එංගලන්තයේ නෝර්ත්හැම්ප්ටන්ෂයර්හි ඇල්තෝර්ප් උද්‍යානයේ කුඩා දූපතක් මැද සුවෙන් නිදා සිටින ඇය මීට දශක හතරකට පහකට පෙර ප්‍රේමයේ රස පහස වින්දේ රාජකීය දෑඟිලි මත වෙළී සුවය ලබමිනි.
ඒ පෙම් සුවය දුන් ආදරණීය සුපෙම්වතාගේ සිත ඇයට රළු පරළු වදන් තෙපළද්දී විඳි දුක් ගැහැට සිතේ සිරකර ගත් ඇගේ වත අදටත් කුඩා දූපතක නිසොල්මන්ව සිටින්නීය. ඇය නිසොල්මන්ව වැතිර සිටින ඒ දූපතේ පිපෙන හිනැහෙන මල් පවා අපට සිහිපත් කරන්නේ ඇගේ ආදරය උතුරාලන සිනා වතයි. විසි නව වසරක් ඉක්ම ගියත් ඒ රුව අප සිත් සතන්වලින් මැකී නොයන තරමටම ඇය පියකරු ය. වේල්සයේ රෝස කුසුම විරුදාවලිය ලත් ඩයනා කුමරිය සැබැවින්ම ආදරයේ සංකේතයකි. වැලන්ටයින් දිනයක ඇයව අමතක කර ආදරය ගැන කතා කරන්නේ කෙසේද? සැබැවින්ම ඇය ප්‍රේමයේ ප්‍රතිමූර්තියකි.
මුළු මහත් ලෝකයක්ම ඇගේ ආදරය තේරුම් ගත් නමුත් ඇගේ සැමියා වූ චාල්ස් කුමරු ඩයනාගේ පිවිතුරු ප්‍රේමය තේරුම් ගත්තේ නැත. ඇගේ සිනහ පිරි වතකමල සහසකුත් ජනීජනයාගේ සිත් සුවපත් කළද චාල්ස් ඉන් ලද සුවයක් නැත. චාල්ස් ඩයනාගේ අත ගන්නටත් පෙර පටන් කැමිලාගෙන් ලද සුවයම පතා ඩයනාව අත්හැරියේ ඒ නිසා විය හැකිය. අද එක්සත් රාජධානියේ රාජකීයත්වය ඉසුලුවත් චාල්ස් – ඩයනා හබයේදී බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරයක් පවා ඩයනාගේ පැත්ත ගන්නේ චාල්ස්ගේ ක්‍රියාකලාපය නිවැරදි නොවන බව සක්සුදක් සේ දන්නා නිසාය.
එක්දහස් නවසිය හැට එකේ ජුලි මස පළමුවැනිදා එංගලන්තයේ ග්‍රාමීය රජ පෙළපතක තුන්වැනි ගැහැනු දරුවා ලෙස උපන් ඩයනා ස්පෙන්සර්ට සයවස් සපිරෙද්දීම ඇගේ මවුයෝ විවාහයෙන් වෙන් වූහ. කුඩා කල සිටම මවුපියන්ගේ විරසකකම් දරාගෙන දිවි ගෙවූ ඇය බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් කුමරු සමඟ පෙමින් වෙළෙන්නේ යාන්තම් අවුරුදු දහ අට සපිරෙන්නටත් පෙරාතුව ය.
බකිංහැම් මාලිගයේ රාජකීය උයන් තෙර පිපෙන රෝස මල් පවා ඉරිසියාවෙන් සැලෙන තරම් රුවක් ඩයනා සතු විය. රෝස මලක සිරිය පවා පරදන රුවකින් සපිරි ඩයනා සහ චාල්ස්ගේ පෙම් පලහිලව්ව ගැන රජ පවුලෙන් පවා දොසක් නැගුණේ නැත. ඒ නිසාම වසරක් දෙකක් ගෙවෙන්නට මත්තෙන් දලු ලා වැඩුණු චාල්ස් – ඩයනා ප්‍රේමය, රාජකීය විවාහ මංගල්‍යයකින් කෙළවර වූයේ රාජකීය පවුලේ පමණක් නොව එංගලන්ත වැසියන් ඇතුළු ලෝ වැසියන්ගේ මුව සොම්නසින් උතුරවමිනි.
