ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ-ආර්ථික පරිවර්තනයේ කාන්තාවන්ගේ භූමිකාව කෙරෙහි ඇති අවධානය ඉහළ යමින් පවතී. කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය පවුලේම දියුණුවට පමණක් නොව, මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන සාධකයක් බවට පත්වී ඇත. ගෘහස්ථ නිෂ්පාදන, කුඩා ව්‍යාපාර, සේවා ක්ෂේත්‍ර හා නව නිර්මාණාත්මක ව්‍යාපාරයන්හි කාන්තාවන්ගේ ක්‍රියාකාරීභාවය දෘශ්‍යමය ලෙස ඉහළ යාම දැක්වෙයි. මෙම ප්‍රවණතාව නිසා පවුල් ආදායම ඉහළ යාමට පමණක් නොව ගම් මට්ටමේ ආර්ථිකය ශක්තිමත් කිරීම, දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම ආදී ප්‍රතිලාභ පවතී.
විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ කාන්තාවන් සවිබල ගැන්වීම, දිළිඳුකම පලවා හැරීම සහ ප්‍රාදේශීය රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් රජය විසින් නව ණය සහන වැඩසටහන් හඳුන්වා දී ඇත. බොහෝ කාන්තාවන් නිවෙසේ සිටම ව්‍යාපාර ආරම්භ කරමින් දරුවන්ගේ අධ්‍යාපනයට සහ පවුල් සුබසිද්ධියට ශක්තියක් ලබා දීමේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වූයේ මූල්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමේ අපහසුවයි. සාම්ප්‍රදායික බැංකු ක්‍රමවේදයන්ගෙන් නිර්මාණාත්මක කාන්තාවන්ගේ සිහින සැබෑ කර ගැනීම අමාරු විය.
මෙම අවශ්‍යතාව පිළිබඳව රජය දැඩි අවධානයක් දක්වා, කාන්තාවන්ට පහසුකම් සහ උපදෙස් ලබා දීමේ අරමුණින් විශේෂ ණය යෝජනාවක් හඳුන්වා දී ඇත. මෙය කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට පමණක් නොව, පවතින ව්‍යාපාර පුළුල් කිරීමටද අවශ්‍ය මඟපෙන්වීම් ලබා දීමේ ආකාරය සරල කර ඇත.
මෙම වැඩසටහන යටතේ එක් ව්‍යාපාරිකාවකට ලබා දිය හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 25 දක්වා වන අතර, පොලී අනුපාතය වසරකට 3–5% පමණක් වේ. ණය ලබා ගැනීමට, කාන්තාවන් විසින් පැහැදිලි ව්‍යාපාර සැලසුමක්, වෘත්තීය පුහුණු සහතික, පෙර පළපුරුද්ද සහ අවශ්‍ය ලේඛන බැංකු වෙත ඉදිරිපත් කළ යුතුය. බැංකු නිලධාරීන් විසින් ඉහත ලේඛන සූක්ෂ්ම පරීක්ෂාවෙන් පසුව, සුදුසුකම් සපුරන කාන්තාවන්ට ඉක්මනින් ණය මුදල් ලබා දේ.
මෑතකදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බොහෝ ව්‍යාපාර හා උපකරණ විනාශ වූ නිසා රජය විශේෂ ප්‍රතිසාධන සහන ක්‍රියාත්මක කර ඇත. හානි වූ ව්‍යාපාර නැවත ගොඩනඟා ගැනීමට, අලුත් උපකරණ මිලදී ගැනීමට සහ දැනට ඇති ණය ගෙවීම් සඳහා මාස කිහිපයක සහන කාල සීමාවක් ලබා දෙනු ලැබේ.
මෙම මූල්‍ය සහන වැඩසටහනට ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු රැසක් දායක වේ. මහජන බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා අනෙකුත් ප්‍රධාන බැංකු සහය ලබා දේ. කාන්තාවන්ට, ආසන්නතම ශාඛාවකට ගොස්, නිලධාරීන්ගෙන් උපදෙස් ලබා අයදුම්පත ඉදිරිපත් කිරීමට හැකිය.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රය, ඇඟලුම්, ආහාර නිෂ්පාදන, ගෘහස්ථ නිෂ්පාදන සහ සේවා ව්‍යාපාර සඳහා මෙම ණය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ. කාන්තාවන්ට නව උපකරණ මිලදී ගැනීම, ව්‍යාපාරික ස්ථානය අලුත්වැඩියා කිරීම, වෘත්තීය පුහුණු ලබා ගැනීම වැනි වියදම් සඳහා ද මුදල් වැය කළ හැකිය. නව තාක්ෂණය යොදා නවෝත්පාදන ව්‍යාපාර ආරම්භ කරන තරුණී කාන්තාවන් සඳහා ද ප්‍රමුඛතාවක් ඇත.
බොහෝ කාන්තාවන් නිල වශයෙන් ලියාපදිංචි නොවූ ව්‍යාපාර (සෙවනැලි ව්‍යාපාර) පවත්වාගෙන යන අතර නීතිමය ලියාපදිංචියෙන් රජයේ ආරක්ෂාව සහ පිළිගැනීම හිමි වේ. නිල වශයෙන් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාර වර්ධනය, විදේශ වෙළෙඳපොළ වෙත නිෂ්පාදන යොමු කිරීමේ අවස්ථා වැඩි වේ.
ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය කෙටි, සරල සහ පහසු ලෙස සැලසුම් කර ඇත. උපදේශන සේවාවන්, කුඩා මාසික වාරික ගෙවීම්, සහන කාල ලබා දීමේ පහසුකම් මෙහි විශේෂත්වයයි. කාන්තාවන්ගේ ව්‍යාපාර කළමනාකරණ, ගිණුම්කරණ හා වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීමේ පුහුණු වැඩසටහන් රට පුරා සංවිධානය වේ.
මෙම වැඩසටහන හරහා කාන්තාවන්ගේ ව්‍යාපාරික හැකියාවන් ශක්තිමත් වී පවුල් ආදායමත්, රටේ ආර්ථිකයත් සෞභාග්‍යය කරා මෙහෙයවිය හැකිය. රූපලාවණ්‍ය, ඇඟලුම් සහ ගෘහස්ථ නිෂ්පාදන ව්‍යාපාරවලින් අඩක් නව තාක්ෂණය සහිත ව්‍යාපාර ආරම්භ කිරීමට ද කාන්තාවන්ට අවස්ථාව ලැබේ.
දිරිය කාන්තාවක ලෙස ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට දැන් නිසි මඟක් සැපයී ඇත. නිසි සැලසුමක් සහ කැපවීමක් සමඟ බැංකු සහ රජයේ සහය යටතේ ඕනෑම අභියෝගයක් ජය ගනිමින් ශක්තිමත් ව්‍යාපාරික මාවතක ගමන් කිරීමට හැකිය. ඔබේ දක්ෂතාව ව්‍යාපාරයක් බවට පත් කර ලොව දිනා ගන්නා ව්‍යාපාරිකාවක වීමට අදම ඔබට අවස්ථාව ඇත.
TEXT – දුමින්ද කාරියවසම්
