සිංහල සිනමාව, වේදිකාව, පුංචි තිරය දික්විජය කළ සම්මානනීය රංගන ශිල්පිනියක වන ශ්‍රියානි අමරසේන මේ දිනවල කලා ලෝකයේ නවතම වැඩකටයුත්තකට අතගසා ඇත. ඒ ඇය විසින් පිටපත රචනය කරමින් අධ්‍යක්ෂණය කළ “සෙලියුලොයිඩ් ප්‍රේමයක්” නමැති වේදිකා නාට්‍යය වේදිකාගත කිරීමටය. අධ්‍යක්ෂණයෙන් ඔබ්බට ඇය මෙහි නිෂ්පාදන කර්තව්‍යයට ද උර දී සිටී.
ප්‍රසිද්ධ වේදිකාවෙන් කලා ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ශ්‍රියානි අමරසේනගේ ප්‍රථම වේදිකා රංගනය දයානන්ද ගුණවර්ධනගේ “නරි බෑනා” වේදිකා නාට්‍යයයි. නමුත් ඇය ප්‍රථමයෙන් රඟදැක්වූ
“තම්මැන්නා” වේදිකා නාට්‍යයේ ඇගේ රංගනය දුටු දයානන්ද ගුණවර්ධන, “නරි බෑනා” හි ගමදුවට ඇයව තෝරා ගත්තාය.
පාසල් සමයේ පටන් රංගනයට ඇය දැක්වූ ඇල්මත්, දැඩි කැමැත්තත් අරබයා ඇගේ මවගේ සහයෝගය මත ඇය පාසල් සමයේ පටන් වේදිකා රංගනයට පිවිසුණාය. ශ්‍රියානි අමරසේන යනු ගායන හැකියාවෙන් පිරිපුන් කෙනෙකි. කුඩා කල සිට ඇය සිරි අයියාගේ ළමා මණ්ඩපයෙන් ඇගේ කටහඬ මනා ලෙස පුහුණු කරගත්තාය. ඒ ලද අභ්‍යාසය මත රංගනයට අමතරව ගායනයෙන් ද රඟපෑ චරිතවලට මනා හැඩක් ලබාදීමට ඇයට හැකි විය.
කතා කරමු ඔබේ අලුත්ම වේදිකා නාට්‍යය ගැන?
“මගේ අලුත්ම වේදිකා නාට්‍යය ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’. මේ නාට්‍යයේ පිටපත රචනා කර, නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේ මම. අතිදක්ෂ රංගන ශිල්පීන් පිරිසක් මා සමග මෙම නාට්‍යයට සම්බන්ධ වෙනවා. මමයි රඟපාන්නේ ‘නන්දිතා දේවි’ නමැති ප්‍රධාන චරිතයයි. සෙසු චරිත සඳහා රත්නාලාලනී ජයකොඩි, රොෂාන් පිලපිටිය, රුවන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, යසෝදරා මානගේ, කීත් රංග, ගිහාන් පෙරේරා රඟපානවා. සංගීතය සරත් වික්‍රමගේ, වේදිකා පසුතල නිර්මාණය ලුවී වැන්ඩවෝල්, වේශ නිරූපණය ඉන්දික උදාර. මේ මස 21 වැනිදා ‘සෙලියුලොයිඩ් ප්‍රේමය’ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත වෙනවා.”
හිටිහැටියේ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට හිතුනේ ඇයි?
“මගේ ආරම්භය වේදිකාව. එනිසා මම හිතුවා වේදිකාවට යමක් කරන්නට අවශ්‍යයි කියා. මම වසර ගණනාවක් තිස්සේ හොඳ වේදිකා නාට්‍ය පිටපතක් සෙව්වා පැරණි වේදිකා නාට්‍යයක් නව නිර්මාණයක් හැටියට එළිදක්වන්න සිතුවා. අවසානයේ මම තීරණය කළා මම ම පිටපත ලියා අධ්‍යක්ෂණය කරන්න. මේ කාර්යභාරයට රොෂාන් පිලපිටිය ඇතුළු නාට්‍ය කණ්ඩායම මට බෙහෙවින් සහය දැක්වූවා. නන්දිතා දේවි නමැති ජනප්‍රිය නිළිය වටා මේ කතාව ගෙතිලා තියෙන්නේ. රංගන ක්ෂේත්‍රයේ මා දුටු නිළියන්ගේ චරිත ගණනාවක එකතුවක් නන්දිතා දේවි.”
