Monday, February 23, 2026
Epaper

පච්චය

by Shanaka Lakehouse

පවුලේ එකම දරුවා වුණු සුමින්දගේ ප්‍රධාන රාජකාරිය වුණේ හතර දිග්භාගෙම තියෙන ළිඳවල් ටික බොර කරන එක. ‘එකා යකා’ කියලා කතාවටත් කියනවනේ. හැබැයි සුමින්දගේ ගෙදර ළිං පොඩිය නම් නිල් කැටේට තිබුණා. ඒ තමයි යසින්තා. උග්ගල්ගොඩ ආරච්චිලාගේ යසින්තා උග්ගල්ගොඩ. සුමින්දගේ ප්‍රියාදර බිරිය.

සුමින්ද ඇඳට ගොඩවෙන හැම රෑකම, අර එදා කසාදෙ දා රෑ වගේ යසින්තා ගැස්සෙනවා. මේස ලාම්පුව සකසලා තියෙන්නේ එළියක් ඇති නැති ගාණට. සුමින්ද එළිය ටිකක් වැඩි කරන්න හදනකොට යසින්තා වළක්වනවා. ඒකට හේතු නිමිත්තට දැන් අවුරුදු පහළොවක් විතර වයසයි.

බාලිකාවක එක වසරෙ ඉඳන් ඉගෙන ගත්තු යසින්තාට විශ්වවිද්‍යාලය අදහා ගන්නත් බැරි තරම් අමුතුම ලෝකයක් වුණා. ඒ ලෝකයේ එළිය වැඩි කරන්න රවිඳු පෑයුවේ අහම්බෙන් වගේ වුණාට ඒක අහම්බයක්ම නෙවෙයි කියලා යසින්තාට නොතේරුණාම නෙවෙයි. යසින්තා හිටියේ සුරංගනා ලෝකෙක.

“ඔයාගේ නම මං පච්චයක් තියාගත්තා.” දවසක් කැන්ටිමේදි යසින්තා කිවුවෙ රවිඳුගේ ප්ලේන්ටියෙ ඉතුරු බාගේ බොන ගමන්. සීනි කහට පදම කොහොම වෙතත් අශෝක වීදුරුවට වත් කරලා දෙන ප්ලේන්ටියේ මොකක්දෝ අමුතු රසක් තිබුණා.

“කොහෙද?” රවිඳු ඇහුවා.

“මෙතැන.” යසින්තා කහ පාට ඉරි වැටුණු බ්ලවුසයට උඩින් වම් පැත්තේ පපුව උඩ ඇඟිල්ල තියලා පෙන්නුවා.

“බලමුද?“

“කවද හරි පෙන්නන්නම්.“

“කවදද?“

“කවද හරි කිවුවනේ.“

“පෙන්නන්න බැරි වුණොත්?” යසින්තාට ඒ වනවිටත් ගෙදරින් විවාහ යෝජනාවක් ඇවිත් ඇති බව දන්නා රවිඳු ඇහුවා.

“මං කිවුවනේ පෙන්නනවමයි. ඒක පොරොන්දුවක්.”

“ඔයා සුමින්ද එක්ක යයි.”

“ඒත් පොරොන්දුව ඉෂ්ට වෙයි. හැබැයි එකම එක වතාවකට.”

“සත්තයි.”

“ඔව් සත්තයි.”

අන්තිමේදි යසින්තා ගැල්ගෙදර වලව්වට පදිංචියට ආවා. “රාජපක්ෂ මුහන්දිරම්ලාගේ සුමින්ද සිරිනාග රජ්ජුරු බණ්ඩාර නිලමේ රාජපක්ෂ වන මම. . .” එදා විවාහය ලියාපදිංචි කරන දවසේ රෙජිස්ට්‍රාර් නෝනා ඉස්සරහ පිට සුමින්ද හරි උජාරුවට කිවුවා. ළමයෙක් උපන්න දාක මේ වංසක්කාර මුල් නම් ටිකයි, වාසගමයි දැම්මම ඒ ළමයා නම ලියාගන්න ගිහින් අමාරුවේ වැටෙන හැටි මතක් වෙලා යසින්තාට එවෙලේ හිනාවකුත් ගියා. කට්ටිය හිතුවෙ කසාදෙ සිද්ධ වුණු සතුටට හිනා වෙනවා කියලා. රාජපක්ෂ වලව්ව වඩාත්ම ප්‍රචලිත වුණේ ගැල්ගෙදර වලව්ව කියන අන්වර්ථ නාමයෙන්. ඉස්සර වලව්වට අයිති ගැල් කරත්ත ගණනාවක් පහළ මිදුල පුරාම නවත්තලා තිබුණලු. ඒ කොහොම වෙතත් ගම්මු අතර කතාබහේදී වැඩිපුරම කියවුණේ ‘සෙවල වලව්ව’ කියලලු. දවසක්දා රන්කිරා, උයන අම්මත් එක්ක කියනවා යසින්තාට ඇහුණා. ඒ තමයි සුමින්දගේ හපන්කම්.

