Monday, February 23, 2026
Epaper
Home කලා ලොවඅන්නාසි සමඟ නැවුම් රසයක් රැගෙන එන එරංග ලංකා

අන්නාසි සමඟ නැවුම් රසයක් රැගෙන එන එරංග ලංකා

by Shanaka Lakehouse

වර්තමාන සංගීත ක්ෂේත්‍රය තුළ තාරුණ්‍යයේ හදගැස්ම මනාව හඳුනාගත් අපූර්ව කලාකරුවෙකු ලෙස එරංග ලංකා ගැන මේ වන විට කාගේත් කතාබහට ලක්ව තිබේ. ගායකයෙකු, පද රචකයෙකු මෙන්ම සංගීත කණ්ඩායම් නායකයෙකු ලෙස ඔහු පෙන්වන බහුවිධ දක්ෂතාව නිසාම නව පරපුරේ ආදරණීය තරුවක් ලෙස ඔහු වේගයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් සිටියි.

එරංගගේ සංගීත දිවියේ අඩිතාලම වැටෙන්නේ සොබා සෞන්දර්යයෙන් පිරි නුවරඑළිය පුරවරයෙනි. නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කල සිටම හැදී වැඩුණේ සංගීතමය වටපිටාවක වීම විශේෂත්වයකි. එරංගගේ පියා ලෙස්ලි ජිනදාස දක්ෂ හවායන් ගිටාර් වාදන ශිල්පියෙකු වූ අතර ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක් සමඟ සමීපව කටයුතු කළ ශිල්පියෙකි. රූකාන්ත ගුණතිලක, ආනන්ද පෙරේරා, කෙනත් ඩයස්, ජයන්ත රත්නායක සහ සුනිල් පෙරේරා වැනි අග්‍රගණ්‍ය ගාන්ධර්වයන් සමඟ ලැබූ ඒ සුසංයෝගය, එරංගගේ සංගීත දැක්ම පෝෂණය කිරීමට මහඟු රුකුලක් විය. තවද මවගෙන් ද (ස්වර්ණා ජිනදාස) ඔහුගේ සංගීත දිවියට මහඟු සහයෝගයක් ලැබිණි.

සංගීතය කෙරෙහි තිබූ අසීමිත ඇල්ම නිසාම නුවරඑළියෙන් අගනුවරට පිවිසෙන එරංග, “අන්නාසි” (Annasi) නමින් නවතම සංගීත කණ්ඩායමක් බිහි කළේය. නමෙහි ඇති අපූර්වත්වය සේම ඔවුන්ගේ නිර්මාණ ද නැවුම් බවකින් යුක්ත විය. මේ වන විට ගීත 18ක් පමණ නිර්මාණය කර ඇති ඔහු “මං කොච්චර කිව්වත්”, සරාවියේ, හොඳ කාලේ, හොට් හොට් බයිලා, නත්තල් ආවා, සිංහ පැටව් සහ මෑතක දී පිරිත් නුලෙන් වැනි රසික හදවත් ස්පර්ශ කළ ජනප්‍රිය ගීත හරහා තම අනන්‍යතාව තහවුරු කරගෙන ඇත. එසේම “මං කොච්චර කිව්වත්” නමැති ගීත ඇල්බමය සරල පද මාලාවන් සහ රිද්මයානුකූල සංගීතය මුසු කරමින් ඔහු ඉදිරිපත් කරන මේ නැවුම් ගීත එකතුව තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියය.

තම කණ්ඩායම සමඟ විවිධ මංගල උත්සව, සාද සහ සංගීත සංදර්ශන සඳහා සහභාගි වෙමින් ඉතා කාර්යබහුල කාලයක් ගෙවන එරංග, අප සමඟ පැවති සුහද කතාබහක දී සඳහන් කළේ සංගීත ලෝකයේ දිගු ගමනක් යෑම තම එකම අපේක්ෂාව බවයි. ප්‍රවීණයන්ගේ ආභාසය ලබමින් නවීන තාක්ෂණය හා තාරුණ්‍යයේ රුචිකත්වය මනාව ගළපමින් ඔහු සිදුකරන නිර්මාණ පෙළහර සැබවින්ම අගය කළ යුතුය.

කලාවට ඇති නිහතමානී ළැදියාවත්, කැපවීමත් නිසාම එරංග ලංකාටත් ඔහුගේ “අන්නාසි” කණ්ඩායමටත් ඉදිරියේ දී සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සලකුණක් තැබිය හැකි බව නොඅනුමානය. හෙට දවසේ සංගීත අහසේ දිදුලන තරුවක් වීමට වරම් පතන මේ දක්ෂ කලාකරුවාට අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?