Monday, February 23, 2026
Epaper
Home Highlightsබොලිවුඩ් චිත්‍රපටයකට නොදෙවැනි ෂාරුක්-ගෞරි ආදර කතාව

බොලිවුඩ් චිත්‍රපටයකට නොදෙවැනි ෂාරුක්-ගෞරි ආදර කතාව

by Shanaka Lakehouse

“දෙවියන් විසින් මැවූ ජෝඩුවක් දෙවියන් විසින් කිසිදාක වෙන් කරන්නේ නැත.” හින්දි සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘රබ් නේ බනා දී ජෝඩි’ චිත්‍රපටයේ එන මේ සුප්‍රසිද්ධ දෙබස හින්දි සිනමා ලෝලීන්ට නම් හුරුපුරුදු එකකි. සැබැවින්ම හින්දි සිනමාවේ ලස්සනම ආදර කතාව ඇත්තේ කොතැනද? ඒ ප්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර සිනමා තිරයෙන් ඔබ්බෙහි වූ ෂාරුක් – ගෞරි සුසංයෝගයයි. එය හුදෙක් සිනමා ප්‍රබන්ධයක් නොව, කඳුළ, සුසුම, වෙන්වීම සහ දරාගැනීම පිරි සැබෑ ලෝකයේ මහා ප්‍රේම වෘත්තාන්තයකි.

ප්‍රේමයේ ප්‍රථම පරිච්ඡේදය

මේ ආදර කතාවේ පළමු පරිච්ඡේදය ලියැවෙන්නේ හරියටම මීට වසර හතළිස් තුනකට පමණ පෙර, එනම් 1983 වසරේදීය. ඒ වන විට ෂාරුක් ඛාන් යනු හින්දි සිනමාවේ සුපිරි තරුවක් වීමට පෙරුම් පුරන, අවුරුදු දහඅටක කඩවසම් තරුණයෙකි. මුම්බායි නුවර නි‍ෙවසක පැවැති කුඩා සාදයකදී ඔහුගේ නෙත ගැටෙන්නේ අමුත්තියක ලෙස පැමිණි රූමත් තරුණියකි. ඇය දුටු සැණින් ප්‍රේමයෙන් මත්වන ෂාරුක්, ඇය පිළිබඳ තම මිතුරකුගෙන් විමසයි.

එහිදී ඇය සිය පෙම්වතා එනතුරු උත්සව ශාලාවේ දොරකඩ බලා සිටින බව ඔහු දැනගත්තත්, එය ඇයගේ ආරක්ෂාව උදෙසා ගෙතූ බොරුවක් බව ඔහු දැනගන්නේ බොහෝ කලකට පසුවය. එදා සාදයේදී නර්තනයකින් ඇරඹුණු ඒ සොඳුරු ඇරඹුම, අද වන විට දශක පහකට ආසන්න කාලයක් පුරා නොබිඳුණු බැඳීමක් බවට පත්ව තිබේ. ඔහු අන් කිසිවකු නොව, හින්දි සිනමාවේ අසහාය රජු ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ය. ඇය ඔහුගේ සෙවණැල්ල බඳු වූ ප්‍රියම්භිකාව, ගෞරි ඛාන්ය.

කුලවාදය සහ ආගමික බාධක

මේ ප්‍රේම කතාවේ දෙවැනි පරිච්ඡේදය ගෙවී යන්නේ මල් යහන් මත නොවේ. මේ ආදරයට මුලින්ම ගල් මුල් ප්‍රහාර එල්ල කරන්නේ ගෞරිගේ මවුපියන්ය. උපතින් හින්දු බ්‍රාහ්මණ වංශිකයන් වූ ඇගේ පියා ඉන්දීය හමුදාවේ විශ්‍රාමික මේජර් ඡනරාල්වරයෙකි. කුලවාදය සහ ආගමික මතවාද දැඩිව මුල් බැසගත් සමාජයක, මුස්ලිම් තරුණයකු වූ ෂාරුක්ට ඔවුන්ගේ හදවත් දිනා ගැනීම ලෙහෙසි වූයේ නැත.

1965 වසරේ උපන් ෂාරුක්ගේ මුල් නම ‘අබ්දුල් රෙහ්මාන්’ වුවද, කුමාරයකු වැනි ඔහුගේ රූපය නිසා පියා විසින් එය ‘ෂාරුක්’ (ලස්සන මුහුණ ඇති) ලෙස වෙනස් කරන ලදි. ෂාරුක්ගේ පියා හෝටල්වල කුලී රැකියා කළ සාමාන්‍ය පුද්ගලයෙකි. ෂාරුක්ට වයස 15 වන විට ඔහුගේ පියා මෙලොව හැර ගියේය. ඒ අනුව ෂාරුක්ට ජීවිතය යනු කටුකත්වය දිරියෙන් ජය ගැනීමේ මහා සටනක් විය. ඔහුට තිබුණේ අවිහිංසාවාදී ප්‍රියංකර පෙනුමත්, අවංක වචනයත් පමණි.