එහෙත් එක්දහස් නමසිය අසූ එක වසරේ ඩයනාගේ අත ගත් චාල්ස්ගේ අනෙක් අත තවත් අයෙකුගේ පහස ලබන බව ඩයනාට වැටහෙන්නට වැඩි කලක් ගත වූයේ නැත. චාල්ස් හා පෙමින් වෙලී සිටි සමයේදීත් ඒ ගැන කනින් කොනින් සැල ව තිබුණද විවාහයෙන් පසුව ඒ සියලු බැඳීම් අත්හරින්නට තරම් චාල්ස් තමන්ට ආදරණීය වේවි යැයි ඩයනා සිතන්නට ඇත. එහෙත් කැමිලා පාකර් හා පෙමින් බැදී සිටි චාල්ස්, ඩයනා මාළිගාවේ තනි කර කැමිලා හා රිසි සේ පෙම් සුව වින්දාහ. ඒ වන විට විලියම් කුමරුට සහ හැරී කුමරුට මවක වූ ඩයනා සිය දරුවන් සහ දැසි දස්සන් සමඟ මාලිගාවේ බිත්ති හතරට කොටු වූවාය. ඈ විඳි දුක් දොම්නස් කියන්නට මාළිගාවේ බිත්ති හතර මිස අන් කිසිවෙක් නොසිටියේය.
රෝස කුසුමක පැහැය ගත් ඩයනාගේ සුසුදු වත කෙමෙන් මැළව ගියේ රජ මාළිගාවද අපායක් කරමිනි. විවාහක කාන්තාවක් වූ කැමිලා සමඟ චාල්ස් කුමරු තමන්ට කරන ද්‍රෝහිකම් නොඉවසූ ඩයනා එක්දහස් නමසීය අනූ දෙක වසරේදී චාල්ස්ගෙන් වෙන්ව වසන්නට තීරණය කළාය. චාල්ස්ගෙන් වෙන් වූ ඩයනා බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ලද විශේෂ පොලිස් ආරක්ෂාව පවා අත්හැරියාය. සියලු රැකවලින් මිදුණු ඇය සමාජ සේවය හරහා ලෝවැසි ජනයාගේ සිත් සුවපත් කළේ එයින් හෝ තම සිත් වේදනාබරිත කළ කැළැල් මකා ගනු රිසියෙනි.
විවිධ රෝගවලින් පෙළෙන රෝගීන් වෙනුවෙන් මෙන්ම යුද්ධයේ කුරිරු ගිනි දැලෙන් පිච්චෙන මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට ඩයනා නිරතුරුවම වෙහෙසුණාය. මේ අතරතුර බීබීසී සම්මුඛ සාකච්ඡාවකට තමා විඳි දුක් ගැහැට හෙළි කළ ඩයනා, රජ පවුලේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූවාය. ඒ නිසාම එක්දහස් අනූ පහ වසරේදී ඩයනා කුමරිය චාල්ස් කුමරුගෙන් දික්කසාදය ලැබුවාය.
අනතුරුව සමාජ සේවා කටයුතු වෙනුවෙන්ම සිය දිවිය කැප කළ ඩයනා කුමරිය ඒඩ්ස් රෝගය වැළඳුණු රෝගියෙකුගේ දෑත අල්ලාගත් සේයාරුවක් ලොව පුරා ඉමහත් ජනාදරයට ලක් විය. එසේම ලොව යුද මුක්ත කලාපයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා ද ඈ පෙරමුණ ගත්තාය. ඒ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමි වන විට ඇය මෙලොවින් සමුගෙන තිබීමද සංවේගය උපදවන්නක් විය.
