Monday, February 9, 2026
Epaper
Home Highlightsධර්මයුද්ධය 2

ධර්මයුද්ධය 2

by Shanaka Lakehouse

අරුණ ජයවර්ධනගේ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු ධර්මයුද්ධය 2 චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාශාලාවල තිරගත වෙයි. මලයාලම් සිනමා කෘතියක් මවු කෘතිය කරගත් ධර්මයුද්ධය චිත්‍රපටයේ පළමු දිගහැරුම ශ්‍රී ලංකා රසිකයන්ට තිළිණ වන්නේ දෙදහස් දහහත වසරේදීයි. මලයාලම් බසින් නිකුත් වුණු මෙහි මුල් කෘතිය දෘශ්‍යම් නම් විය. ඒ වන විටත් දමිළ, කණ්ණඩ, හින්දි ඇතුළු භාෂා ගණනාවකට ප්‍රතිනිර්මාණය වූ මෙහි දෙවැනි දිගහැරුම 2021 වසරේදී ලෝ පුරා තිරගත විය.

ධර්මයුද්ධය 1 චිත්‍රපටය සිංහල සිනමා රසිකයන් අතර වඩාත් කතාබහට ලක් වුණේ එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ ජැක්සන් ඇන්තනීගේ අසහාය රංග පෞරුෂය නිසායි. ජැක්සන් ඇන්තනී පමණක් නොව මෙහි පළමු චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා හැරුණු විට අධ්‍යක්ෂවරයා ඇතුළු බොහෝ මුහුණු දෙවැනි චිත්‍රපටයේදී අලුත් වී තිබීම ද විශේෂත්වයකි. ජැක්සන්ගේ හදිසි වියෝවෙන් පසු ධර්මයුද්ධය 2 සිනමා සිත්තමේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පි බිමල් ජයකොඩිය. විශාල අභියෝගයක් වුවත් ඒ රංග කාර්යය සාර්ථකව සිදු කළ බිමල් ජයකොඩි තරුණි අපි සමඟ සුහද පිළිසඳරකට එක් වූයේ මේ ආකාරයෙනි.

ජැක්සන් අයියාට ධර්මයුද්ධය පළමු දිග හැරුමේ ඇරයුම ලැබුණු වග මුලින්ම කිව්වේ මට

බිමල් ජයකොඩි

ජැක්සන් ඇන්තනී රඟ පෑ හරිශ්චන්ද්‍ර චරිතය රඟදැක්වීම අභියෝගයක් වුණාද?

ජැක්සන් ඇන්තනී රඟ පෑ චරිතය රඟ දක්වන්න ලැබීම මට ඉමහත් ගෞරවයක්. එතැනට මාව ගැළපෙන්නට මාගේ යම් විශේෂත්වයක් තියෙන්නට ඇති. ඒ වගේම ඔහුගේ චරිතය ඉදිරියට ගෙන යන්නට අවස්ථාව ලැබීම ගැන මට අහිංසක ආඩම්බරයක් තිබෙනවා. ඇත්තටම මෙහි පළමු දිගහැරුමේ හරිශ්චන්ද්‍ර චරිතයට පණපෙවූ ජැක්සන් ඇන්තනී නම් මහා රංගවේදියා අබිබවා යනවා වෙනුවට මගේ රඟපෑම හරහා ඔහුට සිදු කළ හැකි හොඳම ගෞරවය ලබා දෙන්නට මං උත්සුක වුණා.

ඒ වගේම මගේ උපරිම රංගන හැකියාව උපයෝගී කරගෙන මෙහි මලයාලම්, දමිළ, හින්දි සහ කණ්ණඩ භාෂාවලින් එළිදැක්වුණු සිනමා නිර්මාණයන්හි ප්‍රධාන චරිතයට වඩා හොඳ චරිතයක් නිර්මාණය කරනවා යැයි විශ්වාසයෙන් ද මා කටයුතු කළා. දැනට තියෙන ප්‍රතිචාර අනුව, හරිශ්චන්ද්‍ර නම් ආදරණීය තාත්තාට වෙනම පෞරුෂයක් ගොඩ නඟන්නට මට හැකිව ඇති බව වැටහෙනවා. ඉතින් මේ වෙලාවේ මට දැනෙන්නේ අභියෝගය මිශ්‍ර වූ තියුණු, අහිංසක, සන්තෝසජනක හැඟීමක්.

