Monday, February 16, 2026
Epaper
Home Highlightsඅවම පිරිවැයකින් මේස අලංකරණයක්

අවම පිරිවැයකින් මේස අලංකරණයක්

by Shanaka Lakehouse

අද වන විට බොහෝදෙනා තම නිවෙස්, කාර්යාල හෝ විශේෂ උත්සව අවස්ථා අලංකාර කර ගැනීමට දේශීය හා ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිමවූ නිර්මාණ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සවවල මේස අලංකරණය (Table Decoration) සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. නමුත් ඉතා සුළු පිරිවැයකින් සහ ඔබේ නිර්මාණශීලිත්වය භාවිත කරමින් ඉතා ආකර්ෂණීය මේස අලංකරණයක් නි‍ෙවසේදීම සාදාගන්නා ආකාරය මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. මෙය ඔබට අමතර ආදායමක් උපයා ගත හැකි සාර්ථක ස්වයං රැකියාවක් ලෙසද වර්ධනය කරගත හැකිය.

සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

මෙම නිර්මාණය සඳහා අවශ්‍ය වන්නේ අප අවටින් පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය කිහිපයක් පමණි.

ඉවත දමන ප්ලාස්ටික් හෝ වීදුරු බඳුනක් (හිස් ජෑම් බෝතලයක් වුවද සුදුසුය).

ගෝණි නූල් (ස්වාභාවික පෙනුමක් ලබා ගැනීමට).

ෆෝම් ෂීට් (Foam Sheets) – ඔබ කැමැති වර්ණ කිහිපයකින්.

සාමාන්‍ය හෝ සුවඳැති ඉටිපන්දමක්.

අයිස්ක්‍රීම් කෝටු කිහිපයක්.

ග්ලූ ගන් (Glue Gun) සහ ග්ලූ ස්ටික්ස්.

කතුරක් සහ කුඩා කම්බියක්.

🔴 නිර්මාණය සාදන ආකාරය

මෙම නිර්මාණය ඉතා ක්‍රමවත්ව නිම කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:


පියවර 01:

මල් සහ කොළ නිර්මාණය කිරීම පළමුව ෆෝම් ෂීට් එකක් ගෙන කුඩා මල් පෙති හැඩයට කපා ගන්න. ඉන්පසු ඒවා එකිනෙක අලවා අලංකාර මල් කිහිපයක් සාදා ගන්න. කොළ පැහැති ෂීට් එකක් භාවිතයෙන් කුඩා කොළ කිහිපයක්ද කපා සූදානම් කර ගන්න.

පියවර 02:

බඳන සකස් කිරීම ඔබ තෝරාගත් වීදුරු හෝ ප්ලාස්ටික් බඳන පිරිසුදු කර වියළා ගන්න. ඉන්පසු ග්ලූ ගන් එක ආධාරයෙන් බඳනේ යට කෙළවර සිට ඉහළට ගෝණි නූල ඔතාගෙන යන්න. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ නම්, ඉටිපන්දම දැල්වූ විට එහි ආලෝකය පිටතට විහිදෙන පරිදි නූල් අතරින් කුඩා හිඩැස් තැබීමයි.

පියවර 03:

අයිස්ක්‍රීම් කෝටු භාවිතයෙන් අලංකාර කිරීම නිර්මාණයට වැඩි පෙනුමක් ලබා දීම සඳහා අයිස්ක්‍රීම් කෝටු කිහිපයක් ගෙන බඳන වටා සිරස් අතට හෝ ඔබ කැමැති රටාවකට වටේට අලවා ගන්න. මෙය නිර්මාණයට ශක්තිමත් බවක් සහ වෙනස්ම පෙනුමක් ලබා දෙයි.

පියවර 04:

අඬුවක් හෝ අල්ලුවක් සැකසීම කුඩා කම්බියක් ගෙන එය වටාද ගෝණි නූල් ඔතා ගන්න. ඉන්පසු එය බඳනේ කට දෙපසින් රඳවා අලංකාර අඬුවක් ලෙස සකස් කරන්න.

පියවර 05:

අවසාන ඔප දැමීම ඔබ කලින් සාදා ගත් මල් සහ කොළ ග්ලූ ගන් ආධාරයෙන් නිර්මාණශීලී ලෙස බඳන මත අලවා ගන්න. අවසානයේදී බඳන මධ්‍යයේ ඉටිපන්දම තබා එය හොඳින් තැබීමට හැකි වන සේ අලවා ගන්න. දැන් එය දැල්වූ විට ඉතා ලස්සන ආලෝකයක් සමඟ අපූරු පෙනුමක් ලබා දෙයි.

ස්වයං රැකියාවක් ලෙස ඇති අවස්ථාව

මෙවැනි නිර්මාණ හුදෙක් විනෝදාංශයකට පමණක් සීමා නොවී වාණිජමය වශයෙන් සාර්ථක කර ගත හැකිය.

අඩු පිරිවැය:

මෙහිදී භාවිත වන බොහෝ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිය කරණය කරන ලද ඒවා බැවින් නිෂ්පාදන වියදම ඉතා අඩු වේ.

වෙ‍ෙළඳපොළ අවස්ථා: විවාහ උත්සව, උපන් දින සාද සහ හෝටල්වල මේස අලංකරණය සඳහා මෙවැනි දේශීය නිපැයුම්වලට ඉහළ ඉල්ලුමක් පවතී.

පාරිභෝගික රුචිකත්වය: පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි විවිධ ප්‍රමාණවලින් සහ වර්ණවලින් මේවා නිෂ්පාදනය කළ හැකිය. උදාහරණයක් ලෙස, බිම තැබීමට හැකි පරිදි විශාල බඳුන් යොදාගෙන උස නිර්මාණද කළෙ හැකිය.

සමාජ මාධ්‍ය ජාල (Facebook, Instagram) හරහා ඔබගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමෙන් ඔබට පහසුවෙන්ම පාරිභෝගිකයන් සොයාගත හැකිය. ඉතා කුඩා ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි මෙම ව්‍යාපාරය, ඔබගේ කැපවීම සහ නිර්මාණශීලීත්වය මත ඉහළ ලාභයක් ලබන සාර්ථක ව්‍යවසායයක් බවට පත් කර ගත හැකිය.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?