මල් කැකුළක් පිපෙන්නට හිරු එළියත් ජලයත් අවශ්‍ය වන්නා සේම, දරුවෙකුගේ නීරෝගි වර්ධනයට නිසි පෝෂණය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් වර්තමානයේ බොහෝ නිවෙස්වල කෑම වේල යනු ආදරණීය මොහොතක් නොව, මව සහ දරුවා අතර ඇති වන දැවැන්ත ‘යුද පිටියක්’ බවට පත්ව තිබේ. බත් පිඟාන අතැතිව දරුවා පසුපස දුවන, රූපවාහිනියට හෝ ජංගම දුරකතනයට දරුවා වහල් කර බලෙන් කෑම කවන සංස්කෘතියක් අද නිර්මාණය වී තිබීම කනගාටුවට කරුණකි. අපට අමතක වී ගිය ඒ පැරණි, සොඳුරු ආහාර සංස්කෘතිය නැවත මතක් කර ගැනීමට කාලය එළඹ ඇත. ඒ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය වාසනා බණ්ඩාර මහත්මිය ලබා දුන් වටිනා උපදෙස් ඇසුරින් මෙම ලිපිය සකසා තිබේ.
කෑමට ඉගැන්වීම
වර්තමාන මවුවරුන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ තම දරුවාට ආහාර ලබා දීමේ අපහසුවයි. ඊට ප්‍රධානතම හේතුව ඔවුන් දරුවාට කෑම කැවීමට උත්සාහ කිරීම මිස කෑමට ඉගැන්වීම නොකිරීමයි. අතීතයේ මවුවරුන්ට මෙය ගැටලුවක් නොවීය. ඒ ඔවුන් ‘බලෙන් කැවීම’ වෙනුවට, ආහාර කෙරෙහි ආසාව ඇති වන ආකාරයට කෑම ගැනීමට දරුවාට ඉගැන්වූ බැවිනි.
දරුවෙකුගේ පළමු ගුරුවරයා මවයි. දරුවන් උපතේ සිටම සියලු දැනුම රැගෙන නොපැමිණියද, දරුවාගේ දැනුම වර්ධනය කිරීමේ කාර්යය සිදු කරනුයේ මව විසිනි. ඉපදීමෙන් පසු දරුවෙකු තම වටපිටාවෙන් දේවල් රැස් කරගෙන හැඩගැසීමකට ලක් වේ. එලෙස ක්‍රමයෙන් දරුවා පුරුදුවලින් සංක්ෂිප්ත වේ. ඕනෑම දරුවකු වටපිටාවෙන් අසන දකින දෑ සමඟ පුරුදු ගොඩනඟා ගනී. ඒ අනුව පෙනී යන්නේ සෑම දරුවෙකුම තම මවුපියන් විසින් ලබා දුන් පුරුදු රටාවකට හැඩගැසී සිටින බවයි. සෑම ජීවියෙක්ම යම් පුරුදු රටාවකට හැඩගැසුණු විට ඔවුන් ඒ අනුව හැසිරීම සාමාන්‍ය ස්වභාවයයි. එබැවින් මවුපියන්ගේ වගකීම නම් තම දරුවන්ට ආහාර පිළිබඳ නිසි ආකල්ප කුඩා කළ සිටම ඉගැන්වීමයි.
ස්වාධීනත්වයේ සංඥා හඳුනාගන්න
අතීතයේ මවුපියන් තම දරුවන්ට බත් කැවීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළහ. සාමාන්‍යයෙන් මාස නවයක් වන විට දරුවෝ බිම වැටී තිබෙන දෑ අහුලා සෑම දෙයක්ම කටේ දමා ගැනීමට උත්සාහ කරති. මෙය දරුවා ස්වාධීනව කෑම ගැනීමට සූදානම් බව මවට දැනුම් දෙන ප්‍රධාන සංඥාවකි. එනිසා මාස නවයක් වන විට තම නිෙවසේ සාලයේ පැදුරක් එළා, පිඟානක් තබා, අම්මා ද දරුවා සමඟ එකට හිඳ කෑම පිළිබඳව උගන්වමින් කෑම දීම ආරම්භ කළ යුතුය. සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය දරුවාට ඉතාම සමීපව සිදු කරන අතර මාස නවයක දරුවාට මෙහිදී මව පවසන දේ පිළිබඳව පූර්ණ අවබෝධයක් නොලැබුණද, කවන කෑමවල රස සහ එහි සතුට දැනේ. දිනකට වේල් පහක් එකම ආකාරයට එකම ස්ථානයේ සිට ආහාර ලබා දෙන විට දරුවාගේ මොළයේ කෑම පිළිබඳව ඇති වන්නේ ප්‍රියජනක සිතිවිල්ලකි. එමෙන්ම කුඩා වියේදී දරුවෝ අනුකරණයෙන් යම් දේවල් අනුගමනය කරන බැවින්, මව අතින් කන ආකාරය දකින දරුවා ද අතින් ගෙන ආහාර ගැනීමට පෙලඹේ. සාමාන්‍යයෙන් සියලු දරුවන් අවුරුදු දෙක වන විට ස්වාධීනව ආහාර ගැනීමට පුරුදු කළ යුතුය.