මේ චරිතයට ඔබව තෝරා ගැනීමට බලපෑ ඔබේ විශේෂත්වය ගැන අධ්‍යක්ෂවරයාගේ අදහස වුණේ මොකක්ද?

මට මේ සඳහා ඇරයුම් කළේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ සහ ධර්ම ශ්‍රී. ඔවුන් මට කීවේ විවිධ භාෂාවලින් නිකුත් වුණු මේ චිත්‍රපටයේ සෑම ප්‍රධාන චරිතයකම පෙනුම මගේ පෙනුම හා සමාන බවයි. ධර්මයුද්ධයේ පළමුවැනි දිගහැරුමට වඩා දෙවැනි දිගහැරුමෙහි අන්ඩර් ප්ලේ එකක් ක්‍රියාත්මක වෙනවා. මගේ රංග ශෛලිය හා ඒ භූමිකාව අතර පෑහිමත් ඇතැම් විට මේ තෝරා ගැනීමට හේතු වන්නට ඇති. ඒ වගේම මේ චරිතය මට හිමි වන්නට කුමන හෝ වාසනා මහිමයකුත් බලපාන්න ඇති.

ධර්මයුද්ධය 1 චිත්‍රපටයේ ඔබ රඟ නොපෑවත් ඒ ගැන කේෂ්ත්‍රයේ මිතුරෙක් ලෙස ජැක්සන් අයියා, ඔබ සමඟ කතා බහ කරන්න ඇති…

ඇත්තටම ධර්මයුද්ධය 1 වැනි දිගහැරුම සඳහා ජැක්සන් අයියාට දුරකථන ඇමතුම එන විට මම සහ ඔහු එකම ස්ථානයක රූගත කිරීමක යෙදී සිටියා. එහිදී ඒ ගැන ජැක්සන් අයියා මට කරුණු පැහැදිලි කළා. ඒ වන විට මං කමල් හසන් රඟ පෑ මෙහි මලයාලම් චිත්‍රපටය නරඹා තිබුණා. එහිදී මෙය මඟ හැර ගන්නට එපා යැයි ජැක්සන් අයියට මං උපදේශයකුත් දුන්නා. ඉතින් එදා අපි ඒ ගැන කතා බහ කළා. චිත්‍රපටය යද්දී පවා ඔහුගේ රංග ශෛලින්, උත්සාහයන් ගැන පවා ඔහු අපට කියා දුන් සැටි මතකයි. ඉතින් ඒ සිදුවීම සැබැවින්ම දෛවෝපගතයි.


කණ්ඩායමේ අයගෙන් ලැබුණු සහයෝගය..

දිල්හානි අක්කාගෙන් මට ලොකු සහයෝගයක් තිබුණා. ඒ වගේම අරුණ කියන්නේ ඉතා නම්‍යශීලි ගති පැවැතුම් සහිත අධ්‍යක්ෂවරයෙක්. ඔහු මා සමඟ ගොඩක් වැඩ කර තිබෙනවා. ඉතින් මෙහි කැමරාකරණය කළ චන්න දේශප්‍රිය, මොහාන්, මංජුල, රංජන් ඇතුළු හැමෝම මට ලොකු සහායක් දුන්නා.

මෙහි රඟපාද්දී ඉන්දියන් මව් චිත්‍රපටවල ආභාසය ගත්තාද?

මෙහි මලයාලම් චිත්‍රපට දෙකම මං නැරඹුවා. ඒ වගේම දමිළ චිත්‍රපටයත් මං නරඹා තිබුණා. අපි වෙනත් චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් කරද්දී මවු චිත්‍රපටයට හානි කරන්න බෑ. එහිදී අපේ රංගනයන්, අධ්‍යක්ෂණය ආදිය මවු චිත්‍රපටය හා සමාන මට්ටමේ තිබිය යුතුයි. ඒ නිසා මෙය විශාල අභියෝගයක්. මෙහිදී මව් චිත්‍රපටයේ නිර්මාණාත්මක බව සහ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අපි නීතියෙන් බැඳී සිටිනවා. ඒ වුණත් මෙය අපේ පොළොවට ගැලපෙන අයුරින් සිදු කළ යුතුයි. අපේ හෘදස්පන්දනයට ගැලපෙන අයුරින් මෙය සිදු කිරීම අපේ වගකීමක්. මවු චිත්‍රපටයේ මූලික රාමුවෙන් පිට නොගොස් අපේ පොළොවට ගැළපෙන ආකාරයෙන් මෙය සිදු කළ යුතුව තිබුණා.