එක්දහස් නමසිය අනූ හත වසර ඩයනා කුමරියගේ සිතට සැනසුමක් ගෙන දුන් වසරක් විය. ඇය ඒ වන විටත් ඊජිප්තු ජාතික කෝටිපතියෙකුගේ පුතෙක් වන ඩොඩී අල් ෆයෙද් සමඟ පෙමින් වෙළී සිටියාය. නිතර දෙවේල් ඇය යන එන තැන්වල ඇගේ අත ගෙන සිටියේ ඩොඩී අල් ෆයෙද්ය. මෙය බ්‍රිතාන්‍ය රජ පවුලේ නොරිස්සුමටද හේතුවක් වූ බවට කටකතා පැතිර ගියේ ලැව්ගිනි පිට ලැව්ගිනි ඇවිල්ලෙන්නාක් සේය. ඒ අතර ඩයනා සහ ඩොඩීගේ ප්‍රංශ සංචාරය ලෝ පුරා ඉමහත් කතාබහට ලක් විය. පෙම්වතුන්ගේ පරාදීසයක් වූ ප්‍රංශයේ පැරිස් නුවර ඩයනා සහ ඩොඩී අතිනත ගත් සේයාරූ ලෝ පුරා පැපරාසී කැමරාකරුවන්ගේ උකුසු ඇසට ලක් වූයේ ඔවුන්ටද හොර රහසේය. එක්දහස් නමසිය අනූ හතේ ජුලි තිස් වැනිදා එංගලන්ත වැසියන්ට නිදි නැති රැයක් වූවා කිවහොත් වැරදි නැත. එදින මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යන්නේ ඩයනා කුමරියගේ දිවියේ අවසන් හෝරා කිහිපය බව මාරයාවත් දැන සිටියා දැයි සැක සහිතය. ඩයනා සහ ඩොඩී, රිට්ස් හෝටලයෙන් ආහාර ගෙන බෙන්ස් රථයකට ගොඩ වුණේ රියැදුරුට වේගයෙන් ධාවනය නොකරන්නැයි අවවාදයක් ද දෙමිනි. පැපරාසීන්ගේ ග්‍රහණයෙන් මිදෙන්නට ඔවුන් තෝරා ගත්තේ ද තදබදය අඩු උමං මාර්ගයකි. උමං මාර්ගයේ මඳ දුරක් ගමන් කරද්දී ඩයනා ගමන් කළ රථය, සුදු පැහැති කාර් රථයක් පසු කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වන්නේ රියැදුරුට සහ ඩොඩීට එතැනම මරු කැඳවමිනි.
කොන්ක්‍රීට් කණුවක හැපී කුඩුපට්ටම් වූ කාර් රථයේ සිර ව සිටි ඩයනා කුමරියව ඉවතට ගන්නට පැයක පමණ කාලයක් ගත විය. බාධා මැද ගිලන් රථයක ඩයනා කුමරිය රෝහලට ගෙන ගියත් ජුලි තිස් එක් වැනිදා හිමිදිරියේ ඇය සිය දෙනෙත් පියා ගත්තේ ලොවක් කඳුළින් නහවාලමිනි. සහසක් රෝස කුසුම් විකසිත වන්නට මාන බලන හිමිදිරි පාන්දර වේල්සයේ රෝස කුසුම පරව ගොස් මේ වන විට විසි නව වසරක් ගත වී ඇත.
විසි නව වසරක් ගත ව අලුත් ශත වර්ෂයක තෙවැනි දශකය ගෙවී යද්දී වුවද ඩයනාගේ ප්‍රේමය අපට අමතක වන්නේ නැත. ප්‍රේමය ඇතුරුණු සිනහව පිරි ඇගේ සේයාරුවකින් වුවද සිත් සැනහෙන තරමට ඇය ප්‍රේමණීය ය. ඒ ප්‍රේමය අප සිත් තුළ අද මෙන් හෙටත් මතක සැමරුමක් ලෙස පවතිනු නොඅනුමානය.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
