Monday, February 23, 2026
Epaper
Home Highlightsකුස්සියේ රජා සියඹලා

කුස්සියේ රජා සියඹලා

ගැහැනියට ඔබ නොදන්නා සුව ගුණ රහස් රැසක්!

by Shanaka Lakehouse

ශ්‍රී ලාංකේය අපේ කුස්සියේදී නැතිවම බැරි රසකාරකයක් තිබේ නම් ඒ සියඹලාය. මාළු ඇඹුල්තියල් පදමට හදාගන්නටත්, පොල් සම්බෝලයට නියම ඇඹුල් රසය එක් කරගන්නටත් අපි සියඹලා සොයමු. උද්භිද විද්‍යාත්මකව ටැමරින් ඉන්ඩිකා (Tamarind Indica) ලෙස හඳුන්වන සියඹලා, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ හුදෙක් රසකාරකයක් ලෙස පමණක් නොව, සිරුර නිවන දිව්‍යමය ඖෂධයක් ලෙසිනි. ඉදුණු සියඹලාවල ඇති ඒ අසමසම රසය වරක් රස බැලූ අයකුට කිසිදා අමතක නොවේ.

බොහෝ දෙනා සියඹලා පාවිච්චි කරන්නේ ආහාර රසගැන්වීමට පමණක් වුවද, එහි සැඟවී ඇති සෞඛ්‍යමය වටිනාකම ගැන දන්නේ ඉතා සුළු පිරිසකි. ඔබ දිනපතා ගන්නා ආහාර වේලට සියඹලා එක්කර ගැනීමෙන් ලැබෙන විස්මිත ප්‍රතිලාභ පිළිබඳවයි මේ සටහන.

පෝෂණ ගුණයෙන් සපිරි ඖෂධයක්

දිනකට මිනිස් සිරුරකට අවශ්‍ය කරන ශක්තියෙන් සියයට දොළහක් (12%) පමණ ලබා දීමට සියඹලාවලට හැකියාව ඇත. සියඹලා ග්‍රෑම් සියයකින් ශක්තිය කිලෝ කැලරි 239ක් ලැබේ. එමෙන්ම දිනකට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයෙන් සියයට හතළිහක් එනම් ග්‍රෑම් 62.5ක් පමණ මෙයින් සපුරාගත හැකිය. ප්‍රෝටීන් ග්‍රෑම් 2.80ක් අඩංගු වන අතර, මෙහි ඇති විශේෂත්වය වන්නේ කොලෙස්ටරෝල් බින්දුවක්වත් අඩංගු නොවීමයි. ඒ වෙනුවට සිරුරට හිතකර කෙඳි (තන්තු) ග්‍රෑම් 5.1ක් අඩංගු වේ. මීට අමතරව ෆෝලේට්, නියසීන්, විටමින් ඒ සහ විටමින් සී මෙන්ම පොටෑසියම්, කැල්සියම්, යකඩ හා මැග්නීසියම් වැනි ඛනිජ ලවණ රැසකින් සියඹලා පොහොසත්ය.

ආහාර ජීර්ණයට සහ ලෙඩ රෝගවලට ගුණ දෙන හැටි

සියඹලාවල පවතින කෙඳි සහිත ස්වභාවය මලබද්ධය දුරු කරමින් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පහසු කරයි. සිරුරේ ඇතිවන විෂ වර්ග සමඟ මෙම කෙඳි බැඳී මහා අන්ත්‍රය ආරක්ෂා කිරීමට දායක වේ. විශේෂයෙන්ම මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා සතුව ඇත්තේ පුදුමාකාර හැකියාවකි. එහි පවතින වාෂ්පශීලී රසායනික සංඝටක ආහාර ජීර්ණයට උපකාරි වන අතර හදවතේ සෞඛ්‍යය ද සුරකියි. උගුරේ ආසාදන පවතින විට සියඹලා දිය කළ ජලයෙන් උගුර සේදීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැකිය.

