Monday, February 9, 2026
Epaper
Home Highlightsකොළඹ අහස යට සැඟවුණු පෙම්වතුන්ගේ පාරාදීසය

කොළඹ අහස යට සැඟවුණු පෙම්වතුන්ගේ පාරාදීසය

by Shanaka Lakehouse

නගරයේ ඝෝෂාව මැද හුස්ම ගන්නා සොඳුරු ඉසව්ව. කොළඹ යනු හුදෙක් වාහන තදබදයත්, අහස උසට නැඟුණු කොන්ක්‍රීට් ගොඩනැඟිලිත් පමණක් යැයි සිතන ඕනෑම අයෙකුගේ මතය වෙනස් කිරීමට “බැද්දගාන තෙත්බිම් උද්‍යානය” සමත් වේ.

නගරයේ හදවත බඳු වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අසිරිමත් දියවන්නා නදී තීරයේ පිහිටි මෙම ඉසව්ව, කාර්යබහුල ජීවිතයෙන් හෙම්බත් වූ හිතකට සැනසීම දෙන “හරිත ඔක්සිජන් කලාපයකි”.

උද්‍යානයේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වනවාත් සමඟම, ඔබ මෙතෙක් සිටි ලෝකයෙන් මිදී තවත් අපූරු ලෝකයකට සැපත් වූවාක් වැනි හැඟීමක් සිතට දැනෙන්නට පටන් ගනී. වාහන නළා හඬ වෙනුවට කුරුල්ලන්ගේ කිචිබිචියත්, දූවිලි මිශ්‍ර හුළඟ වෙනුවට තෙත්බිමේ සිසිලසත් ගත සිත නිවාලන්නේ නිරායාසයෙනි.

ආදරය දෝරෙ ගලන ලී පාලමේ මතක සිතුවම්

බැද්දගාන උද්‍යානයට වඩාත්ම ආකර්ෂණය ගෙන දෙන්නේ තෙත්බිම මැදින් ඉහළට වන්නට ඉදිකර ඇති දිගු ලී පාලම් පද්ධතියයි (Boardwalks). මෙය සැබවින්ම පෙම්වතුන්ගේ පාරාදීසයක් වන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට නම් එහි සවස් යාමයක ඇවිද යා යුතුමය. අත්වැල් බැඳගෙන, හෙමින් සීරුවේ මේ ලී පාලම් මත ඇවිද යන විට දෙපසින් දිස්වන කඩොලාන ශාක සහ දිය පිරුණු පොකුණු ඔබේ ආදර කතාවට අපූරු පසුබිමක් නිර්මාණය කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පෞද්ගලිකත්වයයි. අනෙක් උද්‍යාන මෙන් නොව, බැද්දගාන තුළ ඇති නිහඬ බවත්, විනයගරුක පරිසරයත් නිසා පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමටත්, පරිසරයේ සුන්දරත්වය විඳීමටත් උපරිම ඉඩකඩක් සැලසේ. තෙත්බිමේ සුවඳ සමඟ මුසුවන ආදරණීය වචන, ජීවිතයට අමතක නොවන මතකයන් එක් කරයි.

දියවන්නාවේ දිය රැලි මත ඇඳෙන රන්වන් සන්ධ්‍යාව

හිරු බැස යන මොහොත බැද්දගානට ගෙන එන්නේ විස්තර කළ නොහැකි තරම් සුන්දරත්වයකි. අහස රන්වන් සහ තැඹිලි පැහැයෙන් වර්ණවත් වන විට, එම වර්ණ දියවන්නා දිය මතුපිට පතිත වී දිලිසෙන අයුරු දකින ඕනෑම අයෙකුගේ දෙනෙතට එය මනරම් දසුනකි.

පක්ෂි නිරීක්ෂණ කුලුන (Observation Tower) මුදුනට නැඟුණු විට මුළු තෙත්බිම් කලාපයම සහ ඈතින් පෙනෙන කොළඹ අහස සිඹින ගොඩනැඟිලි රටාව එකම රූප රාමුවකට හසු කරගත හැකිය. මෙහිදී ලබාගන්නා ඡායාරූප ඔබේ ජීවිතයේ සුන්දරම මතකයන් වනු නොඅනුමානය. සොබාදහම සහ නාගරිකත්වය එකිනෙක මුණගැසෙන මේ අපූරු ඉසව්ව, ආදරවන්තයින්ට පමණක් නොව, ඡායාරූප ශිල්පීන්ට ද තෝතැන්නකි.

විහඟුන්ගේ පාරාදීසය සහ සොබාදහමේ ගීතය

මෙය හුදෙක් පෙම්වතුන්ට පමණක් සීමා වූ තැනක් නොවේ. ඔබ සොබාදහමට පෙම් කරන්නෙකු නම්, බැද්දගාන ඔබට කියා දෙන්නට බොහෝ දේ තබාගෙන සිටියි. දියකාවන් පියාපත් විදහා වේළෙන අයුරු, නිල් පිළිහුඩුවෙකු දිය මතුපිටට පැන මාළුවෙකු ඩැහැගන්නා අයුරු සහ විවිධ වර්ණවලින් යුත් සමනලුන් රෑනක් මල් සොයා යන අයුරු ඔබව මවිතයට පත් කරනු ඇත. පරිසරයේ ඇති නිහඬතාව බිඳින්නේ මේ සතුන්ගේ හඬවල් පමණි. එම හඬ මිනිස් සිතට ගෙන එන්නේ කිසියම් වූ භාවනාත්මක සුවයකි.

ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු

මෙම හරිත පාරාදීසයට පිවිසීමට ඔබ විශාල මුදලක් වැය කළ යුතු නැත. එක් අයෙකු සඳහා ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 200ක් වැනි සුළු මුදලකි. උද්‍යානය තුළ කෑම බීම මිලදී ගැනීමට තැන් නොමැති බැවින්, ඔබට අවශ්‍ය ඕනෑම කෑමක් හෝ බීමක් පිටතින් රැගෙන ඒමට අවස්ථාව ඇත. එහෙත් එය පරිසර හිතකාමී ලෙස පරිහරණය කිරීමට ඔබ වගබලා ගත යුතුය. උද්‍යානය සෑම දිනකම පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා විවෘතව පවතින බැවින්, උදෑසන කාලයේ කුරුල්ලන් නැරඹීමට හෝ සවස් කාලයේ හිරු බැස යන සුන්දරත්වය විඳීමට ඔබට කාලය වෙන් කරගත හැකිය.

නිම නොවන ආකර්ෂණය: ඇයි ඔබ යන්නම ඕනේ?

බැද්දගාන කියන්නේ එක පාරක් ගිහින් ඇති වෙන්නේ නැති තැනක්. ඒකට හේතුව එහි ඇති පිරිසිදු බව සහ ආරක්ෂිත බවයි. ප්ලාස්ටික්වලින් තොර කලාපයක් ලෙස මෙය පවත්වාගෙන යන නිසා, ඉතාම ගුණාත්මක පරිසරයක් මෙහි පවතී. ඔබ ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ මීළඟ නිවාඩුවේ කොහේ හෝ යන්නට හිතනවා නම්, නිකරුණේ සල්ලි වියදම් කරමින් දූවිලි පිරි පාරවල් දිගේ ඇවිදිනවාට වඩා, මේ සොඳුරු තෙත්බිම වෙත පියමං කරන්න. එහි ඇති සීතල හුළඟත්, හරිත පැහැයත් ඔබේ බැඳීමට අලුත් පණක් ලබා දෙනු ඇත.

TEXT – තරුෂි පතිරණ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?