Monday, March 2, 2026
Epaper
Home Highlightsඔබේ පෞරුෂය බැබළවීමට රහසක්

ඔබේ පෞරුෂය බැබළවීමට රහසක්

යෝගා මඟින් ඕරා වළල්ල ප්‍රබල කරන හැටි

by Shanaka Lakehouse

නූතන විද්‍යාව මෙන්ම අතීත ආධ්‍යාත්මික විද්‍යාව යන ද්විත්වයෙහිම මනා සුසංයෝගයක් පවතින “ඕරා” (Aura) හෙවත් මානව ප්‍රභාවලිය පිළිබඳව වර්තමාන සමාජය තුළ පවතින්නේ මහත් උනන්දුවකි. අප ජීවත් වන සමාජයේ ඇතැම් පුද්ගලයන් දෙස අපගේ නෙත් නිතැතින්ම යොමු වන්නේ ඔවුන් සතු සුවිශේෂී ආකර්ෂණය නිසාවෙනි. එහෙත් එම ආකර්ෂණය හුදෙක් බාහිර අලංකරණය හෝ නූතන විලාසිතා මතම පදනම් වූවක් නොවේ. ඒ පිටුපස ඇති සැබෑ රහස වන්නේ සෑම මනුෂ්‍යයකු වටාම පවතින, පියවි ඇසට අදෘශ්‍යමාන වූ සියුම් විද්‍යුත් චුම්භක ශක්ති ක්ෂේත්‍රයයි. පුද්ගලයකුගේ චරිත ස්වභාවය, කායික නීරෝගිභාවය සහ සිතුවිලිවල පාරිශුද්ධත්වය ලොවට විදහා දක්වන කැඩපතක් බඳු මෙම ප්‍රභාවලිය, අපගේ පෞරුෂය තීරණය කරන ප්‍රධානතම සාධකය වෙයි.

මෙහි වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙම ශක්ති වළල්ල බලගැන්වීම සඳහා “යෝග ශාස්ත්‍රය” සතු අසීමිත හැකියාවයි. යෝගා යනු හුදෙක් ශාරීරික නම්‍යශීලී බව උදෙසා සිදු කරනු ලබන ව්‍යායාම මාලාවක් පමණක් නොවන අතර, එය මනුෂ්‍යයාගේ ප්‍රාණමය කෝෂය පිරිසුදු කරමින් අභ්‍යන්තර ආධ්‍යාත්මික සුවය ඔස්සේ බාහිර ප්‍රභාවලිය දීප්තිමත් කරන ගැඹුරු විද්‍යාවකි. විශේෂයෙන්ම යෝගා අභ්‍යාස මඟින් සිරුරේ ශක්ති කේන්ද්‍ර උත්තේජනය කිරීම තුළින් පලුදු වූ ඕරා ශක්තිය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එය ප්‍රබල ආරක්ෂක වළල්ලක් ලෙස ගොඩනඟා ගැනීමටත් මඟ පෑදෙයි. වසර දහස් ගණනක් පැරණි යෝග සම්ප්‍රදාය තුළින් පෙන්වා දෙන මෙම ආශ්චර්යවත් ශක්ති පද්ධතිය සහ එය යෝගා අභ්‍යාස මඟින් බලගන්වන ආකාරය පිළිබඳව ප්‍රවීණ යෝග උපදේශකවරයකු සමඟ අප සිදු කළ විමසා බැලීම මෙසේය.

යෝගා කියන්නේ හුදෙක් ව්‍යායාම මාලාවක් විතරක්මද? නැත්නම් ඒක අපේ ඕරා එක පිරිසුදු කරන ආධ්‍යාත්මික මෙවලමක්ද?

