ජීවිතය කියන්නේ මල් පාවඩ එලූ මාවතක් නෙමෙයි. අපේ ගමනේදී අපට හමුවන විවිධ පුද්ගලයන් අතින් අපේ හිත් රිදෙන්න පුළුවන්. ඇතැම් විට ඒ රිදවීම් කෙතරම් ප්‍රබලද යත්, වසර ගණනාවක් ගත වුණත් ඒ වේදනාව අමතක කරන්න අපිට අපහසුයි. “මට කොහොමද එයා මෙහෙම කළේ?”, “මම කවදාවත් එයාට සමාව දෙන්නේ නැහැ” වැනි වෛරී සිතිවිලි අපේ හදවත් තුළ නිරන්තරයෙන් දෝංකාර දෙනවා.
නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද, මේ වෛරය නිසා ඇත්තටම පීඩා විඳින්නේ කවුද කියලා?
සමාව දීම යනු කුමක්ද?
බොහෝ දෙනා වැරදියට වටහාගෙන සිටින දෙයක් තමයි සමාව දීම කියන්නේ “අනෙක් කෙනා දිනවීමක්” කියලා. නමුත් සැබෑ බුදු දහමට අනුව සමාව දීම කියන්නේ අනුන් නිදහස් කරන එක නෙමෙයි, තමන්වම නිදහස් කරගන්නා උතුම් පුණ්‍යකර්මයක්. ඔබ යමකුට වෛර කරන විට, ඔබ නොදැනුවත්වම ඔබේ සිතේ සාමය ඒ පුද්ගලයාට උකස් කරලයි තියෙන්නේ. සමාව දීම හරහා සිදුවන්නේ ඒ උකස් කළ සාමය නැවත ලබා ගැනීමයි.
අතීත කතාවකින් පාඩමක්
එක් ගමක ජීවත් වූ දුප්පත් පුද්ගලයෙක් තමන්ට අසාධාරණයක් කළ අයකු කෙරෙහි දැඩි කෝපයෙන් පසුවුණා. වසර ගණනාවක් ගත වුවද ඔහු ඒ සිදුවීම මෙනෙහි කරමින් තමන්ටම සාප කරගත්තා. දිනක් ඔහු පන්සලේ ස්වාමීන් වහන්සේ හමුවී තම සිතේ ඇති අසහනය පැවසුවා.
එවිට ස්වාමීන් වහන්සේ සන්සුන්ව මෙසේ ඇසුවා.
“උපාසක මහත්තයෝ, දැන් ඔය දෙන්නගෙන් වැඩිපුර දුක් විඳින්නේ කවුද?”
“මමයි හාමුදුරුවනේ, මට රෑට නින්ද යන්නෙත් නැහැ,” ඔහු පැවසුවා.
“එතකොට අසාධාරණය කළ පුද්ගලයා?”
“එයා නම් හරිම සතුටින්, යස අගේට ඉන්නවා හාමුදුරුවනේ. එයාට කිසිම අඩුවක් නැහැ.”
එවිට උන්වහන්සේ සිනාසී මෙසේ වදාළා “එහෙනම් උපාසක මහත්තයෝ, වරද කළේ ඔහු වුණත්, ඇත්තටම ඒ වරදට අදටත් දඬුවම් විඳින්නේ ඔබ නේද?”
මෙම කතාවෙන් පැහැදිලි වන්නේ කේන්තිය සිතේ තබාගෙන සිටීම යනු තමන් විසින්ම තමන්ට දිනපතා ලබා දෙන දඬුවමක් බවයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි, “වෛරයෙන් වෛරය නොසන්සිඳේ; එය සන්සිඳෙන්නේ අවෛරයෙන්මය.”
සමාව දීම දුර්වලකමක්ද?
ගැහැනියක ලෙස ඔබ සිතන්නට පුළුවන් සමාව දීම යනු ඔබ පරාජය වීමක් කියා. නමුත් සැබෑව නම් සමාව දීම යනු ලොව ඇති ශක්තිමත්ම මානසික ගුණයයි.
එයින් අදහස් වන්නේ අනෙක් පුද්ගලයා කළ වරද නිවැරැදි බව නොවේ.
නැවතත් ඔහුට හෝ ඇයට ඔබව රිදවීමට ඉඩ දීමද නොවේ.
එය හුදෙක් ඔබේ සිතේ ඇති විෂ සහිත කෝපය ඉවත් කර ගැනීම පමණි.
සමාව දීමෙන් ඔබට ලැබෙන ලාභ
සමාව දීමෙන් අනෙක් පාර්ශ්වයට ලැබෙන දේට වඩා දහස් ගුණයක වාසියක් ඔබට හිමි වේ.
මානසික සුවය
සිතේ තිබූ බරක් ඉවත් වූවාක් වැනි සැහැල්ලුවක් දැනේ.
සෞඛ්‍ය සම්පන්න බව
කේන්තිය අඩු වීමෙන් ලේ ගමනාගමනය නිසි පරිදි සිදු වී, හෘද රෝග සහ මානසික ආතතිය අවම වේ.
පැහැපත් පෙනුම
සතුටින් සිටින ගැහැනියකගේ මුහුණ ඕනෑම ආලේපනයකට වඩා ප්‍රභාමත්ය.
පින් වැඩීම
මෛත්‍රී සහ උපේක්ෂා ගුණ ප්‍රගුණ කිරීමෙන් ඔබේ පින්බර බව වැඩි වේ.
සිත නිදහස් කරගමු
අද සිටම පුරුදු වන්න. ඔබට රිදවූ අයට සිතින් මෙසේ පවසන්න. “මම ඔබට සමාව දෙනවා. ඒ ඔබ හොඳ කෙනෙක් නිසා නොවේ, මම මට ආදරය කරන නිසා සහ මගේ සිතේ නිදහස මට වටිනා නිසයි.”
අනුන් කළ වැරදි ඔබේ සිතේ සිරකරගෙන, ඔබේ වටිනා ජීවිතය අපායක් කරගන්න එපා. සමාව දී හිත නිදහස් කරගන්න. එවිට ඔබට පෙනේවි ලෝකය මීට වඩා කොතරම් සුන්දරද කියා.
තෙරුවන් සරණයි!
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