කාලය පිළිබඳ සැලකිලිමත් වන්න
වර්තමාන මවුවරුන් කරන තවත් ලොකු වැරැද්දක් වන්නේ කෑම කන වේලාව අධික ලෙස දිගු කිරීමයි. බොහෝ මවුවරුන් කෑම පිඟානක් සමඟ දරුවා විනාඩි 45ක් හෝ පැයක් පමණ රඳවා තබා ගනිති. මෙලෙස දිගු වේලාවක් කෑම කැවීමට උත්සාහ කිරීමෙන් දරුවාගේ කෑම රුචිය සම්පූර්ණයෙන්ම අඩුවේ. වෛද්‍ය උපදෙස් අනුව කෑම කන වේලාව විනාඩි 15කට හෝ 20කට සීමා කිරීම අත්‍යවශ්‍ය වේ.
බලෙන් කැවීමේ භයානක අතුරුඵල
වර්තමානයේ මවුවරුන් දරුවා පසුපස යමින්, ඇවිදින ගමන් හෝ දුරකතනය පෙන්වමින් බලෙන් කෑම කැවීම නිසා දරුවා ආහාරයේ රස හෝ පෝෂණය පිළිබඳව කිසිදු වැටහීමක් නොලබයි. මේ හේතුවෙන් දරුවෙකු පාසල් යන තෙක්ම දරුවාට බත් කැවීමට මවුවරුන්ට සිදුවේ. මෙහි භයානකම ප්‍රතිඵලය වන්නේ දරුවා තුළ කෑම පිළිබඳව අප්‍රියසහගත දෘෂ්ටියක් ඇති වීමයි.
දරුවා බත් කෑමට අකමැති වන විට මවුවරුන් අධික ලෙස කෝපයට හා ආවේගශීලීත්වයට පත්වේ. මවගේ මෙම ආවේගශීලී බව දරුවාගේ මනසට සෘජුවම බලපාන අතර, අනාගතයේදී ඔවුන් ද එවැනිම ගතිගුණ සහිත දරුවන් බවට පත්වේ. එලෙස බත් අප්‍රිය කරන දරුවා ඉක්මනින්ම කඩචෝරු සහ රසකාරක අඩංගු ආහාරවලට පෙලඹේ. නූඩ්ල්ස්, බිස්කට් ආදි ක්ෂණික ආහාර නිසා දරුවා අඩුවයසින් බෝ නොවන රෝග රැසකට ගොදුරු විය හැකිය. වර්ණක සහ කෘතිම රසකාරක පිළිකාකාරක බැවින් දරුවන්ට අනාගතයේදී පිළිකා ඇති වීමේ අවදානම ද වැඩි වේ.
මවුපියන්ගේ තීරණය
අවසාන වශයෙන් අප වටහා ගත යුතු සත්‍යය නම් දරුවෙකුගේ බඩ පිරවීම පමණක් මවකගේ වගකීම නොවන බවයි. එම ආහාරය දරුවාගේ ගත මෙන්ම සිත ද පෝෂණය කරන ඔසුවක් විය යුතුය. බලහත්කාරයෙන් කවන බත් පිඟානකින් දරුවා ලෙඩෙක් කරනවාද, නැතිනම් සතුටින් ස්වාධීනව කෑමට හුරු කර නීරෝගි පරපුරක් බිහි කරනවාද යන තීරණය ඇත්තේ ඔබේ දෑතෙහිය. කුඩා කාලයේ සිටම ස්වාධීන දරුවෙක් බිහි කිරීම තුළින් ඔවුන් සියලු කටයුතු තමාගේ කැමැත්තෙන් ස්වාධීනව කිරීමට හුරුවේ. දරුවාට ආහාරය ද්වේෂයක් නොව, ආශාවක් කරන්න. මන්ද, අද ඔබ දරුවාට උගන්වන ආහාර රටාව හෙට දවසේ ඔවුන්ගේ මුළු ජීවිතයම තීරණය කරන බැවිනි.
TEXT – සචිනි දිසානායක
