පවුලේ සැමගේ නීරෝගිකම මෙන්ම සතුට රැඳී ඇත්තේ ගෘහිණියකගේ දෑතින් පිසෙන රසවත් ආහාර වේලකය. ඒ වෙනුවෙන් වෙළඳපොළේ ඇති හොඳම සහ ගු ණදායකම එළවළු, පලතුරු මෙන්ම ධාන්‍ය වර්ග තෝරා ගැනීමට ඔබ නිරන්තරයෙන්ම වෙහෙසෙනවා ඇති. නමුත් ඔබ කොතරම් ගුණදායක අමුද්‍රව්‍ය භාවිත කළත්, එම ආහාර පිසීමට ඔබ භාවිත කරන බඳුන් වර්ගය නිවැරදි නොවන්නේ නම් ඔබ නොදැනුවත්වම ඔබේ ආදරණීයයන්ට බෙදන්නේ ‘වස විස’ විය හැකි බව ඔබ දන්නවාද?
නවීන පන්නයේ දිලිසෙන සුලූ විවිධ පිසින උපකරණවලින් අද වන විට වෙළඳපොළ පිරී පවතියි. මෙහිදී ඇතැම් බඳුන් අපේ කාර්යය පහසු කළත්, තවත් සමහර බඳුන් අධික උෂ්ණත්වයේදී රසායනික ද්‍රව්‍ය මුදාහරිමින් සිරුරට මාරාන්තික රෝගාබාධ පවා කැඳවිය හැකියි. මේ නිසා ඔබ, ඔබේ මුළුතැන්ගෙයි ඇති බඳුන්වල සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම ඒවායේ නඩත්තුව පිළිබඳව මනා අවබෝධයකින් සිටීම අත්‍යවශ්‍යය.
මුළුතැන්ගෙයි නිතර භාවිත වන බඳුන් වර්ග කිහිපයක සැඟවුණු සෞඛ්‍ය රහස් සහ ඒවා නිවැරදිව නඩත්තු කරමින් පවුලේ සෞඛ්‍යය සුරකින ආකාරය ගැන අද අපි විස්තරාත්මකව සොයා බලමු.
මල නොබැඳෙන වානේ (Stainless Steel)
මල නොබැඳෙන වානේ බඳුන් යනු සෞඛ්‍යාරක්ෂිත බව අතින් ඉහළම තැනක පවතින බඳුන් වර්ගයකි. මෙහි විශේෂත්වය වන්නේ අධික තාපයේදී වුවද ආහාර සමඟ කිසිදු රසායනික ප්‍රතික්‍රියාවක් ඇති නොකිරීමයි. එය විෂ රහිත වන අතර මලකඩවලට හොඳින් ඔරොත්තු දෙයි. පිරිසිදු කිරීමේදී රළු කම්බි කූරු භාවිත කිරීමෙන් මතුපිට සීරීම් ඇති වී එහි දීප්තිය නැති විය හැකි බැවින්, මෘදු ස්පොන්ජ් එකක් සහ දියර සබන් භාවිත කිරීම සුදුසුය. ආහාර ඇලී ඇත්නම් මඳ රස්නය ඇති වතුරේ පොඟවා තබා සෝදා හැරීමෙන් කල්පැවැත්ම වැඩි කරගත හැකිය.
වාත්තු යකඩ (Cast Iron)
පරම්පරා ගණනාවක් භාවිත කළ හැකි වාත්තු යකඩ බඳුන්, ආහාරයට යකඩ ප්‍රතිලාභ එක් කිරීමට සමත් වේ. මෙය අධික උෂ්ණත්වයේදී පවා ආරක්ෂිතව භාවිත කළ හැකිය. වාත්තු යකඩ බඳුන් නඩත්තු කිරීමේදී එය ‘පදම් කිරීම’ (Seasoning) අත්‍යවශ්‍යය. එනම්, බඳුනේ තෙල් ස්වල්පයක් ආලේප කර රත් කිරීමයි. පිරිසිදු කිරීමේදී රසායනික සබන් වර්ග භාවිත නොකර, උණු වතුරෙන් පමණක් සෝදා වහාම තෙත මාත්තු කර තෙල් ස්වල්පයක් ආලේප කර තැබීමෙන් මලකඩ කෑම වළක්වා ගත හැකිය.