දරාගැනීමේ සීමාව සහ වෙන්වීම

ගෞරිගේ මවුපියන් ඇයට බ්‍රාහ්මණ වංශික තරුණයකු සෙවීමට උත්සාහ කළ අතර, ඇගේ මව වරෙක “මේ සම්බන්ධය නැවැත්වුවේ නැත්නම් මම ජීවත් වන්නේ නෑ” යැයි පවසමින් දැඩි පීඩනයක් එල්ල කළාය. ෂාරුක්ගේ දැඩි ආදරය සහ ඒ මත ඇති වූ ඊර්ෂ්‍යාව නිසා ගෞරිට තම නිදහස අහිමි වන බවක් ද දැනෙන්නට විය. රූමත් ගෞරි දෙස වෙනත් තරුණයකු බැලීම පවා ෂාරුක්ගේ නොරිස්සුමට හේතු විය. ඇය තම දිගු වරලස මුදා හැරීම පවා ෂාරුක් විසින් තහනම් කර තිබුණි. මේ පීඩනය දරාගත නොහැකි වූ තැන, ගෞරි සියල්ල අතහැර මුම්බායි නුවරට පලා ගියේ නුපුරුදු තනිකමකට හුරු වෙමිනි.

ආදරය නිසා තහංචි දැමීමේ වරද

ෂාරුක්ට වැටහෙන්නේ ඇය තමාගෙන් ඈත් වූ පසුවය. සිය වැරදි වටහා ගත් ෂාරුක්ට එදා පිහිට වූයේ ඔහුගේ සෙනෙහබර මවයි. ඇය සිය පුතුගේ දුක හඳුනාගෙන, ඔහුට අවවාද කර සතුට සොයා යන්නට මුදල් ද අත තැබුවාය. ඔහු මුම්බායි පුරා ගෞරිව සෙවීය. දින ගණනක් අතේ තිබූ මුදල් අවසන් වන තුරු ඇය සෙවූ ඔහු, අවසානයේ බලාපොරොත්තු අත්හැර ආපසු එන්නට සැරසෙන විට, රික්ෂෝ රියැදුරකුගෙන් ලද හෝඩුවාවක් මත පෙම්වතුන් ගැවසෙන වෙරළ තීරයකට ගියේය. එහිදී විරහ වේදනාවෙන් ඈත ක්ෂිතිජය දෙස බලා සිටි ගෞරිව ඔහුට හමු වන්නේ දෛවෝපගත ලෙසිනි.

ආශීර්වාද ලත් කැදැල්ල

සියලු බාධක සහ හැලහැප්පීම් ජයගත් ඔවුහු 1991 ඔක්තෝබර් 25 වැනිදා මවුපියන්ගේ ආශීර්වාදය මැද යුග දිවියට එළැඹුණහ. එදා හින්දු චාරිත්‍රානුකූලව පැවැති ඒ විවාහ මංගල්‍යයෙන් ඇරඹි ඔවුන්ගේ ලෝකය අද වන විට ආර්යන්, සුහානා සහ ඒබ්‍රහම් යන දරු තිදෙනාගෙන් පරිපූර්ණ වී තිබේ.

ෂාරුක් වරෙක තම ආදරණීය බිරිඳ ගැන මෙසේ පැවසීය

“අපි ආදරය කරද්දී අප දෙදෙනා අතර එක සමානකමක් හැර කිසිදු සමානකමක් තිබුණේ නැත. ඒ සමානකම වුණේ, මම ඇයට කැමති වූ තරමටම ඇයත් මා කෙරේ ඇති කැමැත්ත පමණයි.”

හින්දි සිනමාවේ අසහාය රජු ලෙස කිරුළු පලන් ෂාරුක් ඛාන්ගේ ලෝකය අද මෙතරම් ශක්තිමත් වී ඇත්තේ, එදා වෙරළේදී ඔහු වැලඳගත් ඒ සැබෑ ප්‍රේමය නිසාමය. සිනමා පටයකටත් වඩා දහස් වාරයක් සුන්දර වූ මේ ආදර කතාව, අන්‍යෝන්‍ය අවබෝධය සහ කැපකිරීම මත ගොඩනැඟුණු මහා පවුරක් බඳුය.

 

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?