“ප්‍රහසනය, කුතුහලය, භීතිය, ප්‍රේමය, සුන්දරත්වය මේ සියල්ලේම සංකලනයක්. අද සමාජයට යෝග්‍ය පරිදි මම නිර්මාණය කළේ ප්‍රේක්ෂක මනසට සතුටක්, ප්‍රීතියක්, වින්දනයක් ලබාදීමයි මගේ අරමුණ. නාට්‍යයේ ප්‍රථම දර්ශනය නැරඹූ බොහෝ දෙනෙක් නාට්‍ය පිළිබඳ ප්‍රසාදය පළ කළා. මට හිතෙනවා නාට්‍යය ජනතාව ආදරයෙන් වැලඳ ගනීවි කියා.”
ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ වේදිකාවට ද, පුංචි තිරයට ද, සිනමාවට ද?
“මම වඩාත් ප්‍රිය කරන්නේ වේදිකාවට. ඒ කට හේතු කිහිපයක්ම තියෙනවා. වේදිකා රංගනයේ අපේ චරිත එක දිගටම ගලාගෙන යනවා. පටන්ගැන්මේ පටන් අවසානය දක්වා අප ඒ චරිතය තුළ එක දිගටම ජීවත් වෙනවා. එය අපි විඳිනවා. දකින ප්‍රේක්ෂකයා ඉදිරිපිට අප රඟද්දී අපේ රඟපෑම් සාර්ථක වේවිද යන චකිතයක්, බියක් දැනෙන අවස්ථා තිබෙනවා. රඟපා අවසන් වූ පසු ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන අත්පොළසන් හඬ, ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඇත්තටම එය අපට විශාල ආත්ම තෘප්තියක්. මම සිනමාවට පූර්ණ කාලය වැය කළත් වේදිකා නාට්‍ය නැරඹීම අත් නොහැර, වේදිකා නාට්‍යයක රඟපෑමේ ආසාව සිත්හි දරාගෙන සිනමා ක්ෂේත්‍රයේ දිගු ගමනක නියැළුණා.”
බොහෝ දෙනා ඔබ හඳුනන්නේ සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක් ලෙසයි. නමුත් ඔබ වේදිකාවේ බොහෝ දක්ෂතා පෙන්වූ කෙනෙක් කියලා මට හිතෙනවා.
“ආරම්භයේ සිට මට රඟපාන්නට ලැබුණේ දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ වේදිකා නාට්‍යවල. දයානන්ද ගුණවර්ධනගේ ‘නරි බෑනා’, සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’, ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’, ‘කුස පබාවතී’ ආදී එවකට මනා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද වේදිකා නාට්‍ය ගණනාවක රඟපාන්න මට ලැබුණා. මා රඟපෑ ‘කුස පබාවතී’ වේදිකා නාට්‍යයේ දර්ශන වාර සියයකට ආසන්න සංඛ්‍යාවක් වේදිකාගත වුණා.”
ඔබගේ රංගන දිවියේ දිගු ගමන සිනමාවයි. කතා කරමු ඒ ගැනත්?
“හැත්තෑව අසූව දශක සිංහල සිනමාවේ විජයග්‍රාහී දශක කිව්වොත් නිවැරදියි. චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඒ වකවානුවේ නිෂ්පාදනය වුණා. මට කලාත්මක සහ වාණිජ සිනමාව යන ද්විත්වයටම රඟපෑමේ අවස්ථාව උදාවුණා. විශේෂයෙන්ම කලාත්මක සිනමාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩී. බී. නිහාල්සිංහ, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර, ටයිටස් තොටවත්ත ආදී ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරු යටතේ මට රංගනයේ යෙදෙන්නට අවස්ථාව සැලසුණා. එයට සමගාමීව වාණිජ චිත්‍රපට දහරාවේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ චිත්‍රපට සඳහා මගේ රංගන දායකත්වය ලැබුණා. ධර්මශ්‍රී කල්දේරා, ලෙනින් මොරායස්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, සරත් රූපසිංහ, නීල් රූපසිංහ, සේන සමරසිංහ ආදී වාණිජ සිනමාවේ දැවැන්ත අධ්‍යක්ෂවරුන් යටතේ මම රඟපෑවා.”