මැටි බඳුන් (Clay)
ස්වාභාවික මෙන්ම විෂ රහිත මැටි බඳුන් භාවිතය අපේ සෞඛ්‍යයට බෙහෙවින් හිතකරය. මැටි බඳුන්වල ඇති සිදුරු හරහා තාපය සහ වාතය ඒකාකාරීව සංසරණය වන නිසා ආහාරයේ පෝෂණය සහ රසය උපරිමයෙන් රැකේ. මැටි බඳුන් පිරිසිදු කිරීමේදී කිසිසේත්ම රසායනික සබන් හෝ ඩිටර්ජන්ට් භාවිත නොකළ යුතුය. මන්ද එම රසායනිකයන් මැටි සිදුරු අතර රැඳී පසුව ආහාරයට එක්විය හැකි බැවිනි. මේවා පිරිසිදු කිරීමට උණු වතුර හෝ පොල් කොහු වැනි ස්වාභාවික දේ භාවිත කිරීම වඩාත් සුදුසුය.
ඇලුමිනියම් (Aluminium)
වෙළඳපොළේ බහුලව තිබුණ ද, ඇලුමිනියම් බඳුන් භාවිතයේදී ඔබ දැඩි ලෙස ප්‍රවේසම් විය යුතුය. විශේෂයෙන්ම තක්කාලි, දෙහි, සියඹලා වැනි ආම්ලික ආහාර පිසීමේදී ඇලුමිනියම් ලෝහය ආහාර සමඟ ප්‍රතික්‍රියා කරයි. මෙහිදී ඇලුමිනියම් අංශු ආහාරයට මුසු වීමෙන් ස්නායු ආබාධ සහ වකුගඩු ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකි බව සොයාගෙන ඇත. මේවා පිරිසිදු කිරීමේදී රළු ලෙස මැදීමෙන් ලෝහ අංශු ගැලවී ඒම වැඩි වන නිසා, හැකි සෑම විටම ඇලුමිනියම් බඳුන් භාවිතයෙන් වැළකී සිටීම නීරෝගිකමට අතවැනීමකි.
සෙරමික් (Ceramic)
සෙරමික් බඳුන් පිරිසිදු කිරීමට ඉතා පහසු මෙන්ම සෞඛ්‍යයට ද හිතකරය. සීරීම්වලට හොඳින් ඔරොත්තු දෙන මෙවැනි බඳුන් විෂ රහිතය. නමුත් මෙහි නඩත්තුව ඉතා වැදගත් වේ. සෙරමික් බඳුන් තුළ ආහාර හැඳිගෑමට ලෝහ හැඳි වෙනුවට ලී හෝ සිලිකොන් හැඳි පමණක් භාවිත කරන්න. එමෙන්ම පිරිසිදු කිරීමේදී මෘදු දියර සබන් වර්ග භාවිත කළ යුතුය. බඳුන් එක මත එක තැබීමේදී මතුපිට සීරීම වළක්වා ගැනීමට ඒ අතරට කඩදාසියක් හෝ රෙදි කැබැල්ලක් තැබීමට ගෘහිණියන් සැලකිලිමත් විය යුතුය.
නොඇලෙන බඳුන් (Non-stick)
ඉතා පහසුවෙන් සහ අඩු තෙල් ප්‍රමාණයකින් ආහාර පිසීමට හැකි වුවත්, නොඇලෙන බඳුන් යනු රසායනික අවදානමක් සහිත බඳුන් වර්ගයකි. මෙහි ආලේප කර ඇති PFOA, PTFE හෝ PFOS වැනි රසායනිකයන් අධික ලෙස රත් වූ විට විස දුමාරයක් ලෙස වාතයට සහ ආහාරයට එක් වේ. මෙම බඳුන් පිරිසිදු කිරීමේදී කිසිසේත්ම රළු ස්පොන්ජ් භාවිත නොකළ යුතු අතර, මඳක් හෝ සීරී ඇත්නම් එම බඳුන වහාම භාවිතයෙන් ඉවත් කළ යුතුය. මන්ද සීරීම් අතරින් සිරුරට අහිතකර රසායනික අංශු ආහාරයට එක්විය හැකි බැවිනි.
වීදුරු බඳුන් (Glassware)
වීදුරු බඳුන් යනු ආහාර ගබඩා කිරීමට මෙන්ම පිසීමට ද හැකි ආරක්ෂිතම මාධ්‍යයකි. එය කිසිදු රසායනික ප්‍රතික්‍රියාවක් සිදු නොකරයි. වීදුරු බඳුන් භාවිතයේදී අධික ශීතල බඳුනක් එකවරම රත් කිරීම හෝ රත් වූ බඳුනක් එකවරම සීතල වතුරට දැමීමෙන් වළකින්න. පිරිසිදු කිරීමේදී මෘදු ස්පොන්ජ් සහ සබන් දියර භාවිත කිරීමෙන් එහි දිස්නය සහ ශක්තිමත් බව රැකගත හැකිය.
