Monday, March 9, 2026
Epaper
Home Highlightsපොහොසත් රටක අබිමන ඇයයි

පොහොසත් රටක අබිමන ඇයයි

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

by Shanaka Lakehouse

ලෝක කාන්තා දිනය මාර්තු 8 වැනිදාට යෙදී තිබේ. ලෝකයේ පළමු වරට කාන්තා දිනයක් සමරා ඇත්තේ 1910 වසරේදීයි. එතැන් පටන් වසර 116ක කාලයක් කාන්තා දිනය ලොව උත්සවශ්‍රීයෙන් සැමරුවද කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් නිසියාකාරයෙන් හිමි වී තිබේද? වත්මන් රජය ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේද? ඒ සම්බන්ධව අදහස් දැක්වීමට වත්මන් කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ‘තරුණී’ අප සමඟ එක් වූවාය.

මෙවර කාන්තා දිනයේ තේමාව පැහැදිලි කළොත්…

මෙවර කාන්තා දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති තේමාව වන්නේ “සියලුම කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය” යන්නයි. එහෙත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඊට සමගාමීව මෙවර කාන්තා දිනය වෙනුවෙන් “පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙරමග” යනුවෙන් තේමාවක් නිර්මාණය කළා. එසේම ජාතික ජන බලවේගයත් රට තුළ දේශපාලන ගමන් මඟේ තීරණාත්මක බලවේගයක් වන කාන්තාවන් “ඇය නැගිටින විට – නැගිටිනවා රට” යන්න තේමා කරගනිමින් සමරනු ලබනවා. ඒ අනුව කාන්තාවන් සවිබල ගැන්වෙන විට රට සංවර්ධනය වන බව ඉන් අර්ථවත් වෙනවා.

වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාවන් සවිබල ගැන්වීමට යොදා ඇති වැඩපිළිවෙළ පැහැදිලි කළොත්…

ලෝකයේ පළමුවැනි වරට කාන්තා දිනය සමරන්නේ 1910 වසරේදී. 1910 සිට අද වන තුරු වසර 116ක් තිස්සේ ලොව ගැහැනුන් මුහුණ දෙන ප්‍රශ්නවල ගැඹුර සහ ස්වරූපය වෙනස් වී තිබෙනවා. ඒත් හැම ප්‍රශ්නයකම මූලය වෙනස් වෙලා නෑ. ඉතින් ඒ ප්‍රශ්නවල මූලය වෙනස් කිරීම සමාජ පරිවර්තනයකින් හැර ප්‍රතිසංස්කරණවලින් සිදු කළ නොහැකියි. එහිදී පොදුවේ ගත් කල ශ්‍රමය, බලය, ආර්ථිකය යන සාධක ගැහැනු සහ පිරිමි අතර බෙදා වෙන් කළ නොහැකියි. මේවා දෙපාර්ශ්වයටම පොදු සාධක. ඒ අනුව ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයම ආර්ථිකයට සමාන සහභාගීත්වයක් දැක්විය යුතුය යන්න අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම එහිදී උත්පාදනය වන ලාභයේ ප්‍රතිලාභ පිරිමින්ට වගේම ගැහැනුන්ටත් සමානව හිමි විය යුතුයි කියලත් අපි විශ්වාස කරනවා.

ඒත් අපේ රටේ ගැහැනුන් ශ්‍රමය වගුරමින්, සිය කාලය පිරිමින්ට වඩා දෙගුණයක් වැය කරමින් ආර්ථිකයට දායක වෙනවා. අපේ රටේ ගැහැනුන් රැකියාවේ නිරත වී නිවෙසට පැමිණි පසුවත් විවේකයකින් තොරව ගෙදර දොර වැඩ කටයුතුවල නියැළෙනවා. එවන් තත්ත්වයකදී ආර්ථික ප්‍රතිලාභ පිරිමින්ට සමානව ගැහැනුන්ට හිමි වෙනවාද යන්න ප්‍රශ්නාර්ථයක්. ඇත්තටම ලංකාවේ ආර්ථික දරිද්‍රතාවයේ වැඩි කොටසකට හිමිකම් කියන්නේ කාන්තාවන්. විශේෂයෙන්ම කම්කරු සහ පහළ ශ්‍රේණිවල රැකියාවේ නියුතු ගැහැනුන්ට ගෙවන්නේ පිරිමින්ට වඩා අඩු වැටුපක්. නිවාස අයිතිය නොමැති, කාන්තා ගෘහ මූලික පවුල් ලෙස තනි වූ, යුද්ධයෙන් පීඩා විඳි, ආන්තීකරණයට ලක් වූ කාන්තාවන් මේ සමාජයෙහි ආර්ථික ප්‍රතිලාභ නිසි අයුරින් භුක්ති විඳින්නේ නෑ.