යෝග පුරාණයට අනුව කෙනෙක් ශාරීරිකව සන්තෘෂ්ටිය ලබනකොට ඒ පුද්ගලයා ඉන්නේ මානසික සතෘෂ්ටියෙන්මයි. ඒ වගේ මානසික සතෘෂ්ටියක ඉන්නකොට ඕනෑම කෙනෙක් ආනන්දයයි ප්‍රඥාවයි එක්ක තමයි කාලය ගත කරන්නේ. ශාරීරික, මානසික වගේම ආධ්‍යාත්මික සුවය ලැබීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන සමාධියම අරමුණු කරගෙනයි ඒ පුද්ගලයා ඉන්නේ. ඒ පුද්ගලයා ආධ්‍යාත්මික සුවයෙන් යුතුව, ආතතියයි පීඩනයයි නැතිව දැහැමි මානසික සතෘෂ්ටියකින් ජීවත් වීම තුළින්ම වගේම නිවනම අරමුණු කරගන්නා අයගේ ශක්ති කදම්බය වර්ධනය වීමත් සිද්ධ වෙනවා. ලෙඩ රෝග වගේම පීඩනයන්ගෙන් නිදහස් වෙලා, සැනසිලිදායක වගේම නිවනම අරමුණු කරගත්තු සුවපත් ජීවිතයක් ගත කරන කෙනකුට තමන්ගේ ඕරාව සුබවාදීව තියාගන්න මේකෙන් ලොකු හැකියාවක් ලැබෙනවා.

අතීත භාරතීය යෝගීවරුන්ට සහ සෘෂිවරුන්ට තිබුණු ඒ මහා ප්‍රභාවලිය නිර්මාණය කරගන්න යෝගා උදවු වුණේ කොහොමද?

යෝගය ගැන කියවෙන අත්පොත වගේ තියෙන පතාංජලී යෝග සූත්‍රයට අනුව, නිවැරැදි ආසනවල ඉඳගෙන, නිවැරැදි විදියට හුස්ම පාලනය කරලා, සුබවාදී ඒ කියන්නේ ‘සාත්වික්’ කෑම වේලක් අරගෙන, තමන්ගේ සිතේ සුබවාදී සිතුවිලි ඇති කරගෙන, ලිහිල් වුණු ශාරීරික හා මානසික මට්ටමකින් ජීවත් වෙන යෝගියකුගේ හරි යෝගිනියකගේ හරි ‘ප්‍රාණමය කෝෂය’ සුබවාදීවයි පවතින්නේ. ශාරීරිකව වගේම මානසිකවත් සතෘෂ්ටියෙන් ජීවත් වන ඒ පුද්ගලයා හුස්ම අභ්‍යාසයි භාවනා ක්‍රමයි කරනකොට විඤ්ඤාණමය කෝෂය දියුණු කරගන්නවා. අව්‍යාජත්වයෙන් යුතුව රාග, ද්වේෂ, මෝහයන්ගෙන් ඈත් වෙලා මේ විදියට ජීවත් වෙද්දී ඒ පුද්ගලයාගේ ශරීරය වටා තියෙන ඕරා ශක්තිය පිරිසුදු වෙනවා. භාරතීය යෝගීන් සමාධියම අරමුණු කරගෙන චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව යෝග ආසනයි ප්‍රාණායාමයි (භාවනා) කරන නිසා ඒ පුද්ගලයා තුළ සුබවාදී වගේම දීප්තිමත් ඕරා ශක්තියක් පවතිනවා.

පලුදු වුණු ඕරා ශක්තියක් යළි සුවපත් කරන්න යෝගා අභ්‍යාස සමත් වෙන්නේ කොහොමද?

හටයෝග ග්‍රන්ථවල සරලව වගේම විස්තරාත්මකව කියන විදියට යෝගයේ පළමු පියවර තමයි නිවැරැදි ඉරියව්වයි ආසනයයි. නිවැරැදි ආසනයි ඉරියව්වලයි ඉන්නකොට ශාරීරික වගේම මානසික ලෙඩ රෝගවලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ශක්ති නාළිකා වගේම මානසික මධ්‍යස්ථාන සුබවාදීව උද්දීපනය කරනවා. ඒ හරහා මානසික පීඩනය, අසුබවාදී සිතුවිලි වගේම ලෙඩ රෝග ශරීරයෙන් නිදහස් කරනවා. ඕරා වළල්ලේ කඩතොලු, සිදුරු හරි පලුදු වීම් හරි තිබුණොත් යෝගාසන මඟින්:

ශරීරයේ ශක්ති අවහිරතා නැති කරලා ශක්ති නාළිකා උත්තේජනය කරනවා.

සුබවාදී ප්‍රාණය හෙවත් ඔක්සිජන්කරණය ශරීරයට ඇතුළු වෙලා පලුදු වුණු ශක්තීන් ආයෙත් ප්‍රතිස්ථාපනය කරනවා.