මේ දවස්වල තිරගත ෆාදර් චිත්‍රපටයේ ඔබගේ චරිතය ගැනත් කියමු.

ෆාදර් චිත්‍රපටයේ මගේ චරිතයටත් මේ වන විට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. මෙය එක්තරා ආකාරයක ප්‍රතිවීර චරිතයක්. මගේ රංගන කෞශල්‍යය ප්‍රේක්ෂකයන්ට දැනෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මට මෙහිදී හැකිවුණා. මෙය සාමාන්‍ය රඟපෑමක් ඔබ්බට ගිහින් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වන චිත්‍රපටයෙහි ඔවුන් අතර ක්ෂණිකව වෛරයට ලක්වන චරිතයක්. ඇත්තටම එය මගෙන් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවූ චරිතයක් යැයි මා විශ්වාස කරනවා.

ඇත්තටම මෙහි සම්පූර්ණ ගෞරවය අධ්‍යක්ෂ චමින්ද ජයසූරියට ලැබිය යුතුයි. චමින්ද මට මේ චරිතය බාර දෙන කොට මෙහි ප්‍රොෆයිල් එක අධ්‍යනය කර තිබුණා. මම මෙහි රඟ පාන ධම්මිකගේ චරිතය මොන වගේද, හැසිරීම, ඔහු කුමන වයසේද, කන බොන ආකාරය පවා චමින්ද අධ්‍යයනය කර තිබුණා. ඉතින් ඒ සියලු දේ ඒකරාශී කර ක්‍රියාවට නැංවීමට පමණක් මම සිදු කළා. එහෙත් එහිදී යම් අදහසක් ගෙන රංගනයෙහි යෙදීම තරමක වෙහෙසකාරී වැඩක් වුණා. ඉතින් එය සාර්ථක යැයි මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.

මේ වසරේ ඉදිරියේ තිරගත වීමට නියමිත චිත්‍රපටවලත් ඔබ ඉන්නවා නේද?

ඔව්. සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන වන් සීරෝද සික්ස් චිත්‍රපටයේ පුලස්ති නම් පොලිස් නිලධාරියෙකුගේ චරිතයකට මං පණ පොවනවා. එයත් සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. එය මාර්තු මාසයේ අග වෙද්දී ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකියි. ඒ වගේම ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ මායා බෝංචි චිත්‍රපටයටත් මං රංගනයෙන් දායක වුණා. ඉතින් මෙය මගේ රංගන ජීවිතයේ වාසනාවන්තම වසරක් ලෙස සැලකිය හැකියි.

ධර්මයුද්ධය චිත්‍රපටයේ පළමු දිගහැරුමට අධ්‍යක්ෂණයෙන් දායක නොවූවත් එහි දෙවැනි දිගහැරුමේ අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනයි. මේ අරුණ අප සමඟ ඒ පිළිබඳව අදහස් දැක්වූ ආකාරයයි.

බිමල් ඔ්නෑම චරිතයකට සුදුසු රංගන ශිල්පියෙක්

අරුණ ජයවර්ධන

ජැක්සන් ඇන්තනිගේ හිස් වුණු හරිස්චන්ද්‍ර චරිතයට බිමල්ව තෝරා ගත්තේ ඇයි?

ඇත්තටම ඒ තෝරා ගැනීම අභියෝගාත්මක කාර්යයක් වුණා. කොහොම වුණත් මේ සඳහා ඊළඟට ඉන්න සුදුසුම චරිතය තෝරා ගැනීමට මෙහිදී අපට සිදු වුණා. එහිදී චරිත කිහිපයක් මගෙ හිතේ මැවුණා. ඒ වගේම ජැක්සන් ඇන්තනී කරපු දේ අපට තව කෙනෙක්ගෙන් ගන්න බෑ. එහිදී අංක එකටම මගේ හිතේ රැඳුණේ බිමල් ජයකොඩි. ඉතින් මං දෙවරක් නොසිතාම ඔහුව ඒ චරිතයට තෝරා ගත්තා.