ඉතින් වසර 116කට පෙර පැවැති සමාජයට වඩා දැන් සමාජය සංකීර්ණයි. ශ්‍රමය සූරා කෑම පමණක් නොව ලිංගික සූරා කෑමේද මාදිලිය සහ ගැඹුර වෙනස් වී තිබෙනවා. සයිබර් අවකාශය තුළ සූරා කෑමට ලක් වීම, අපහාසයට ලක් වීම ගැන ගැඹුරින් කතා කළ යුතුයි. ඒ නිසා අප රජයක් ලෙස කාන්තාවන්ට ලැබිය යුතු පිළිගැනීම, දේශපාලනිකව සවිබල ගැන්වීම, තීන්දු තීරණ ගන්නා තැන්වල වැඩි සහභාගීත්වය, ඔවුන්ට විවේකය සහ නිදහස ලබා දීම, පහසුකම් සැපයීම, ශ්‍රමයට නිසි ගරුත්වයක් ලැබෙන සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කරන බව කිව යුතුයි. සයිබර් අවකාශය, රැකියා ස්ථානය, පොදු ප්‍රවාහනය ඇතුළු මේ හැම අවකාශයකදීම ගැහැනිය සුරක්ෂිත වන්නේ ඒ වටපිටාව නිර්මාණය වුණාට පසුවයි.

අපේ රජය සහ අමාත්‍යාංශය ක්ෂේත්‍ර 3ක් ඔස්සේ මෙහිදී ක්‍රියාත්මක වෙනවා. ගැහැනිය ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ඉන් පළමුවැන්නයි. දෙවැන්න සමාජීය වශයෙන් ගැහැනිය සම්බන්ධව පවතින දෘෂ්ටිකෝණය පරිවර්තනය කිරීමයි. තෙවැන්න සුරක්ෂිත බව සම්බන්ධ නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමු බලාත්මක කිරීමයි. එහි ආර්ථික සවිබල ගැන්වීම යටතේ දැනට සියයට තිස් දෙකක් (32%) ක් ව පවතින කාන්තා ශ්‍රම බළකාය ඉහළ නැංවීමට ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා කාර්යාංශය යටතේ ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම කාන්තා කාර්ය සංවිධානයක් බැගින් පිහිටුවා තිබෙනවා. ඒවාට අඩු ආදායම්ලාභී, රැකියා විරහිත කාන්තාවන් ද ඇතුළත් කරගෙන ඒ හරහා ඔවුන්ට ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන්, ස්වයං රැකියා පුහුණුව, ප්‍රාග්ධන පහසුකම් සපයා ගැනීම උදෙසා ණය ආධාර ලබා දීම හරහා ඔවුන්ව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට කටයුතු කරනවා. සමාජ ආකල්ප දියුණු කිරීම මෙහි දෙවැන්නයි. එහිදී දේශපාලන තීන්දු තීරණ ලබා ගන්නා පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා, නගර සභා වැනි පළාත් පාලන ආයතන ඇතුළු දේශපාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන තිබෙනවා. ඒ සඳහා නායකත්ව පුහුණු වැඩසටහන්, දේශපාලන දැනුම ලබා දීම ආදියට ප්‍රමුඛත්වය ලබා දෙනවා.

කාන්තාවන්ට සුරක්ෂිතභාවය සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශක්තිමත් කිරීම සහ පවතින නීති බලාත්මක කිරීම මෙහි තෙවැන්නයි. කාන්තාවන් සහ ගැහැනු දරුවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා මෙහිදී ක්‍රියාත්මක වෙනවා. මේ අනුව ක්‍රියාත්මක වන අංගයක් වන 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාව හරහා හිංසනයට ලක් වන කාන්තාවන්ට නීතිමය සහ උපදේශන සේවාවන්හි සහය ලබා ගත හැකියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට නීති බලාත්මක කිරීම, ඒවායෙහි යම් යම් සංශෝධන සහිතව කාන්තාවන්ට සුරක්ෂිතව ජීවත් වීමේ ඉඩකඩ ඇති කිරීමද මෙහිදී අප බලාපොරොත්තු වෙනවා.

සයිබර් අවකාශය තුළ කාන්තාවන්ට අපහාස කිරීම්, ප්‍රචණ්ඩත්වය මුදා හැරීම, ලිංගික සූරා කෑම ආදී අපහරණයන් වැළැක්වීමට සයිබර් ආරක්ෂණ නීති සම්පාදනය කිරීම සහ පවතින යල් පැන ගිය නීති සංශෝධනය කිරීමටද බලාපොරොත්තු වෙනවා. කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධව පැමිණිලි කිරීමට විශේෂිත ඒකකයක් නිර්මාණය කිරීම, ඒවාට කාන්තා පොලිස් නිලධාරීන් සම්බන්ධ කර ගැනීම, පුද්ගලික විමර්ශන ආයතනවල සහාය ලබා ගැනීම ආදියද මෙහිදී සිදු වෙනවා.

පිරිමින් ඇතුළු සමාජය කාන්තාවන් දෙස බලන ආකල්ප වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදු විය යුතු නොවේද?