ප්ලාස්ටික් බඳුන් (Plastic)
ප්ලාස්ටික් බඳුන්වල අඩංගු BPA වැනි රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම ආහාර රත් කරන විට ආහාරයට මුසු වී හෝර්මෝන ගැටලු ඇති කළ හැකිය. ප්ලාස්ටික් බඳුන් මිලදී ගැනීමේදී “BPA Free” සහ “Food Grade” බඳුන් පමණක් තෝරා ගන්න. කිසිම විටක ප්ලාස්ටික් බඳුන් තුළ ආහාර දමා මයික්‍රෝවේව් උඳුනේ රත් නොකිරීමට වගබලා ගන්න. ප්ලාස්ටික් බඳුනක වර්ණය වෙනස් වී හෝ ඉරිතැළීම් තිබේ නම් එය වහාම භාවිතයෙන් ඉවත් කරන්න.
තඹ (Copper) සහ එනමල් (Enamel) බඳුන්
තඹ බඳුන් යනු ඉතා හොඳ තාප සන්නායකයක් වන අතර පාරම්පරිකව ජලය පානය කිරීමට සහ ඇතැම් ආහාර පිසීමට ද භාවිත කරයි. මෙහිදී සැලකිලිමත් විය යුත්තේ තඹ බඳුන්වල ආම්ලික ආහාර පිසීමෙන් වැළකීමටයි. මන්ද තඹ ලෝහය ආහාර සමඟ ප්‍රතික්‍රියා කර සිරුරට අහිතකර බලපෑම් ඇති කළ හැකි බැවිනි. මේ නිසා වර්තමානයේ බොහෝ තඹ බඳුන් ඇතුළතින් ස්ටේන්ලස් ස්ටීල් ස්කතරයක් යොදා නිපදවයි. එනමල් බඳුන් ද එසේමය; ලෝහ බඳුනක් මත වීදුරු වැනි ආලේපනයක් යොදා ඇති මේවා ඉතා අලංකාර වන අතර සෞඛ්‍යයට හිතකරය. නමුත් මෙහි ආලේපනය සීරී හෝ පුපුරා ඇත්නම්, ඇතුළත ලෝහය ආහාරයට මුසු විය හැකි නිසා එවැනි බඳුන් වහාම භාවිතයෙන් ඉවත් කළ යුතුය.
ග්‍රැනයිට් (Granite) සහ සිලිකොන් (Silicone) බඳුන්
ග්‍රැනයිට් බඳුන් නමින් හැඳින්වෙන්නේ ලෝහ බඳුනක් මත ගල් අංශු මිශ්‍ර ශක්තිමත් නොඇලෙන ආලේපනයක් සහිත බඳුන්ය. මේවා සාමාන්‍ය නොඇලෙන බඳුන්වලට වඩා සීරීම්වලට ඔරොත්තු දෙන අතර පිරිසිදු කිරීමට ඉතා පහසුය. එමෙන්ම කේක් සහ රසකැවිලි සෑදීමේදී (Baking) භාවිත වන සිලිකොන් බඳුන් අද ඉතා ජනප්‍රියය. උසස් තත්ත්වයේ (Food-grade) සිලිකොන් බඳුන් අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන අතර ආහාරවල රසයට බලපෑමක් නොකරයි. මෙම බඳුන් පිරිසිදු කිරීමේදී මෘදු ස්පොන්ජ් සහ දියර සබන් භාවිත කළ යුතු අතර, ලෝහ හැඳි වෙනුවට ලී හෝ සිලිකොන් හැඳි භාවිත කිරීමෙන් ඒවායේ ආලේපනය දිගුකාලීනව රැකගත හැකිය.
ලී (Wooden) බඳුන්වල භාවිතය
සලාද වර්ග සෑදීමට සහ ආහාර බෙදා දීමට ලී බඳුන් සහ හැඳි ඉතා යෝග්‍ය වේ. මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවික මාධ්‍යයක් වන අතර අනෙකුත් බඳුන්වල ආලේපන සීරීම ද වළක්වයි. නමුත් ලී බඳුන් නඩත්තුවේදී ඉතා සැලකිලිමත් විය යුතුය; ලී බඳුන්වල තෙතමනය රැඳුණහොත් දිලීර හෝ බැක්ටීරියා වර්ධනය විය හැකි බැවින් සේදූ පසු හොඳින් වියළා ගබඩා කිරීම අනිවාර්ය වේ. එමෙන්ම වරින් වර ලී බඳුන්වල පොල්තෙල් ස්වල්පයක් ආලේප කිරීමෙන් ඒවා ඉරිතැළීම වළක්වා කල්පැවැත්ම වැඩි කරගත හැකිය.
TEXT – පූර්ණිමා ඉන්දීවරී