වලව්වෙදි දවස ගත වුණේ එකම කාල සටහනකට. ගේදොර අස්පස් කරලා දෙන්න උදේ වරුවට කාන්තිත් ආපු නිසා යසින්තාට තිබුණේ ළමාතැනී වගේ සුවපහසුවට ඉන්නයි.

නිදන කාමරයේ බිත්තියට පුංචි රාක්කයක් හයි කරගන්න ඕනි කියලා සුමින්දට කියලා ගොඩක් කල් වෙනවා. වැඩේ වෙන පාටක් නෑ. ඒක ගැන කුටු කුටු ගගා කුස්සියේ ඉඳිද්දි උයන අම්මා තමයි කිවුවේ කුස්සියෙන් ගලවපු පරණ රාක්ක වගයක් ගබඩා කාමරේ දාලා තිබුණා කියලා. යසින්තා ගබඩා කාමරයට ගියේ ඒකෙන් රාක්ක කෑල්ලක් අරගෙන රන්කිරාටවත් කියලා හයි කර ගන්නවා කියලා හිතාගෙන.

කාමරේ පුරාම ගොඩගහලා තිබ්බ පරණ බඩු අස්සෙ තිබුණු පෙට්ටියකට යසින්තා හිස පොව්වා.

“සුමින්දගේ ඉස්කෝලෙ කාලේ පොත් මෙච්චර කල් මොකට ගොඩ ගහන් ඉන්නවද?”

තමන්ටම කියව කියවා යසින්තා දූවිලි අස්සෙන් පොත් දෙක තුනක් පෙරළුවා. තරමක් යටින් අහුවුණු පොත ඝනකම කවරයක් එක්ක තිබුණු නිසා ඇදලා ගත්තා.

ඩයරියක් – 1999. ඒ කියන්නේ අවුරුදු අටකට කලින්.

යසින්තා උඩින් පල්ලෙන් බලද්දි වැල් වටාරම් එක්ක වහෙන් ඔරෝ භාෂාවෙන් ලියවිලා තිබුණු සමහර දේවල් සුමින්දගේ සෙල්ලක්කාර ජීවිතේ සංසිද්ධි බව යසින්තාට නොතේරුණා නෙවෙයි. යසින්තා මේ ගමන ආවේ සුමින්ද ගැන හොඳාකාරවම දැනගෙන. දේපළ පිටට නොයන්න තමයි කසාදෙ තීන්දු වුණේ. දුරින් නෑකමක් තිබුණු නිසා එකම පරම්පරාවක ලේ.

පවුලේ එකම දරුවා විදිහට අම්ම තාත්තට කීකරු වෙලා යසින්තා සුමින්ද ළඟට ආවා. හැබැයි හැමදාමත් නාන කාමරයට රිංග ගත්තම කණ්ණාඩිය ඉස්සරහට වෙලා පච්චයේ අකුරු දිගේ ඇඟිලිතුඩු සීරුවට අරගෙන යන එක පුරුද්දක් වුණා. ඉෂ්ට නොකරපු පොරොන්දුවක් තිබෙන බව හිත හිමිහිට මතක් කරලා දුන්නා.

“හිතට මහ මොකක්ද වගේ? ඔන්න ඔහේ හා කියනවා. වාසෙත්තමී එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ කියලා අරූ කිවුවනේ. නැත්තම් මේ යන යෑමට පොටක් වැරදුණොත් සනුහරේම ඉවරයි.”

අහම්බෙන් පෙරළුණු පිටුවක අකුරු දිගේ ඇස් දෙක දිවුවා. මුළු ඇඟම සීතල වෙලා යද්දි යසින්තා ළඟ තිබුණු කබල් පුටුවට වාරු වුණා.

“ෂික් විතරක් මෙහෙමත් තිරිසනෙක්. පැදුරු පාගන්න පෙරේතකමට පරම්පරාවත් පාවලා දීලා.“ යසින්තා කේන්තියෙන් වෙව්ලනවා. කසාද බැඳලා අවුරුදු තුනක් වෙලත් තාමත් ගෙදර පොඩි එකෙක් අඬන්නෙ නැති එක ගැන මූණටම නොකිවුවත් සුමින්දගේ අම්මා හිටි ගමන් පුංචි ඊතල පාරවල් යසින්තා දිහාවට එවනවා. යසින්තා එහා මෙහා වෙලා “මට නෙවෙයි” ගාණට ඉන්නවා. ඉක්මනට පොත් පෙට්ටිය වහලා දාලා රාක්ක කෑල්ලත් අරන් ගබඩා කාමරෙන් එළියට ආවා.

