Monday, February 16, 2026
Epaper
Home Highlightsසවස තේ මේසයට රසවත් වෙනසක්

සවස තේ මේසයට රසවත් වෙනසක්

by Shanaka Lakehouse

නි‍ෙවසටම වී කාලය ගත කරන මේ දිනවල, සවස තේ වෙලාව පවුලේ සැමට වඩාත් සතුටින් ගත කළ හැකි අවස්ථාවක් බවට පත් කර ගන්න ඔබට පුළුවන්. නිතරම කන බොන දේට වඩා වෙනස්, ඉතා පහසුවෙන් සහ ඉක්මනින් නි‍ෙවසේදීම සාදා ගත හැකි කෙටි කෑම වර්ග 4ක් අපි අද ඔබට හඳුන්වා දෙනවා.

බ්‍රෙඩ් මිනි පීසා

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8ක්

මොසරැල්ලා චීස් 250g

කොළ සහ රතු බෙල් පෙපර් 2ක්

තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්

සාදන ආකාරය

බෙල් පෙපර් කුඩා කොටු හැඩයට කපා ගන්න. පාන් පෙති යන්තමට ටෝස්ට් කරගෙන, ඒ මත තක්කාලි පේස්ට් ස්වල්පයක් බැගින් ආලේප කරන්න. දැන් ඒ මත කපා ගත් බෙල් පෙපර් කැබැලි අතුරා ගන්න. ඉන්පසු චීස් ග්‍රේට් (Grate) කර පාන් පෙති වැසී යන සේ දමා, මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක (Oven) බේක් කර ගන්න. චීස් හොඳින් දිය වූ පසු උඳුනෙන් පිටතට ගෙන කැමති ආකාරයට කපා පිළිගන්වන්න.

 

මීට් බෝල් සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය:

චිකන් මීට් බෝල්ස් 250g

ලොකු ලූනු ගෙඩි 1/2ක්

තෙල් මේස හැඳි 2ක්

බිත්තර 1ක්

සමෝසා ෂීට් හෝ ස්ප්‍රින්ග් රෝල් ෂීට් (Spring roll sheets)

ලුණු ස්වල්පයක්

සාදන ආකාරය:

ලූනු ඉතා සිහින්ව කපා ගන්න. මීට් බෝල්ස් අතින් හොඳින් කුඩු කර ගන්න. බිත්තරය වෙනම බඳුනකට දමා හොඳින් ගසා ගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා රත් වන විට කපා ගත් ලූනු සහ කුඩු කර ගත් මීට් බෝල්ස් එක් කර තෙම්පරාදු කර ගන්න. දැන් සමෝසා ෂීට් එකක් ගෙන එයට සාදා ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් තබා තුන්හුලස් හැඩයට ඔතා ගන්න. එහි කෙළවර ගැලවී නොයන ලෙස බිත්තර සාරු ගා අලවා ගන්න. අවසානයේ සකස් කර ගත් සමෝසා තැටියක අසුරා මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කර ගන්න. (අවශ්‍ය නම් ගැඹුරු තෙලේ බැද ගැනීමටද හැකිය.)

අල බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි 100g

උඳු පිටි 100g

බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්

තම්බා ගත් අල 500g

ලූනු ගෙඩියක්

අමුමිරිස් කරල් 2ක්

කරපිංචා

මිරිස් කුඩු තේ හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

ගරම් මසාලා තේ හැඳි 1/2ක්

අබ තේ හැඳි 2ක්

සුදුලූනු බික් 3-4ක්

සාදන ආකාරය

පෑන් එකකට තෙල් දමා රත් වන විට සිහින්ව ලියා ගත් ලූනු, සුදුලූනු, අබ සහ කරපිංචා එක් කර තෙම්පරාදු කරන්න. එයට මිරිස් කුඩු, කහ කුඩු, ගරම් මසාලා සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව තම්බා පොඩි කර ගත් අල මේ සමඟ එක් කර කලවම් කර ළිපෙන් බා ගන්න. පිටි මිශ්‍රණය (Batter) සඳහා: හාල් පිටි, උඳු පිටි, මිරිස් කුඩු, කහ කුඩු, බේකින් පවුඩර් සහ ලුණු බඳුනකට දමා වතුර ස්වල්පය බැගින් එක් කරමින් උකු දියරයක් සාදා ගන්න. අල මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, සාදා ගත් පිටි මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැද ගන්න.

චොකලට් ඩෝනට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:

පාන් පිටි 500g

බිත්තර 1ක්

යීස්ට් 15g

කිරිපිටි 50g

සීනි 75g

වතුර 750ml

මාගරින් 50g

ලුණු (අවශ්‍ය පමණට)

වැනිලා ස්වල්පයක්

සාදන ආකාරය
ඩෝනට්ස් සාදන ආකාරය: පිටි සහ මාගරින් බඳුනකට දමා හොඳින් කලවම් කරන්න. එයට සීනි සහ ලුණු එකතු කර නැවත කලවම් කරන්න. ඉන්පසු යීස්ට්, බිත්තර, වැනිලා සහ කිරිපිටි දමා හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ වතුර ස්වල්පය බැගින් එකතු කරමින් පදමට (Dough එකක් ලෙස) අනා ගන්න. ඇනූ පිටි ගුළිය අතේ නොඇලෙන මට්ටමට තිබිය යුතුය. දැන් ලෑල්ලක පිටි ස්වල්පයක් තවරා, සාදා ගත් පිටි ගුළිය රෝලර් පින් එකක් ආධාරයෙන් අඟලක පමණ ඝනකමට තුනී කරන්න. ඩෝනට් කටර් එකකින් හෝ පියනක් ආධාරයෙන් රවුම් කපා, එහි මැදින් නැවත කුඩා රවුමක් කපා ඉවත් කරන්න. මෙලෙස සකසා ගත් ඩෝනට්ස් විනාඩි 10ක් පමණ පිපෙන්නට හැර, රත් වූ ගැඹුරු තෙලේ බැද ගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?