Monday, February 16, 2026
Epaper
Home Fashionමැදිවියේ රූ සිරිය ඔපවන සාරි ජැකට්

මැදිවියේ රූ සිරිය ඔපවන සාරි ජැකට්

by Shanaka Lakehouse

ඕනෑම සිරුරකට ආකර්ෂණීය පෙනුමක් ලබා දිය හැක්කේ නිවැරදි ඇඳුම් තේරීමෙනි. විශේෂයෙන්ම මැදිවියේ කාන්තාවකට සාරි විලාසිතාවක් තෝරා ගැනීමේදී වර්ණ භාවිතය, උරහිස් නිමාව සහ ආභරණ භාවිතය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. තරබාරු බව සඟවා වඩාත් සිහින් සහ ප්‍රියමනාප පෙනුමක් ලබා ගැනීමට අනුගමනය කළ යුතු මැහුම් රහස් මොනවාද? ප්‍රවීණ මැහුම් ශිල්පිනියක වන නිශාන්ති රත්නායක මහත්මිය අප සමඟ ගෙන එන මෙම වටිනා කරුණු විමසා බලමු.

මැදිවිය සහ රූපලාවණ්‍යය

බොහෝ කාන්තාවන් සිතන්නේ මැදිවියට එළඹෙන විට සිරුරේ හැඩය නැති වී යන බවත්, තරුණ වියේදී මෙන් විලාසිතා කිරීමට තමන්ට නොහැකි බවත් ය. නමුත් මෙය වැරදි මතයකි.

නිවැරදි මැහුම් ශිල්පීය ක්‍රම සහ රෙදි වර්ග භාවිතයෙන් ඕනෑම සිරුරකට ආකර්ෂණීය පෙනුමක් ලබා දිය හැකියි. ඇඳුමකින් කළ යුත්තේ සිරුරේ අඩුපාඩු මකා දමා, පවතින සුන්දරත්වය ඉස්මතු කර පෙන්වීමයි. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකට සහභාඟි වීමේදී සාරි ජැකට්ටුව යනු මුළු ඇඳුමේම පෙනුම තීරණය කරන ප්‍රධාන සාධකයයි.

මැදිවියේ කාන්තාවකට සාරි ජැකට්ටුව තද පැහැති (Dark colors) වුවහොත් එය ඕනෑම කෙනෙකු කෙට්ටු කර පෙන්වීමට සමත් වේ. කළු, තද නිල්, තද කොළ වැනි වර්ණ ආලෝකය උරා ගන්නා බැවින් සිරුරේ මහත ගතිය යටපත් කරයි. ඒ වගේම ළා පැහැති (Light colours) සාරි ජැකට්ටුවක් මඟින් ඕනෑම කාන්තාවක් සැබෑ ප්‍රමාණයට වඩා මහත් කර පෙන්වයි.

සාරි ජැකට්ටුව අඳින විට සාරිය හා ජැකට්ටුව අතර මනා සමබරතාවක් තිබිය යුතුය. එනම් ඒ දෙක වර්ණ අතින් එකිනෙකට ගැළපිය යුතුයි. අප තද පැහැති සාරියක් ඇඳ ඒ සමඟ ළා පැහැති ජැකට්ටුවක් තෝරාගතහොත් සිරුරේ උඩුකය ප්‍රමාණය වැඩියෙන් කැපී පෙනෙන්නට ගනී. නමුත් තද පැහැති සාරි ජැකට්ටුවක් සහ ළා පැහැති සාරියක් යනු ඉතා සාර්ථක සුසංයෝගයකි. එයින් මුළු පෙනුමටම ප්‍රභාමත් බවක් මෙන්ම මනා හැඩයක් ද එක් කරයි.

උරහිස සහ කරේ නිමාව

කාන්තාවකට ඇඳුමක් නිර්මාණය කරන විට උරහිස් (Shoulders) පටු කරමින් පෙන්වීම තුළින් වඩාත් සුකුමාල පෙනුමක් ලැබේ. මැදිවියේ කෙනෙකුට ‘ඕෆ් ෂෝල්ඩර්’ (Off-shoulder) විලාසිතාවක් නිර්මාණය කිරීම එතරම් සුදුසු නැත. එවැනි විලාසිතා මඟින් උරහිසේ පළල තවත් වැඩි කර පෙන්වන අතර සිරුරේ අසමබර බවක් ඇති කරයි. යම් හෙයකින් එවැනි විලාසිතාවක් අවශ්‍යම නම්, උරහිසින් පොඩි පටියක් දැමීමෙන් එහි ඇති පළල ගතිය අඩු කර පෙන්විය හැකිය.