එදා නාන කාමරේට ගියාට පස්සෙ වෙනදාට වඩා වැඩි වෙලාවක් කණ්ණාඩිය ඉස්සරහා ගත කළා. වෙනදා වගේම පච්චයේ අකුරු දිගේ ඇඟිලි තුඩු ඉබේම ගියාට හිත තිබුණේ කොහේදෝ ඈත ඉසව්වක. අන්තිමේදී ඇඟපත හෝදගෙන කාමරයට ඇවිත් ආයෙම කණ්ණාඩි මේස ඉස්සරහ හිටගෙන දිගම දිග හුස්මක් උඩට අරන් ‘ඩොක්’ ගාලා පහළට දැම්මා. ඒකෙන් කියවුණේ කාලෙ හරි කියලයි.

එදා සුමින්ද ළඟට එද්දී වෙනදාට නොදැනිච්ච කුයිලක් දැනෙනවා වගේ යසින්තා එකල මෙකල වුණා. “මාර ඔළුවේ කැක්කුමක් අප්පා” කියාගෙන අනිත් ඇලයට හැරුණා. ටිකකින් සුමින්දගේ ගෙරවිලි සද්දෙ ඇහෙන්න ගත්තා. පියවුණු ඇහිපියන් යට යසින්තාගේ ඇස් ගෙඩි දෙක තාම නිදි නෑ. හෙට අනිද්දට තිරගත වෙන්න නියමිත චිත්‍රපටියක තිරපිටපත හිත ඇතුළේ ලියවිලා ඇස් දෙකේ රඟ දක්වනවා. අවුරුදු පහළොවකට පස්සේ ආයෙමත් අශෝක වීදුරුවේ ප්ලේන්ටිය බෙදාගන්න ඒ හිතට ඕන වුණා.

පහුවදා උදේ වරුවේ කැලැන්ඩරයකුත් ළඟට අරන් මොන මොනවදෝ ගණන් වගයක් හැදුවා. “දහඅට, දහනවය දවස් දෙකෙන් එකක්.” ඇය තමන්ටම කියා ගත්තා.

පහළොස්වැනිදා සුමින්ද බිස්නස් වැඩකට නුවරඑළි ගියේ සතියක් විතර නවතින්න වෙයි කියලා යසින්තාට කියාගෙනයි.

ඊට දවස් තුන හතරකට පස්සේ දවසක;

“අම්මේ. . . හොඳම යාළුවෙක් ලෙඩ වෙලා. බලලා එන්න කියලා හැදුවේ.”

කියාගෙන යසින්තා ගෙදරින් එළියට බැස්සා. ආපහු හවස ගෙදර ආවේ උදේ ගිය යසින්තා නම් නෙවෙයි. ආපු ගමන් නාන කාමරයට වැදුණා. පච්චයත් එක්ක තනියම කුටු කුටු ගෑවා. කණ්ණාඩියට විරිත්තුවා. වතුර මල යටට ගියාට කරාමය කරකවන්නැතුව තවත් ටික වෙලාවක් හිටියා. නාගන්න බැරි මොකක්දෝ ලෝභකමක් හිත ඇතුළෙ නලියෑවා. ඔක්කොම හරි කියලා තමන්ටම කියාගෙන හොඳ හැටියට නා ගත්තා.

“මොකද ළමයෝ….” පාන්දරම ඇහුණු සද්දෙට සුමින්දගේ අම්මා දුවන් එද්දි යසින්තා හිටියේ කොස් ගහට වාරු වෙලා වමනෙ දදා.

දෙතොලට නැඟුණු හීන් හිනාවක් එක්ක කුස්සියේ දොරකඩින් අම්මා ගෙට ගියේ උළුවස්සට අතකුත් තියාන බලාගෙන හිටපු සුමින්දගේ උරහිසට හීනියට පාරකුත් ගහගෙන. සුමින්දගේ ඇස් දෙක තිබුණේ නළලේ.

“වැරැද්ද මගේනෙ.“ වගේ දෙයක් ඒ ඇස්වල ලියවිලා තිබුණා. ඒක දැකපු යසින්තාට ඇඟේ අමාරුවත් අඩුවෙලා හිත යට හිනා පොකුරක් පිපුණේ ඔලොක්කුවට ද සතුටට ද කියලා හිතාගන්න බෑ.

“ඕං එහෙනම් ගෙදර ළිඳත් බොර වෙලා”

තමන්ටම කියා ගනිමින් යසින්තා ගේ දිහාවට පියවර මැන්නා. සුමින්දගේ ඇස් ඇතුළෙන් යසින්තාට පෙනුණේ හිනා කටක් පුරෝ ගත්තු රවිඳුගේ මූණ.

නිමි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?