Sunday, February 15, 2026
Epaper
Home සදහම් සෙවණදෙලොවටම වැදගත් කාරණා තුනක්

දෙලොවටම වැදගත් කාරණා තුනක්

by Shanaka Lakehouse

දවසින් දවස තත්පරයෙන් තප්පරය කාලය ගෙවී යයි. කාලය සීමිතයි. උදයේ හිරු නැඟ එයි. සවසට හිරු බැස යයි. දවසේ පැය 24 ගෙවී යයි. හෙට යළිත් අලුත් පැය 24 ක් අපට ලැබෙයි. ගෙවන සෑම මොහොතක්ම ප්‍රයෝජනවත් වන අයුරින් ගත කරමු.

උතුම් ගෞතම බුද්ධ රාජ්‍ය තුළ ඔබත් මේ සංසාර ගමනින් එතෙර වන්නට ප්‍රාර්ථනා කරගනිමු. ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් නොව ඒ වෙනුවෙන් ඔබ ක්‍රියා කළ යුතුයි. ඔබ ඒවා ප්‍රගුණ කළ යුතුයි. වර්තමානයේ අප සැවොම කාර්යබහුල ජීවන රටාවකට හුරු වී තිබෙනවා. ඔබට දවසේ සියලු දේ කිරීමට ඇත්තේ පැය 24 ක් වැනි කුඩා කාලයකි. ඔබ තරුණියක් ලෙසින් හෝ ගෘහිණියක් ලෙසින් පවුලේ සැමියාගේත් දරුවන්ගේත් වගකීම් ඉටු කළ යුතුයි, ඉන්පසු ඔබ දුවක් ලෙසත් ලේලියක් ලෙසිනුත් නිවසේ වැඩකටයුතුවලට සහභාගි විය යුතුයි. වෘත්තී මය වශයෙන් ඔබ රැකියාවක නියුතු වන තරුණියක් නම් ඔබ රැකියාවේ කටයුතුත් සිදු කළ යුතුයි. අවසානයේ ඔබ ඔබ ගැනත් සොයා බැලිය යුතුයි. ඔබගේ බාහිර රූප ස්වභාවය පමණක්ම නොව ඔබගේ ආධ්‍යාත්මිකත්වයත් වර්ධනය කර ගත යුතු වෙනවා.

වර්තමානවන විට පුද්ගලයෙකුගේ ආයු කාලය අවු 65 ක් 70 ක් වැනි කෙටි කාලයකට පැමිණ ඇත. ලෙඩ රෝගවලින් තොර නීරෝගි පුද්ගලයෙකු සොයා ගැනීම ” නොමළ ගෙයකින් අබ මිටක් සොයනවා ” වැනිය. එතරම් දුෂ්කරය. මෙතරම් කෙටි ආයු කාලයක් තිබියදිත් ඔබ කුසල් දහම් වැඩිමට වග බලා ගත යුතුයි. වසර 19 ක පාසල් අධ්‍යාපනයකින් පසුව ඔබ ක්‍රමයෙන් දැනුමෙන්, බුද්ධියෙන් වර්ධනය වී තරුණයෙක්,තරුණියක් ලෙසින් සමාජයට ප්‍රවිශ්ට වෙයි. අභියෝග, බාධක හමුවේ ජීවිතයට නැවුම් ආරම්භයක් එක් කරන කාලයකි තුරුණුවිය. යහපත් දේ යහපත් විදිහටත් අයහපත් දේ අයහපත් විදිහටත් තෝරා බේරාගෙන කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයකි. ඔබ තෝරා ගන්නා දේ මත ඒවායේ පුතිඵල තීරණය වේ. සසර ගමන ද එලෙස වේ. මේ කෙලෙස් බර ජීවිතයද සුගති ගාමී වීමට දහම් කරුණු ප්‍රගුණ කළ යුතුවේ.

ඔබේ දිවිය සාර්ථක ලෙස ජය ගැනීමට ඔබත් අදම මේ වටිනා දහමි කරුණු 3 ජීවිතයට එක් කර ගන්න.

1. දක්ෂයෙක් වෙන්න.

2. ශූරයෙක් වෙන්න.

3. ප්‍රඥාවන්ත වෙන්න.

ඔබ දක්ෂයෙක් වන්නේ කෙසේද?

* පින් කිරීමට දක්ෂ වෙන්න.

* කුසල් වැඩීමට දක්ෂ වෙන්න.

* යහපත් හැසිරීමට දක්ෂ වෙන්න.

* ධර්මයේ හැසිරීමට දක්ෂ වෙන්න.

තරුණියක් ලෙසින් ඔබ යහපත් ක්‍රියාවල නියැළෙන්න. බුදු දහමට අනුව සිත කය වචන යන තුන් දොර සංවර කරගත යූතුයි. යහපත් ලෙස හැසිරීම යහපත් ලෙස වෘත්තියක යෙදීම යහපත් ආකාරයෙන් ධනය ඉපයීම යහපත් සිතිවිලිවලින් සිත පුරවා ගැනීම ඔබේ යුතුකම් ඉටු කරමින් වගකීම් පැහැර නොහැරවමින් ධාර්මික අන්දමින් ජීවිකාව ගෙනයාමට ඔබ වග බලා ගත යුතුයි. හැකි සෑම විටම දන් දීමෙන් උදවු උපකාර අවශ්‍ය වූවන්ට උදවු උපකාර කරමින්, මෛත්‍රී සහගතව සතා සිවුපාවටත් කරුණාව දක්වමින් ජීවත්වීමට පුංචි කාලේ සිට හුරු වෙමු. කෙනෙකුගේ සිතක් නොරිදෙන අන්දමින් යහපත් සෞම්‍ය වචනවලින් සමාජය සුවපත් කරමු.

ඔබ ශූරයෙකු වන්නේ කෙසේද?

පවු, අයහපත්, අකුසල, දුශ්චරිත සහ අධර්මීය දේවල් අතහරින්න ඔබත් උත්සුක විය යුතුයි. දුර්ගුණ දුශ්චරිත ස්වභාවයන්ගෙන් සම්පූර්ණයෙන් බැහැර වන්නට උත්සුක විය යුතුයි. එය එතරම් පහසු නොවූවත් ඔබ සංසාරයේ වර්ධනය කළ යුතු උතුම් කරුණකි. රළු වදන් තරහ කෝප වදන්වලින් බැහැරව මෙත් සිතින් සිනහව සහජීවනය වර්ධනය කරගත් ප්‍රියමනාප ප්‍රියකරු තරුණියක් වනු නිසැකයි.

ඔබ ප්‍රඥාවන්ත වන්නේ කෙසේද?

මෙලොවත් පරලොවත් දෙලොවත් යහපත් වන විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න තරම් ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. කාලය සීමිතයි. ඔබ ප්‍රමාද නොවී මෙම කරුණු හොඳින් වටහාගෙන ධර්ම මාර්ගයේ හැසිරීමට උත්සුක වෙන්න.

ඔබත් මේ ධර්ම මාර්ගයේ දක්ෂයෙක් වී, ශූරයෙක් වී ප්‍රඥාවන්ත වී මෙලොව පරලොව සසර ගමන එතෙර වන්නට දහම් මගෙහි හැසිරීමට හුරු පුරුදු වෙමු.

TEXT – රෝචණි බණ්ඩාර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?