රිදී තිරයේ බොහෝ විට අහිංසක චරිත රඟපෑ බිමල් ජයකොඩිව හරිශ්චන්ද්‍ර වගේ රළු චරිතයකට තෝරා ගෙන යැයි යමෙක් කිව්වොත්..

බිමල් ජයකොඩි කියන රංගන ශීල්පියා ඔ්නෑම චරිතයක් රඟ දැක්විය හැකි රංගන ශිල්පියෙක්. මං ඔහුව හඳුනන්නේ වසර විස්සක පමණ සිටයි. ඒ කාලයේ සිට ඔහුගේ විවිධ රංගන හැකියාවන් සහ පරාස මං දැකලා තියෙනවා. රංගනයේ ප්‍රවීණයෙක් ලෙස ඔහුට මේ චරිතය නිරූපණය කිරීම එතරම් අපහසු කාර්යයක් වුණා යැයි මං විශ්වාස කරන්නේ නෑ. බිමල්ට මෙය තරමක අභියෝගයක් වෙන්නට ඇති. ඒත් ඔහු ඒ අභියෝගය සතුටින් බාර ගෙන ඉතා හොඳින් හරිශ්චන්ද්‍ර චරිතයට පණ පෙව්වා. ඉතින් ඒ අනුව බිමල් කියන්නේ අහිංසක, නපුරු ආදී ඔ්නෑම චරිතයක් රඟ දැක්විය හැකි විශිෂ්ට ප්‍රවීණ රංගන ශිල්පියෙක්.

දෘශ්‍යම් මලයාලම් චිත්‍රපටයේ තුන්වැනි දිගහැරුම අප්‍රේල් මාසයේ නිකුත් වීමට නියමිතයි. ඉතින් ධර්මයුද්ධයේත් 3 වැනි කොටස ඉදිරියේදී අපට දැක ගත හැකි වෙයිද?

අනිවාරයයෙන්ම ඒ සඳහා බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

වෙනත් රටක වෙනත් භාෂාවක සිනමා කෘතියක් තවත් රටක ප්‍රතිනිර්මාණය කරද්දී එය සාර්ථක කරගත්තේ කොහොමද?

ප්‍රතිනිර්මාණය කියන සංකල්පය අද වන විට ලොව ජනප්‍රියතම සංකල්පයක්. ඇත්තටම එහිදී අප මුලින්ම මුල් චිත්‍රපටයේ අයිතිකරුවන් සමඟ ගිවිසුම්ගත වෙනවා. එහිදී අපි හිතලා අලුතින් දේවල් චිත්‍රපටයට එකතු කරන්න බෑ. එහෙත් අපේ ප්‍රේක්ෂකයන්ට, සංස්කෘතියට, භාෂාවට ගැළපෙන ආකාරයේ යම් යම් දේවල් ඊට එකතු කරන්න පුළුවන්. අපේ සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ දේවල් අයින් කරන්නත් එහිදී හැකියාව තිබෙනවා. ඉතින් ධර්මයුද්ධය 2 චිත්‍රපටයේදී අපි ගොඩක් අනුගමනය කළේ එහි හින්දි අනුවාදය. දෙවැනි කොටසේදී වැඩිම ආදායමක් ඉපැයූවේත් මෙහි හින්දි අනුවාදයයි. ඒ වගේම බිමල් ජයකොඩිගේ චරිතයත් එක්ක මෙහි හින්දි අනුවාදයේ ප්‍රධාන චරිතය රඟ පෑ අජේ දේව්ගන්ගේ චරිත ලක්ෂණ බෙහෙවින්ම සමානයි. එයත් මෙහි හින්දි අනුවාදය අනුගමනය කිරීමට බලපෑවා. ඉතින් අපිට නොගැළපෙන කොටස් ඉවත් කරමින් සාර්ථකව චිත්‍රපටය නිර්මාණය කළා.

අධ්‍යක්ෂවරයා විදිහට ජැක්සන් සහ බිමල් අතර තිබුණු වෙනස්කම් චිත්‍රපටයට අවශ්‍ය ලෙස සකස් කරගෙන චිත්‍රපටය නිර්මාණය කළේ කොහොමද?

