නිෙවසක දරුවෙක් සිටීම එම නිෙවසේ සතුට, තෘප්තිය සිහිකැඳවන කාරණාවක් මෙන්ම දරුවෙකු නොසිටීම විවාහ ජීවිත දෙදරා යාමට තුඩු දෙන්නාවූ කාරණාවක් වේ. තමන්ගේ ලේ, කිරෙන් දරුවෙකු බිහි කළත්, නොකළත් ඕනෑම කෙනෙකුට මවුපියන් වීමේ වරමක් තිබිය යුතුය. පවුල් ජීවිතය තුළ මොනයම් හේතුවකින් තමන්ගේ ලේ, ජානයන්ගේ එකතුවෙන් දරුවෙකු හදා වඩා ගැනීමට නොහැකි වුවද තමන්ගේ නොවන වෙනත් දරුවකු හදා වඩා ගැනීමට ඕනෑම අයකුට හැකිය.
මේ ආකාරයෙන් වෙනත් දරුවෙකු විවාහ වී පසුවන දෙදෙනෙකු විසින් හදා වඩා ගැනීම ලාංකීය නීතිය තුළ කුලවද්දා ගැනීම යනුවෙන් හඳුන්වයි. ඔබත් මොනයම් හෝ හේතුවකින් දරුෙවකු හදා වඩා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන විවාහක යුවළක් නම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිය හා පසුබිම දැන සිටීම ඉතා වැදගත් වේ.
දරුවෙකු දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීති රාමුව මොනවගේද?
දරුවකු දරුකමට හදා ගැනීම සම්බන්ධව ලංකාවේ පවතින ප්‍රධානතම නීතිය වන්නේ 1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥා පනතයි. ඒ අනුව සාමාන්‍ය නීතිය යටතේ දරුවෙකු හදා වඩා ගැනීමට අවශ්‍ය නම් ඒ හා සම්බන්ධ නියෝගයක් දිස්ත්‍රික් උසාවිය ඔස්සේ ඉල්ලුම් කළ හැකිය. 1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥා පනත යටතේ 17 වන වගන්තිය තුළ ළමයෙකු කියන්නේ කවුද යන්න අර්ථ දක්වා ඇත. ඒ අනුව එම වගන්තිය තුළ අවුරුදු 14 ට අඩු වයසේ පසුවන ඕනෑම ගැහැනු හෝ පිරිමි දරුවෙකු දරුවෙකු ලෙස හඳුන්වනු ලබයි.
දරුකමට හදා ගැනීමේදී මවුපිය යුවළ විසින් සම්පූර්ණ කළ යුතු විශේෂ සුදුසුකම් තියෙනවද?
දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් දිස්ත්‍රික් උසාවිය තුළ ඕනෑම කෙනෙකුට ඉල්ලා සිටිය හැකිය. නමුත් මෙම ආඥා පනතේ 3 (1) (අ) වගන්තියට අනුව එම අයදුම් කරන තැනැත්තා වයස අවුරුදු 25 ට වඩා වැඩි විය යුතුය. එමෙන්ම එම අයදුම් කරන තැනැත්තා හා හදා වඩා ගැනීමට බලාපොරොත්තු වන දරුවා අතර ඇති වයස් පරතරය අවුරුදු 21 ට වඩා වැඩි විය යුතුය. සාමාන්‍යයෙන් දරුවෙකු හදා වඩා ගත හැක්කේ විවාහ වූ යුවළකට පමණි. එමෙන්ම තනි පුරුෂයෙකුට කිසිසේත්ම ගැහැනු ළමයකු හදා වඩා ගැනීමේ හැකියාවක් නැත.
දරුකමට හදාගන්නා දරුවන්ට වයස් පරතරයක් තියෙනවාද?
1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥා පනත අනුව 17 වන වගන්තිය තුළ හඳුන්වා දී ඇති පරිදි දරුවෙකු යනු වයස අවුරුදු 14 ට වඩා අඩු පිරිමි හෝ ගැහැනු ළමයෙකි. ඒ අනුව අවුරුදු 14 ට වඩා වයස අඩු දරුවෙකු දරුකමට හදා ගැනීමට හැකිය. එහිදී දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වන දරුවාගේ ස්වාභාවික මාපියන්ගේ කැමැත්ත තිබීම ද අනිවාර්ය වේ. නමුත් එම දරුවන්ගේ දෙමවුපියන් හට අත්තනෝමතික ලෙස කිසිසේත්ම දරුවාව වෙනත් කෙනෙකුට මිල කළ අගයකට විකිණිය නොහැකිය.
විදෙස් රටක ජීවත් වන අයෙකුට ලංකාවේ දරුවෙකු හදා වඩා ගන්න පුළුවන්ද?
1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥා පනතට ප්‍රකාරව 1992 අංක 15 දරන සංශෝධනය අනුව විදෙස් රටක පදිංචියේ සිටින අයකුට ද දරුවෙකු හදා වඩා ගත හැකිය. ඒ සඳහා තමා පදිංචි රාජ්‍යයේ පවුල් පසුබිම් වාර්තාවක් (Home Study Report) ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම පොලිස් වාර්තාවක් ද ඇතුළුව ලියකියවිලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය. මෙම දරුකමට හදා ගැනීම සම්බන්ධව වැඩිපුර සාකච්ඡා කර ඇත්තේ හේග් සම්මුතියයි. එමෙන්ම 1941 අංක 24 දරන ආඥා පනත යටතේ 3 (6) වගන්තිය අනුව එම දරුවා ශ්‍රී ලාංකිකයකු විය යුතුය. එමෙන්ම 3 (5) වගන්තියට අනුව එම දරුවා අවුරුදු දහයට වඩා වැඩි නම් එම දරුවාගේ කැමැත්ත ද අත්‍යවශ්‍ය වේ.
දරුකමට හදාගත් පසු දරුවාට හිමිවන නීතිමය අයිතිවාසිකම් මොනවාද?
මෙම දරුකමට හදා ගැනීම තුළ මූලික පරමාර්ථය වන්නේ ළමයාගේ අභිවෘද්ධිය, දියුණුව, පෝෂණය, කායික මානසික දියුණුව ඇතිවීම යන කාරණාය. සෑම විටම දරුවාගේ උපරිම යහපත (Best Interests of the Child) තකා මවුපියන් කටයුතු කළ යුතුය. ඒ අනුව අධ්‍යාපනය, පෝෂණය, ඉදිරි දියුණුව සහ හොඳ පුරවැසියෙකු කිරීම මවුපියන්ගේ වගකීම වෙයි.
TEXT – ජීවන්ත ගුණවර්ධන