නිවැරැදි විදියට යෝගාසන කරනකොට ශරීරයේ තියෙන අසුබවාදී බව නැති වෙලා විෂ හරණය වෙන නිසා ශරීරය වටා තියෙන ඕරාවේ දීප්තියත් වැඩි වෙනවා.

ඕරා වළල්ලේ වර්ණ සහ ශක්තිය වර්ධනය කරන්න පුළුවන් විශේෂ යෝගා ක්‍රම තිබෙනවාද?

ඕරා වළල්ලේ ශක්ති මට්ටම පදනම් වෙන්නේ සප්ත චක්‍ර මතයි. සාමාන්‍ය කෙනෙක්ගේ මේ ශක්ති වළල්ල ශරීරයේ ඉඳලා සෙන්ටිමීටර 30-40ක් වගේ දුරකින් තිබුණත්, ශාරීරික මානසික හා ආධ්‍යාත්මික සුවය තියෙන පුද්ගලයාගේ මේ පරාසය ගොඩක් වැඩි වෙනවා. සරලවම කිව්වොත් මේ ඕරා වළල්ල කියන්නේ අපේම ආත්ම ප්‍රතිරූපණයක් වගේ දෙයක්. අපේ හිතේ වගේම විඤ්ඤාණයේ ඇති වෙන සුබවාදී හෝ අසුබවාදී සිතුවිලි ධාරාවන් නිසා වගේම ලෙඩ රෝග නිසා ඕරාවේ වර්ණයන් වෙනස් වෙනවා:

කහ පැහැය:

ආධ්‍යාත්මිකව ඉහළ තලවල ඉන්න පුද්ගලයාගේ ඕරාව ප්‍රභාස්වර කහ පාටයි.

රෝස පැහැය:

ආදරණීය හැඟීම්, සෙනෙහසයි දයාවයි.

තැඹිලි පැහැය:

නිර්භීත වගේම එඩිතර හැඟීම්.

කොළ පැහැය:

නීරෝගි වගේම සුවපත් බව.

රතු පැහැය:

කෝපය වගේම තරහව.

තද දම් පැහැය:

සන්සුන් බවයි ප්‍රඥාවයි.

දුඹුරු පැහැය:

රෝගී බව.

අඳුරු අළු පැහැය:

පසුතැවිල්ල වගේම වෛරය.

පියවි ඇසින් මේවා බලන්න බැරි වුණත් ආධ්‍යාත්මිකව ඉහළ තත්ත්වයක ඉන්න පුද්ගලයකුට මේවා පේනවා. ඒ නිසා සුබවාදී ඕරාවක් වෙනුවෙන් සූර්ය වන්දනාව ඇතුළු ඔයාලට කරන්න පුළුවන් හැම ආසනයක්ම වගේම ප්‍රාණයාම (භාවනා) ක්‍රම ගොඩක් සුදුසුයි.

යෝගා මඟින් ඕරා වළල්ල ප්‍රබල ‘ආරක්ෂක වැටක්’ බවට පත් කරගන්න පුළුවන්ද?

යෝග පුරාණයට, යෝග ප්‍රදීපිකාවට වගේම පතාංජලී යෝග සූත්‍රයට අනුවත් යෝග කියන්නේ ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික සුවපත්භාවයයි. යෝග ශාස්ත්‍රයට අනුව ප්‍රාණමය කෝෂය විදියට තියෙන ශක්ති ශරීරය ඇතුළෙන්මයි මේ ඕරා ශක්තිය හෙවත් අදෘශ්‍යමාන ආලෝක කදම්බය සුවපත් කරන්නේ. මේ ප්‍රාණමය ශක්තිය සුබවාදී කරගන්න නම් ඉරියව් වගේම ප්‍රාණයාම භාවනා ක්‍රම හරියටම කරන්න ඕනේ. නිරන්තරයෙන් යෝගයේ ජීවත් වන පුද්ගලයා සැබෑම යෝගියෙක් හරි යෝගිනියක් හරි වෙනවා. ඒ පුද්ගලයාට බාහිරින් එන අහිතකර බලපෑම්වලින් බේරෙන්න පුළුවන් ශක්තිමත් ආරක්ෂක වළල්ලක් මේ හරහා හැදෙනවා.

චිරං ජයතු!

 

TEXT – තුෂාණි රාජපක්ෂ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?