විරාගය, සරුංගලේ, කුලගෙය, මහගෙදර, කල්‍යාණි ගංගා, රත්තරන් අම්මා, ආශා දෑසින්, හතරදෙනාම සූරයෝ, මම නිෂ්පාදනය කළ තරණය, දෑසේ මල් පිපිලා, ඉදිරියට තිරගත වීමට නියමිත යාත්‍රා ආදී චිත්‍රපටවල චරිතාංග නිළියක ලෙස සිනමාවට ලබා දුන් දායකත්වය මගේ සිනමා ජයග්‍රහණයට විශාල රුකුලක් වුණා. ඒ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට අදත් මම ණයගැතියි. ‘කුලගෙය’ චිත්‍රපටයේ හොඳම නිළියට සරසවිය සම්මානය ලැබුණා. සරසවිය රණ තිසර සම්මානය, සුමති සම්මාන, රයිගම් සම්මාන යන යාවජීව සම්මානත් මට හිමි වුණා.”
ඔබ රංගනයෙන් පමණක් සෑහීමකට පත් නොවී සිනමා ක්ෂේත්‍රය, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදන කර්තව්‍යයට දායක වූ කෙනෙක්?
“මම ‘තරණය’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. විදෙස් රටවල් සම්බන්ධීකරණය කරගනිමින් සම නිෂ්පාදනය කරමින් ටෙලි නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළා. මුලින්ම එංගලන්තයේ ‘ඉර බට තරුව’ (සුදත් රෝහණ අධ්‍යක්ෂණය), ‘හේමන්තයේ වසන්තයක්’ (රොඩ්නි විධානපතිරණ අධ්‍යක්ෂණය), ‘පුෂ්ප රාගය’ (පිටපත සහ අධ්‍යක්ෂණය මගේ). මේ ටෙලි නාට්‍ය තුනේ රූගත කිරීම් එංගලන්තයේ සිදු කළා. ‘පෙරළිය’ සහ ‘රංගන විජිතය’ යන ටෙලි නාට්‍ය දෙකම පිටපත රචනය කරමින් මම අධ්‍යක්ෂණය කළා; එය ඔස්ට්‍රේලියාවේ සම නිෂ්පාදනයක්. ‘සකුරා මල්’ ජපානයේ සම නිෂ්පාදනයක පිටපත සහ අධ්‍යක්ෂණය මගේ. ‘තුෂාරයේ මායා’ කැනඩාවේ සම නිෂ්පාදනයක්. ‘ජයතුරා සංඛය’ ස්විට්සර්ලන්තයේ සම නිෂ්පාදනයක්. ‘නොපත රථ’ සයිප්‍රස් සම නිෂ්පාදනයක් ලෙස විකාශය වුණා.”
“මේ සියලුම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් සම නිෂ්පාදනය කළේ මම. විදෙස් රටවල ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමේදී විවිධ අත්දැකීම් සම්භාරයක් මගේ කලා ජීවිතයට ලැබුණා. ඒ සමඟම විදෙස් රටවල නිෂ්පාදිත සියලුම ටෙලි නාට්‍යවල මමත් රඟපෑවා. මේ දිනවල මම වෙහෙසෙන්නේ මගේ මේ නාට්‍යය සඳහායි. මම හිතනවා මගේ කලා ජීවිතයේ කඩඉමක් මේ වේදිකා නාට්‍ය තුළින් සනිටුහන් කරන්නට ලැබෙයි කියා.”
TEXT – දීප්ති ෆොන්සේකා