ජැක්සන්, බිමල් කියන්නේ චරිත දෙකක් වුණාට හරිශ්චන්ද්‍ර කියන චරිතය එකක්. ඉතින් හරිශ්චන්ද්‍ර කියන්නේ තමන්ගේ පවුල බේරා ගැනීම වෙනුවෙන් තමන් සතු සියලු අත්දැකීම් පාවිච්චි කළ චරිතයක්. ඉතින් ජැක්සන් ඒ චරිතය නිරූපණය කළේ ඔහුට ආවේණික වූ ශෛලියෙන්. එහෙත් ඒ චරිතයම බිමල් ජයකොඩි නිරූපණය කළේ ඔහුට ආවේණික ශෛලියකින්. ඒත් මේ චරිත දෙකෙන්ම නිරූපණය වන්නේ තාත්තා කෙනෙක්. තාත්තාලා ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ විවිධාකාරයි. හැබැයි මෙහි චරිත නිරූපණයේදී බිමල් සහ ජැක්සන් එකම ප්‍රශ්නයකට මුහුණ දුන් ආකාරය දෙවිදිහක් වාගේ පෙනුණට ඔවුන් මුහුණු දුන් ප්‍රශ්නයේ ගැඹුර එක හා සමානයි. තාත්තා පවුල බේරා ගැනීම වෙනුවෙන් කරන සටන බිමල් සහ ජැක්සන් තමන්ට ආවේණික වූ ශෛලීන් දෙකකින් වුවද ඉතා සාර්ථකව ඉදිරිපත් කළා යැයි මා මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස විශ්වාස කරනවා.

මේ වසරේ ඔබ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණනාවක් නිකුත් වෙනවා. ඉතින් ඇත්තටම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙතරම් කාර්යබහුල වෙන්නේ කොහොමද?

මේක මගේ වෘත්තිය. ඇත්තටම චිත්‍රපට කියන්නේ අපේ හීන. අපි ජීවත් වන්නේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සමඟ. ඒ නිසා අපි ඉගෙන ගත් අපේ අත්දැකීම් තියෙන කේෂ්ත්‍රයේ ඔ්නෑම දෙයක් කරන්නට ඔ්නෑම වෙලාවක සූදානම්. ඇත්තටම අධ්‍යක්ෂවරයෙක් ලෙස චිත්‍රපටයකට නිෂ්පාදකයෙක් සොයා ගැනීමේ සිට එහි අවසානය දක්වාම තිබෙන්නේ විශාල අභියෝගයක්. ඒ නිසා චිත්‍රපටයක් ලැබෙන ඔ්නෑම අවස්ථාවක ඒ වෙනුවෙන් ඔ්නෑම කැප කිරීමක් කරන්නට මං සූදානම්. චිත්‍රපට ලැබෙන තරමට අපේ හීන එළිවෙනවා මිසක් එය අපට කරදරයක් නොවෙයි. ඉතින් මං මියෙන තුරාම චිත්‍රපට කරමින් ඒ සමඟම ජීවත් වෙනවා. ඒ කාර්යබහුලත්වය ඇත්තටම කරදරයක් නොවේ.

මෙහි තේමා ගීතයක් ලියා තිබෙන්නේ ඔබගේ බිරිඳ. ඒ ගැනත් අදහසක් පළ කරමු.

ඇත්තටම මෙම චිත්‍රපටය පසුබිම් වන්නේ සැමියෙක් පවුලක් වෙනුවෙන් කරන කැප කිරීම සමඟයි. ඉතින් මේ සඳහා ඒ බව දනවන ගීතයක් අවශ්‍ය වී තිබුණා. ඒ වගේම මගේ ටෙලි නාට්‍ය කිහිපයකම ඇය ගීත රචනා කර තිබුණා. ඉතින් ඇය දෙයක් කිව්වාම එය ඉක්මනින්ම කරලා දෙන කෙනෙක්. ඉතින් ඇය මේ චිත්‍රපටය සඳහාත් ඉක්මනින්ම ගීතයක් නිර්මාණය කර දුන්නා. එයට හොඳ සංගීතයකුත් වැටුණා. ඉතින් එය ජනප්‍රිය වේවි යැයි මා විශ්වාසයෙන් පසු වෙනවා. ඉතින් ඒ අනුව ඇයත් මේ චිත්‍රපටයට හොඳ සාධාරණයක් ඉටු කළා.

