ලාංෙක්ය ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානයත්, අතීත සිංහල ප්‍රභූ පරපුරක තේජසත් මැනවින් විදහාපාන සුවිශේෂී ස්මාරකයක් ලෙස මඩුවන්වෙල වලව්ව හැඳින්විය හැකිය. සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න කෝරළයට අයත් මඩුවන්වෙල ග්‍රාමයේ පිහිටි මෙම ඓතිහාසික මන්දිරය අදටත් දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයකි.

ආරම්භය හා බැඳුණු ජනප්‍රවාද
දිගු ඉතිහාසයකට උරුමකම් කියන මඩුවන්වෙල වලව්වේ ආරම්භය පිළිබඳ ඇත්තේ රසවත් ජනප්‍රවාදයකි. මෙහි ආරම්භකයා ලෙස සැලකෙන්නේ “මහා කොල්ලයා” නමැත්තෙකි. ඔහු දිනක් දඩයමේ යන විට, හාවෙකු පසුපස හිවලෙකු පන්නනවා වෙනුවට, හිවලෙකු පසුපස හාවෙකු පන්නාගෙන යන අයුරු දැක ඇත. මෙම පෙරළිකාර සිදුවීම නිසා මෙය “ජය භූමියක්” ලෙස සලකා ඔහු එහි වාසස්ථානය ඉදිකළ බව පැවසේ. මෙම ඉදිකිරීම පළමුවන විමලධර්මසූරිය රජ සමයේ සිදුවූ බව බොහෝ දෙනාගේ මතය වුවද, ඇතැම් සාධක අනුව එය ඊටත් වඩා පැරණි විය හැකි බව විශ්වාස කෙරේ. වර්තමානය වන විට මෙම මන්දිරයට වසර 400කට අධික ඉතිහාසයක් පවතින අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇත.
වාස්තු විද්‍යාත්මක සුවිශේෂත්වය
මඩුවන්වෙල වලව්ව එහි ස්වර්ණමය යුගයේදී කාමර 121කින්, මැද මිදුල් 21කින් සහ ආරක්ෂිත පවුරු තුනකින් සමන්විත වූ සුවිශාල මන්දිරයකි. නමුත් කාලයාගේ ඇවෑමෙන් වර්තමානයේ ඉතිරිව ඇත්තේ කාමර 47ක් සහ මැද මිදුල් 7ක් පමණි. මෙහි අවසාන වශයෙන් ඉදිකිරීම් සිදුකර ඇත්තේ 1905 වර්ෂයේදීය.
ගෝන හිස:
වලව්වේ අධිකරණ ශාලාවට ඇතුළුවන දොරටුව මුදුනේ සහ ලී කැටයම්වල ගෝන හිසක් දක්නට ලැබේ. එය රජුට “සුදු ගෝනෙකු” තෑගි කිරීම නිසා නින්දගම් ලැබුණු බවට ඇති ජනප්‍රවාදය සනාථ කරන සාධකයකි.
ඉන්දියානු ආභාසය:
මඩුවන්වෙල දිසාවේ භාරතයේ සංචාරය කර මහත්මා ගාන්ධිතුමන් ජීවත් වූ නිෙවසේ ආකෘතියට අනුව වලව්වේ උඩුමහල නිර්මාණය කර ඇත.
පොළොව අලංකරණය:
විවිධ වර්ණවත් පිඟන් ගඩොල් (Tiles) යොදාගෙන පොළොව අලංකාර කර ඇති අතර, එහි බ්‍රිතාන්‍ය වික්ටෝරියා මහරැජිනගේ රූපය පයට පෑගෙන ලෙස සවිකර තිබීම දිසාවගේ අධිරාජ්‍ය විරෝධී ආකල්පය පෙන්නුම් කරන්නකි.
මඩුවන්වෙල මහ දිසාව: ලංකාවේ කළු කුමාරයා
මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක වූයේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල නොහොත් මඩුවන්වෙල මහ දිසාවයි (1844-1939). සිංහල උරුමය රැක ගැනීමට දිවි හිමියෙන් කැපවූ ඔහු, සුදු ජාතිකයින් ඉදිරියේ කිසිවිටෙකත් හිස නැමුවේ නැත. මේ හේතුව නිසාම බ්‍රිතාන්‍යයන් ඔහුව හැඳින්වූයේ “ලංකාවේ කළු කුමාරයා” (Black Prince of Ceylon) යන නමිනි.
ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලතල දැරුවද, ඔහු තම අනන්‍යතාවය සහ දේශීයත්වය අභිමානයෙන් යුතුව රැකගත් නායකයෙකි. ඔහු සතුව අක්කර අසූ දෙදහසක (82,000) දැවැන්ත නින්දගම් ප්‍රමාණයක් පැවති බව ඉතිහාසයේ සඳහන් වේ.
විවිධ කාර්යයන් සඳහා වෙන්වූ කාමර
වලව්ව තුළ සෑම කටයුත්තක් සඳහාම වෙනම කාමර වෙන් කර තිබීම විශේෂත්වයකි.
පිරිත් මණ්ඩපය හා බුදුගෙය.
අමුත්තන්ගේ ශාලාව හා අධිකරණ ශාලාව.
තෙල් බෙහෙත් කාමරය, උණුසුම් ගෙය හා නාන කාමරය.
රට බීම කාමරය, අතුරුපස කාමරය හා පිඟන් කෝප්ප කාමරය.
රහසිගත කාමර හා ඉරිඟු අටුව
මඩුවන්වෙල වලව්ව යනු හුදු ගොඩනැඟිල්ලක් පමණක් නොව, එය සිංහල ප්‍රභූ පරපුරක අභිමානය, ශිල්පීය දක්ෂතාවය සහ අධිරාජ්‍ය විරෝධී චින්තනය ප්‍රකාශ කරන ජීවමාන කෞතුකාගාරයකි. ලීයෙන් සහ ගලින් නිමවූ සියුම් කැටයම්වලින් ඔපවත් වූ මෙම මහා මන්දිරය, අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතු අපේ රටේ මහඟු දායාදයකි.
TEXT – හිරුණි කාවින්දියා කැලණිය විශ්වවිද්‍යාලය
PIX BY – නිරංජන් කනේෂන්
