – තුෂාණි රාජපක්ෂ
