වමනය නවතන ඩොම්පෙරිඩෝන්
වමනයක් හෝ ඔක්කාරයක් දැනුණු සැණින් අප කාටත් මතක් වෙන්නේ ‘ඩොම්පෙරිඩෝන්’ පෙත්තයි. ඒ තරමටම අද වන විට සෑම නිවෙසකම පාහේ ප්‍රථමාධාරයක් ලෙස මේ ඖෂධය භාවිතයට ගැනේ. බොහෝ දෙනෙක් වෛද්‍ය උපදෙස් පවා නොමැතිව යෙමකුට අපහසුවක් වූ විට මෙය ලබාදීමට හුරු වී සිටිති. වි
ශේෂයෙන්ම නිවෙසක ප්‍රධානියා ලෙස කටයුතු කරන තරුණී ඔබ, ඔබේ පවුලේ සාමාජිකයකුට ඖෂධ ලබා දීමේදී එහි ගු ණ මෙන්ම අගුණ පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. අද අපි කතා කරන්නේ කවුරුත් දන්නා ඩොම්පෙරිඩෝන් පෙත්ත ගැන ඔබ නොදන්නා පැත්ත පිළිබඳවයි.
මොකක්ද මේ ඩොම්පෙරිඩෝන්?
ඩොම්පෙරිඩෝන් යනු ඩොපමීන් D₂ ප්‍රතිග්‍රාහක විරෝධකයක් ලෙස ක්‍රියා කරන, වෛද්‍ය ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන ඖෂධයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වමනය සහ වමනයට පෙර ඇතිවන උදර අසහනය පාලනය කිරීමට අමතරව, ආහාර නාළ පද්ධතියේ චලනය (Gastrointestinal Motility) වැඩි කිරීමට ඇති හැකියාවයි. මෙටොක්ලෝප්‍රමයිඩ් වැනි අනෙකුත් ඩොපමීන් නාශක ඖෂධ මෙන් නොව, ඩොම්පෙරිඩෝන් මධ්‍යම ස්නායු පද්ධතියට (CNS) ඇතුළු වන්නේ ඉතා අඩුවෙනි. මේ නිසා මොළය ආශ්‍රිත අතුරු ආබාධ අවම වීම මෙහි ඇති ප්‍රධාන වාසියකි.
විශේෂයෙන්ම පාර්කින්සන් රෝගීන් වැනි නිවැරැදි ස්නායු පාලනයක් අවශ්‍ය අය සඳහා වමනය පාලනය කිරීමට මෙය ආරක්ෂිත විකල්පයකි. මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් නොකර ශරීරයේ පර්යන්ත පද්ධතිය මත පමණක් ක්‍රියා කිරීම මෙහි ඇති සුවිශේෂී ගුණයයි.
භාවිත කළ යුත්තේ කෙසේද?
ඩොම්පෙරිඩෝන් පෙත්තක් මුඛයෙන් ලබාගත් පසු එය වේගයෙන් අවශෝෂණය වේ. එහෙත් අක්මාව තුළ සිදුවන ක්‍රියාවලියක් නිසා එහි උපරිම ප්‍රතිඵල ලැබීමට නම් ආහාරයට මිනිත්තු 15-30කට පෙර ලබා ගැනීම වඩාත් සුදුසුය.
ඔබ ආහාර ගත් පසුව මෙය ලබා ගන්නේ නම් එහි ක්‍රියාකාරිත්වය අඩාළ විය හැකිය. රුධිරයේ උපරිම ඖෂධ මට්ටම මිනිත්තු 30–60 අතර කාලයකදී ලැබෙන බැවින් නියමිත වේලාවට එය ලබා ගැනීම වැදගත් වේ.
කිරි දෙන මවුවරුන්ට සහ ගර්භීණී අයට සුදුසුද?
බොහෝ මවුවරුන් තම කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට (Galactagogue) ලෙස මෙම ඖෂධය භාවිත කිරීමට පෙලඹෙති. ඩොම්පෙරිඩෝන් මඟින් ෙප්‍රාලැක්ටින් හෝමෝනය ඉහළ දමන නිසා කිරි උනන බව සැබෑවක් වුවද, එය තාවකාලික විසඳුමක් පමණි. වෛද්‍ය විද්‍යාත්මකව මෙය කිරි වැඩි කිරීමට නිර්දේශ කරන්නේ නැත. මන්ද, එමඟින් මවගේ හෘද ස්පන්දන වේගය වෙනස් වීම වැනි බරපතළ අවදානම් ඇති විය හැකි බැවිනි.
