Tuesday, March 3, 2026
Epaper
Home සදහම් සෙවණඅතීතය අඳුරු වුවත් වර්තමානය ආලෝකමත් කරගන්නා රහස

අතීතය අඳුරු වුවත් වර්තමානය ආලෝකමත් කරගන්නා රහස

by Shanaka Lakehouse

පින කියන්නේ හෙටට කල් තබන්න පුළුවන් දෙයක් ද?

අපේ ජීවිතවල අතීතය අඳුරු වුවත් වර්තමානය ආලෝකවත් කරගන්නා රහස ගැන බොහෝ දෙනෙක් නිතරම පවසන කතාවක් තිබේ. ඒ, “හෙට ඉඳන් මම අලුත් මනුස්සයෙක් වෙනවා” නැතිනම් “ඊළඟ පෝයට මම පන්සල් ගිහින් හොඳට පින් කරගන්නවා” යන්නයි. බොහෝ දෙනා සිතන්නේ පින යනු අනාගතයේ දිනක, නිදහස් වේලාවක සැලසුම් කර කළ යුතු ව්‍යාපෘතියක් ලෙසයි. නමුත් බුදු දහමේ ගැඹුරු හරය අනුව පින හෝ පව යනු අනාගතයේ සිදුවන්නක් නොව, මේ වර්තමාන මොහොතේ ඔබේ සිත ක්‍රියා කරන ආකාරයයි. පින සිදුවන්නේ යම් කිසිවක් කර අවසන් වූ පසුව නොව, එය සිදු කරන මේ මොහොතේමය.

අතීතයේ සෙවණැලි සහ වර්තමාන සිත

විශේෂයෙන් පවුලක බර දරන කාන්තාවන් ලෙස ඔබ, දවස පුරා විවිධ කාර්යයන්හි නිරත වන විට සිතේ නොසන්සුන් බවක් හෝ පසුතැවීමක් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයකි. සමහර විට ඔබ අතින් අතීතයේ යම් වැරදි සිදුවී තිබෙන්නට පුළුවන. එවිට “මම පව්කාරයෙක්, මගෙන් පව් වැඩ ගොඩක් වෙලා තියෙනවා. දැන් විතරක් පින් කරලා වැඩක් නැහැ” කියා සිතමින් ඔබ ඔබවම පීඩාවට පත් කරගන්නවා විය හැකියි.

නමුත් අප වටහා ගත යුතු සත්‍යය නම්, අතීතය යනු මියගිය දෙයක් බවයි. අතීතයේ කළ වැරදි ගැන පසුතැවීම (කුක්කුච්චය) යනු තවත් අකුසලයකි. බුදු දහමට අනුව වඩා වැදගත් වන්නේ අතීතය නොව, මේ මොහොතේ ඔබ සතු වර්තමාන සිතයි.

අඳුර පලවා හරින ආලෝකයේ උපමාව

අතීතයේ වැරදි කළ අයකුට වුවද තම ජීවිතය ආලෝකවත් කරගත හැකි ආකාරය පිළිබඳව අපූරු දහම් කතාවක් තිබේ. පෙර කල සතුන් මරා ජීවත් වුණු වැද්දකුට දිනක් පන්සල් යැමට සිතුණි. ඔහු පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ හමුවේ මෙසේ පැවසීය:

“හාමුදුරුවනේ, මම මහා පව්කාරයෙක්. මුළු ජීවිතේම කළේ පව්. මම දැන් හොඳ වෙන්න උත්සාහ කළොත් මට පිනක් වෙයි ද? මගේ ජීවිතය ආලෝකවත් වෙයි ද?”

ස්වාමීන් වහන්සේ ඔහුව අඳුරේ තිබූ විහාර මන්දිරයට එක්කරගෙන ගොස් පහනක් දැල්වූහ.

“මේ පහන දල්වන්න කලින් මෙතැන කොපමණ කාලයක් අඳුර තිබුණා ද?” උන්වහන්සේ ඇසූහ.

“හාමුදුරුවනේ, අවුරුදු ගාණක් තිස්සේ මේක අඳුරේ තිබුණේ,” ඔහු පිළිතුරු දුන්නේය.

“දැන් ඒ අඳුරට මොකද වුණේ?”

“දැන් අඳුර නැහැ, එක මොහොතින් ආලෝකය පැමිණියා.”