‘ගැහැනිය ද මනුෂ්‍යයෙකි’ යනු අපේ දැක්මයි. එහෙත් අපේ රටේ ගැහැනුන් යනු පිරිමින්ගෙන් යැපෙන්නියන් ලෙස සාම්ප්‍රදායික ආකල්පයක් තිබෙනවා. කාන්තාවන්, ගැහැනු ළමයි සුරක්ෂිත කළ යුතුයි. ඒ කාලයේ කාන්තා දින සැමරුම්වල තේමාවන් වුණේ “කාන්තාවන් සුරකිමු”, “ගැහැනුන් ළඳ බොළඳයි” වැනි ආකල්ප. ඒ වගේම “පිරිමියා සිංහයෙක් වැනිය, ගැහැනිය මුවපොව්වෙක් වැනිය” වගේ ආකල්පත් අප සමාජයේ තිබෙනවා. ඒ ආකල්ප තුළ තිබෙන්නේද ගැහැනිය වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම මිස අන් කිසිවක් නොවේ. ගැහැනිය යනු ගොදුරු කර ගත හැකි, යටත් කර හැකි අයෙක් යන අදහස ඒ සංකල්ප තුළ තිබෙනවා. ඒ වගේම “කන්න දෙනවා නම් පහරක් දෙකක් ගැහුවාට අවුලක් නෑ” වැනි සංකල්ප අප පවුල් සංස්ථාව තුළින් නිතර ඇසෙනවා. මවුපියන් සිය දියණිය විවාහ කර දෙන්නෙත් තමන්ගෙන් පස්සේ කවුරුන් හෝ ඇයව බලා ගන්න වුවමනාය යන සංකල්පයෙන්.

එහෙත් අප බලාපොරොත්තු වන්නේ මෙවන් ආකල්පවලින් තොර සමාජයක් ගොඩනැඟීමයි. ආර්ථිකය අතින් ශක්තිමත් ස්වාධීන ගැහැනියක් ගොඩනැඟීමෙන් පසුව තමුන්ගේ ජීවිතය බෙදා ගැනීමට අවශ්‍ය ගෞරවනීය විවාහයක් ගැහැනියට හිමි විය යුතුයි යන සංකල්පය සහිත සමාජයක් ගොඩනැඟීම අපගේ අරමුණයි.

එය අධ්‍යාපනය හරහා සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. වර්තමාන ළමා පරපුර ඒ හරහා දැනුම්වත් කිරීම මඟින් අනාගතයේ කාන්තාවන්ට ගරු කරන සමාජයක් ගොඩනැඟීම අපේ අරමුණක්. කිසිදු ගැහැනියකට දුර්වලයෙක් යැයි අනුකම්පාව අවශ්‍ය නොවන අතර ඇය මනුෂ්‍යයෙක් ලෙස පිළිගන්නා සමාජයක් ගොඩනැඟීම හරහා ගැහැනියගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන සමාජයක් නිසැකවම ගොඩනැඟිය හැකියි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් බාලිකාවන් ඇතුළු කාන්තාවන් බේරා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවාද?

දරුවන් බිහි කිරීම කාන්තාවකට විශ්වයෙන් පැවරුණු වගකීමක්. එහෙත් අවුරුදු 12-13 වැනි වයස්වල සිට පාසල් බාලිකාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ශාරීරික සහ මානසිකව ඇති වන විකෘතිතා නිසා එය ඉදිරි පරපුර විනාශ කිරීමට හේතු වෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කරන මවකගේ කුසෙන් බිහි වන්නේ සංකූලතා සහිත දරුවන්. “ජීවිතය විඳීම” කියන සංකල්පය වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා බොහෝ දරුවන් නව යොවුන් අවධියේදී මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිහිටි පරපුර සහ ගුරුවරුන් දැනුවත් කිරීම, අධ්‍යාපනය හරහා දරුවන් දැනුවත් කිරීම හරහා මේ විනාශයෙන් දරු පරපුර මුදා ගැනීමට රජය වගකීමෙන් කටයුතු කරනවා.

කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයක් ලෙස වැඩපිළිවෙළක් තිබෙනවාද?

මේ වන විට අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 12ට වැඩි පාසල් දැරියන්ට පාසල් මට්ටමින් නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දීමට කටයුතු කර තිබෙනවා. අනතුරුව ඉන් එහාට ගොස් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන ද්‍රව්‍යවලට අය කරන බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සමඟ අප අමාත්‍යාංශය දැනට සාකච්ඡා කරමින් සිටිනවා.

ලංකාවේ බාලිකා පාසල් ඇතුළු සෑම පාසලකටම පාහේ සනීපාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වැසිකිළි, ජල පහසුකම් ලබා දීම පිළිබඳවද අප දැඩි අවධානය යොමු කරමින් සිටිනවා. එහි පවතින ගැටලුද කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්. මේවා විසඳාගෙන ඒ පහසුකම් දියුණු කර ගැනීමට අප කටයුතු කරනවා.

TEXT – ආර්. පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?