මැදිවියේ කාන්තාවකට සාරි

ජැකට්ටුවක් නිර්මාණය කරන විට එය අනවශ්‍ය ලෙස විවෘත නොවිය යුතුය. බොහෝ වෙලාවට මැදි වියේ අයට ගැළපෙන්නේ ‘හයිනෙක්’ (High-neck) සාරි ජැකට් විලාසිතාවයි. බෙල්ල ප්‍රදේශය පිරිපුන් කාන්තාවන්ට කොලර් දැමීමෙන් බෙල්ල තවත් කෙටි වී පෙනෙන බැවින්, කොලර් නොමැතිව කර සරල ලෙස නිර්මාණය කරගැනීම වඩාත් උචිතය.

අත් සහ දිග ප්‍රමාණය

මැදිවියේ තරබාරු කාන්තාවන් සාමාන්‍යයෙන් මිටි පෙනුමක් ගන්නා බැවින් සාරි ජැකට්ටුවේ අත් මුදුනින් තරමක් උස්සා මැසීමෙන් (Puff effect) උස පෙනුමක් ලබා ගත හැකිය. එහිදී උඩිනුත් යටිනුත් ඕනෑවට වඩා රැළි නොදමා සරලව බෝරිච්චි අතක් දැමිය හැකිය. මහත කෙනෙකුට සාරි ජැකට්ටුවක් ඕනෑවට වඩා උසට (Long jacket) මහන්නේ නැත. උසට මැසීම තුළින් කෙනෙකුගේ මහත ගතිය වැඩි වී පෙනේ.

සාරි ජැකට්ටුවක් තෝරා ගැනීමේදී එය සිරුරට අධික ලෙස තද (Tight) නොවිය යුතුය. සාරිය අඳින විට ජැකට්ටුව සහ සාරිය අතර අඟල් තුනක පමණ පරතරයක් තිබීම ශාස්ත්‍රීය ක්‍රමයයි. සමහර පිරිස් තම උදරයේ මහත සඟවා ගැනීමට සිතා ජැකට්ටුව සාරිය ළඟටම දිගු කරනවා. එවිට සාරි ජැකට්ටුව මෙන්ම සාරිය හෝ ඔසරිය යන දෙකෙහිම අනන්‍යතාව ගිලිහී ගොස් පෙනුම අවලස්සන වේ. සරල බව රැකෙන පරිදි ජැකට්ටුව නිර්මාණය කිරීමෙන් වඩාත් ප්‍රියමනාප පෙනුමක් ලබා ගත හැකිය.

ආභරණ සහ අවසාන නිමාව

සාරි ජැකට්ටුවේ වර්ණය අනුව ආභරණ (Jewelry) තෝරා ගැනීම මඟින් පෙනුම තවත් ඔපවත් වේ.

රන්වන් (Gold), දුඹුරු (Brown) හෝ තැඹිලි (Orange) වර්ණ සාරි සඳහා රන්වන් පැහැති ආභරණ පලඳින්න.

අළු (Ash), නිල් (Blue) හෝ රෝස (Pink) වර්ණ සාරි සඳහා රිදී පැහැති (Silver) හෝ සුදු රන් පැහැති ආභරණ වඩාත් උචිතය.

මහත කාන්තාවන්ට සම්පූර්ණ සුදු (Full white) සාරි එතරම් සුදුසු නැත. එයින් සිරුරේ පරිමාව තවත් වැඩි කර පෙන්වයි. ආභරණ පැලඳීමේදී ලොකු කරාබු (Earrings) පාවිච්චි කරන්නේ නම් ඒ සමඟ විශාල මාලයක් (Necklace) පැලඳීමෙන් වළකින්න. එයින් ගෙල ප්‍රදේශය අවහිර වී පෙනේ. ඒ වෙනුවට අතට අලංකාර වළල්ලක් (Bangle) පාවිච්චි කළ හැකිය. මෙම සරල උපදෙස් අනුගමනය කිරීමෙන් ඕනෑම කාන්තාවකට ඕනෑම උත්සව අවස්ථාවකදී කැපී පෙනෙන සුන්දරත්වයක් හිමි කරගත හැකිය.

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?