එවිට ස්වාමීන් වහන්සේ සිනාසී මෙසේ පැවසූහ. “අඳුර කොතරම් කාලයක් තිබුණත්, පහන දැල්වූ මොහොතේම එය නැති වී ආලෝකය පැමිණෙනවා. සිතත් එහෙමයි. අතීතයේ කොතරම් වැරදි වුණත්, ඔබ ඒ ගැන පසුතැවෙමින් අකුසල් වර්ධනය කරගත යුතු නැහැ. මේ මොහොතේ ඔබේ සිත යහපත් නම්, පින උපදින්නේත් මේ මොහොතේමයි.”

මෙම සරල නිදසුන අපේ එදිනෙදා ජීවිතයට ගළපා ගන්නේ කෙසේද?

පින යනු දානයක් දීමම පමණක් නොවේ

බොහෝ දෙනෙක් සිතන්නේ මහා දන් පින්කම් කිරීමම පින කියාය. නමුත් ඔබ නි‍ෙවසේ උයන පිහින අතරතුර, රෙදි සෝදන අතරතුර පවා සිත පිරිසුදුව, මෛත්‍රියෙන් තබාගත හැකි නම් එය මහා පිනකි. “මම මේ උයන ආහාරය මගේ දරුවන්ට, ස්වාමියාට ශක්තියක් වේවා, ඔවුන් නීරෝගී වේවා” යන සිතුවිල්ලෙන් ආහාර පිසීම පිනකි.

සිතුවිලි කළමනාකරණය

අපේ සිතේ ඇති වන ලෝභය, ද්වේශය වෙනුවට නිවැරදි පින් සිතුවිලි ඇති කරගන්නා සෑම තත්පරයකම පින වැඩේ. තවකෙකු තමන්ට නින්දා කරන විට, පෙරළා දොස් නොකියා “ඔහුත් අසරණ වෙලා, ඔහු සතුටින් සිටීවා” යැයි සිතීමට තරම් ඔබේ සිත ශක්තිමත් නම්, එයයි උසස්ම පින.

සැබෑ වෙනස සිදුවන තැන

බොරුවක් පැවසීමට හෝ අන් අයට ඊර්ෂ්‍යා කිරීමට අවස්ථාව තිබියදීත්, “මම මොකටද මේ නරක සිතුවිලිවලින් මගේ සිත කිලිටි කරගන්නේ?” කියා සිතා එයින් ඉවත් වීම විශාල පිනකි. පින යනු හුදෙක් රැස් කිරීමක් නොව, සිතේ ඇති කෙලෙස් අත්හැරීමකි.

පින කල් නොතැබිය යුත්තේ ඇයි?

“හෙට පිනක් කරමි” යැයි සිතන විට, ඒ හෙට දිනය අපට උදා වේදැයි කිසිවකු දන්නේ නැත. බුදු දහම පවසන්නේ “අජ්ජේව කිච්චං ආතප්පං” – එනම්, කටයුතු කළ යුත්තේ අදමය යන්නයි. හෙටට කල් තබන පින කිසිදා සිදු නොවිය හැකිය. එමෙන්ම සිත නිරන්තරයෙන් වෙනස් වන බැවින්, යහපත් සිතුවිල්ලක් ආ මොහොතේම එය ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

අතීතය කොතරම් අඳුරු වුවත්, ඔබ මේ මොහොතේ සිත යහපත් කරගත්තොත්, ඔබේ ජීවිතය තුළ පින නම් වූ ආලෝකය ඒ මොහොතේම ජනිත වේ. පින හෝ පව තීරණය වන්නේ ඔබේ වර්තමාන සිත අනුව බැවින්, අතීතය ගැන පසුතැවෙමින් වර්තමානය විනාශ කර නොගන්න.

අද සිටම, මේ මොහොතේ සිටම ඔබේ සිත රැකගන්න උත්සාහ කරන්න. සැබෑ සතුට සහ නිවන පවතින්නේ මේ දැන් ඔබ ඇති කරගන්නා කුඩා හෝ යහපත් සිතුවිල්ල තුළයි. පින යනු හෙටට කල් තැබිය හැකි දෙයක් නොව, ජීවිතයේ සෑම හුස්මකදීම විඳිය යුතු සැනසීමකි.

තෙරුවන් සරණයි!

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?