නිවර්තන කලාපීය පලතුරු අතර අඹ සුවිශේෂී ස්ථානයක් ගනියි. ඉන්දියාව සහ අග්නිදිග ආසියාව නිජබිම කරගත් අඹ ශාකය, අතීතයේ සිටම ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතී. මී අඹ, වලු අඹ, පෙට්ටි අඹ සහ ඇටඹ වැනි දේශීය ප්‍රභේද මෙන්ම බද්ධ කරන ලද විදේශීය ප්‍රභේද ද මෙරට බහුලව දක්නට ලැබේ. අඹ ශාකය සාමාන්‍යයෙන් වසරකට දෙවතාවක්, එනම් මාර්තු – ජූනි සහ සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවලදී ඵලදාව ලබා දෙයි.
දේශගුණික සාධක අනුව පහතරට, උඩරට සහ වියළි කලාපයේ අඹ හොඳින් වර්ධනය වුවද, නුවරඑළිය වැනි අධික ශීතල හෝ දැඩි වියළි ප්‍රදේශවල වර්ධනය සාර්ථක නොවේ. ලෝක වෙළෙඳපොළේ අඹ ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වන්නකි. මෙක්සිකෝව, තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවල් වාර්ෂිකව අඹ ටොන් මිලියන ගණනක් ලොව පුරා අපනයනය කරයි.
අඹ සතු ඖෂධීය වටිනාකම අතිමහත්ය. සිරුරේ අධික උෂ්ණත්වය සමනයට, ආමාශගත රෝග සහ පිත ශ්‍රාවය උත්තේජනයට අඹ ගුණදායක වේ. රුධිරය පිරිසිදු කිරීමට, සමේ නීරෝගි බව රැකගැනීමට මෙන්ම පාචනය වැනි රෝගී තත්ත්වයන්ට ද අඹ ප්‍රතිකාරයක් ලෙස භාවිත කෙරේ. කෙසේ වෙතත්, අඹ අධික ලෙස ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හෝ ශරීර බර වැඩි වීම සිදුවිය හැකිය. ඇතැම් පුද්ගලයන්ට සමේ ආසාත්මිකතා මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

අඹ අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය:
නැවුම් එළකිරි මිලිලීටර් 500
සැෆ්රන් ස්වල්පයක්
රස අනුව සීනි
මධ්‍යම ප්‍රමාණයේ අඹ ගෙඩි 5
විපින් ක්‍රීම් මිලිලීටර් 400
සාදාගන්නා ආකාරය:
එළකිරි, සීනි සහ සැෆ්රන් ලිප තබා විනාඩි 15 ක් පමණ රත් කර උකු වූ පසු ලිපෙන් ඉවත් කර නිවෙන්නට තබන්න. අඹ ගෙඩි කුඩා කැබලිවලට කපා ගෙන, එම අඹ කැබලි සහ උණු කරගත් කිරි මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු විපින් ක්‍රීම් හොඳින් බීට් කරගෙන එයට බ්ලෙන්ඩර් කරගත් අඹ මිශ්‍රණය එක් කරමින් හොඳින් කලවම් කරන්න. මෙය භාජනයකට දමා පැය 12 ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

මැන්ගෝ කේක්
අවශ්‍ය ද්‍රව්‍ය:
කොටු හැඩයට කපාගත් ඉදුණු අඹ ගෙඩියක්
පාන්පිටි ග්‍රෑම් 225
සීනි ග්‍රෑම් 200
බටර් ග්‍රෑම් 200
බිත්තර 3
අඹ ජූස් මිලිලීටර් 240
වැනිලා තේ හැන්දක්
බේකින් පවුඩර් තේ හැන්දක්
සාදාගන්නා ආකාරය:
පළමුව පාන්පිටි, බේකින් පවුඩර් සහ සීනි භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. පසුව බටර්, බිත්තර, වැනිලා සහ අඹ ජූස් එම මිශ්‍රණයටම එකතු කරගනිමින් විනාඩියක කාලයක් අඩු වේගයකින් බීට් කරන්න. මෙම මිශ්‍රණය හොඳින් කලවම් කරමින් බීට් කිරීමෙන් පසුව අවන් කිරීමට යොදා ගන්නා තැටියට මිශ්‍රණය දමා, කොටු හැඩයට කපාගත් අඹ කැබලි එයට උඩින් එක් කරගන්න. පසුව සෙල්සියස් අංශක 175ක උෂ්ණත්වයට විනාඩි 45ක් පමණ බේක් කරගන්න.

මැංගෝ ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉදුණු අඹ ගෙඩි 2
යෝගට් කප් 4
අයිස් කැට
කුරුඳු කුඩු
රස අනුව සීනි
වියළි මිදි සහ කජු
සාදාගන්නා ආකාරය:
අඹ කුඩා කැබලිවලට කපා ගන්න. පසුව යෝගට්, අයිස් කැට, කැබලි කරගත් අඹ සහ සීනි එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. අවසානයට එයට කුරුඳු කුඩු දමා මිශ්‍ර කර, ඒ මතට වියළි මිදි සහ කජු එක් කර පිළිගන්වන්න.
TEXT – තුෂාණි රාජපක්ෂ