ධර්මයුද්ධය පළමු දිගහැරුමේ මෙන්ම දෙවැනි දිගහැරුමේද ප්‍රධාන නිළියගේ චරිතය රඟ දැක්වූ දිල්හානි ඒකනායක ධර්මයුද්ධය ගැන අප හමුවේ මෙසේ අදහස් පළ කළාය.

 

මට ජැක්සන් හා බිමල් අතර වෙනසක් දැනුණේ නෑ.

දිල්හානි ඒකනායක

මේ දවස්වල කටයුතු ගැන කීවොත්..

මේ දවස්වල ලලිත් රාජපක්ෂගේ විසේකාරි චිත්‍රපටයේ රූගත කිරීම්වල නියැළෙනවා. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයක් පෝලිමේ තිබෙනවා. ඒවායේ පිටපත් පවා තාම මං කියවලා නෑ. ඉතින් ඉදිරියේදී ඒ චිත්‍රපටවලත් වැඩ කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙනවා. ඒ වගේම ජයසේකර අපොන්සු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක මම සහ මගේ පුතා රඟපානවා. එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මගේ පුතා.

ඇත්තටම චිත්‍රපට ගණනාවක වැඩ කරද්දී චරිතයෙන් චරිතයට මාරුවෙමින් හැම චරිතයකටම සාධාරණයක් ඉටු කිරීම අභියෝගයක් නේද?

ඔව්. මේ ටිකේම මට නිරූපණය කරන්නට ලැබුණේ අම්මලාගේ චරිත. ඒවායෙහි එකිනෙකට වෙනස් නිරූපණ තිබුණා. ඉතින් එහිදී මට අභියෝගයක් නොතිබුණා කියන්නට බෑ. ඒ නිසාම ඒ ඒ චරිතවල කොණ්ඩය, ඇඳුම් පැළඳුම් පවා මං වෙනස් කරවා ගත්තේ ඒවායේ ඒකාකාරි බව මඟ හරවා ගැනීමේ අරමුණින්. ඉතින් එක් එක් පිටපත්වල අම්මාගේ චරිතය රඟ දැක්වුවත් එහි විවිධ වෙනස්කම් සිදු කරගෙන මා රූගත කිරීම්වල නියැළෙනවා. එයින් රඟපෑමේදී ඇතිවන ඒකාකාරි බව මඟ හැරී යන බව කිව යුතුයි.

ධර්මයුද්ධය චිත්‍රපටයේ බිමල් සහ ජැක්සන් අතර වෙනසක් දැනුණාද?

ඇත්තටම රඟපෑමේදී දෙන්නා අතර ලොකු වෙනසක් දැනුණේ නෑ. ජැක්සන් අයියා ටිකක් වැඩිහිටි චරිතයක්. ඒ වගේම බිමල් මට වඩා ටිකක් බාලයි. එහිදී ඒ දෙන්නාගේ සිතුම් පැතුම් දෙවිදිහක් වීම සාමාන්‍ය දෙයක්. ඒ වෙනස හැර වෙනත් වෙනසක් මං බිමල්ගෙන් දැක්කේ නෑ. ඇත්තටම බිමල් කියන්නේ රංගන ක්ෙෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් වගේම මා එක්ක රඟපාලා පුරුදු කෙනෙක්. ඉතින් ජැක්සන් අයියා කරපු රඟපෑමට බිමල් අතිශය සාධාරණයක් ඉටු කළා යැයි මා විශ්වාස කරනවා.

ධර්මයුද්ධය 2 චිත්‍රපටයක් ඒවි යැයි සිතුවාද?

ඇත්තටම ධර්මයුද්ධය 2 වැනි චිත්‍රපටයක් කරයි කියලා මං හිතුවේ නෑ. ඉන්දියාවේ දෘශ්‍යම් 2 මලයාලම් චිත්‍රපටය නිකුත් වෙද්දී ජැක්සන් අයියා මා සමඟ මේ ගැන කතා කළා. ඉතින් ජැක්සන් අයියා නැතිව මෙහි දෙවැන්නක් කරයි දෝ යැයි අවිශ්වාසයක් මට තිබුණා. ඉතින් ලෝකය නතර වෙන්නේ නෑ නේ. ඉතින් ඇතැම් විට ධර්මයුද්ධය 3 චිත්‍රපටයේදී මම නැති වෙන්නත් පුළුවන්.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?