එමෙන්ම ගර්භිණී සමයේදී ඇතිවන වමනය පාලනයටද මෙය පළමු විකල්පය ලෙස භාවිත නොකරයි. වෙනත් කිසිදු ඖෂධයකින් සහනයක් නොලැබෙන අවස්ථාවක පමණක් වෛද්‍යවරෙයකුගේ දැඩි අධීක්ෂණය යටතේ මෙය ලබා දිය හැකිය.
මාත්‍රාව සහ හෘද රෝග අවදානම
අද සමාජයේ බොහෝ දෙනෙක් තමන්ට රිසි සේ මාත්‍රාව තීරණය කිරීමට පෙලඹෙන්නේ එහි ඇති අවදානම නොදැනයි. ඩොම්පෙරිඩෝන් මාත්‍රාව ඉක්මවා යාම හෘදයේ QT පරතරය (QT Interval) වෙනස් වීමටත්, එමඟින් හදිසි හෘදයාබාධ ඇති වීමටත් හේතු විය හැකිය.
වැඩිහිටියන්: දිනකට උපරිම 30 mg (10 mg පෙති 3ක්) පමණි.
දරුවන්: දරුවන්ට ලබා දීමේදී ශරීර බර අනුව මාත්‍රාව ගණනය කළ යුතුය. සාමාන්‍යයෙන් 0.2–0.4 mg/kg ප්‍රමාණයක් දිනකට තුන් වරක් ලබා දේ. දරුවන්ට මාත්‍රාව මැන ගැනීමට පහසු වන ලෙස සිරප් වර්ගය භාවිත කිරීම වඩාත් උචිතය.
විශේෂ රෝගී තත්ත්වයන් ඇති අය සැලකිලිමත් වන්න
ඔබේ පවුලේ අයකු දියවැඩියාව, අක්මා රෝග හෝ වකුගඩු ආබාධවලින් පෙළෙන්නේ නම් ඩොම්පෙරිඩෝන් ලබා දීමේදී වඩාත් පරීක්ෂාකාරී විය යුතුය.
දියවැඩියාව:
ආමාශය හිස් වීම ප්‍රමාද වන රෝගීන්ට මෙය සහනයක් වුවද, රුධිරයේ සීනි මට්ටම වෙනස් වීමට ඉඩ ඇත.
අක්මා රෝග:
අක්මාවේ දැඩි ආබාධ ඇති විට ඖෂධය ශරීරයෙන් ඉවත් වීම ප්‍රමාද වී රුධිරයේ ඖෂධ මට්ටම ඉහළ යා හැක. මෙය හදවතට පලුදු ඇති කළ හැකිය.
වකුගඩු රෝග:
වකුගඩු දුර්වල වූ විට ශරීරයේ ඉලෙක්ට්‍රොලයිට් සමතුලිතතාව බිඳී යන අතර, එවැනි අය ඩොම්පෙරිඩෝන් ගැනීමේදී මාත්‍රාව අඩු කිරීම අනිවාර්ය වේ.
අධික මාත්‍රාවක් වුවහොත්?
නොදැනුවත්ව හෝ ඖෂධය වැඩිපුර ශරීරගත වුවහොත් අධික නිදිමත, මාංශ පේශි තද වීම හෝ අසාමාන්‍ය චලනයන් ඇති විය හැකිය. විශේෂයෙන් දරුවන් තුළ මෙවැනි තත්ත්වයන් ශරීරයේ ක්‍රියාකාරිත්වය බිඳවැටෙන්නේ දැයි සැක මතු කරයි. එවැනි අවස්ථාවක වහාම රෝහල් ගත වීම අත්‍යවශ්‍ය වේ.
ඩොම්පෙරිඩෝන් යනු ඉතා හොඳ ඖෂධයක් වුවද, එය නිසි ලෙස සහ නියමිත මාත්‍රාවෙන් භාවිත නොකළහොත් යහපතට වඩා අයහපත සිදු විය හැකිය. එබැවින් මින් ඉදිරියට ඕනෑම ඖෂධයක් ලබා ගැනීමට පෙර ඵයින් සිදුවන බලපෑම ගැන සිතන්න. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඔබේත්, ඔබේ පවුලේත් සෞඛ්‍යය ගොඩනඟා ගැනීමට ඔබට හැකි වනු ඇත.
TEXT – විදුමිණි දිසාකරුණා