සම සහ හිසකෙස් සුරකින රූපලාවණ්‍ය රහස

බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන හිසකෙස් වැටීම පාලනය කිරීමට සියඹලා කදිම විසඳුමකි. සියඹලා කරල් කිහිපයක් වතුර ස්වල්පයක දමා තම්බා, එම යුෂ හිස් කබලේ ආලේප කර ටික වේලාවකින් සෝදා හැරීමෙන් හිසකෙස් මුල් ශක්තිමත් වේ. එමෙන්ම සියඹලා ඇට ද ඖෂධීය ගුණයෙන් අනූනයි. පිලිස්සුණු තුවාලයක් ඇති වූ විට සියඹලා ඇට කුඩු කර ආලේප කිරීමෙන් තුවාල ඉතා ඉක්මනින් සුව වේ.

රුධිරය පිරිසිදු කිරීමට සහ දියවැඩියාව පාලනයට

ශරීරයේ ඇති අපිරිසුදු රුධිරය පිරිසුදු කිරීමේ ගුණයක් සියඹලාවල පවතී. අද සමාජයේ බහුලවම පවතින දියවැඩියා රෝගය පාලනයට ද මෙය කදිම ඔසුවකි. රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට සියඹලා ඇටවලට හැකියාව ඇති බැවින්, හොඳින් ඉදුණු සියඹලා ඇට කිහිපයක් උණු වතුරට දමා දිනකට දෙවරක් පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එමෙන්ම මෙය මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ගේ සිරුරේ පවතින විෂ නැසීමට ප්‍රති-විෂ (Antidote) ලෙස ද ක්‍රියා කරයි.

නි‍ෙවසේදීම සාදාගත හැකි රසවත් සියඹලා වට්ටෝරු

රසවත් සියඹලා ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය: සියඹලා ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 200ක්, වතුර කෝප්ප 1/2ක්, සිහින්ව කපන ලද ඉඟුරු තේ හැන්දක්, කුරුඳු පොතු කැබැල්ලක්, ලුණු ස්වල්පයක්.

සාදන ක්‍රමය: සියඹලා පොතු සහ ඇට ඉවත් කර මදය සෝදා ගන්න. මැටි හට්ටියකට සියඹලා මස්, වතුර, ඉඟුරු, කුරුඳු සහ ලුණු දමා මඳ ගින්නේ තම්බා ගන්න. මිශ්‍රණය ඝන වන විට සීනි එක් කර පැණි ස්වභාවයට එන තෙක් හැඳි ගාන්න.

ප්‍රබෝධමත් සියඹලා බීම

අවශ්‍ය ද්‍රව්‍ය: ඉදුණු සියඹලා ග්‍රෑම් 250ක්, සීනි සහ ලුණු රස අනුව, ජලය, කුරුඳු සහ එනසාල් කුඩු ස්වල්පයක්.

සාදන ක්‍රමය: සියඹලා මදය පොඩි කර වතුර දමා පෙරා ගන්න. එයට සීනි, ලුණු, එනසාල් හා කුරුඳු කුඩු එක් කර අයිස් කැට දමා පිළිගන්වන්න.

සාම්ප්‍රදායික පැණි සියඹලා

සීනි භාවිත කරන්නේ නම්, සීනි මේස හැඳි 3ක් මැටි හට්ටියකට දමා වතුර ස්වල්පයක් එක් කර දුඹුරු පාට වන තෙක් කැරමල් කර ගන්න. ඉන්පසු වතුර කෝප්ප භාගයක් සහ ඉතිරි සීනි දමා උතුරන විට සියඹලා මස් හා ලුණු එක් කර මඳ ගින්නේ මිශ්‍ර කරන්න. මෙය හකුරු හෝ කිතුල් පැණි භාවිතයෙන් ද ඉතා රසවත්ව සාදාගත හැකිය.

සිරුර සිසිල් කරන, රෝග නසන මේ අගනා ඖෂධය ඔබේ දෛනික ආහාර වේලටත් එක්කර ගැනීමට අමතක නොකරන්න.

 

TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?