Monday, March 9, 2026
Epaper
Home Beautyප්‍රංශයෙන් හමා එන සුවඳ විලවුන් කලාවේ රහස්

ප්‍රංශයෙන් හමා එන සුවඳ විලවුන් කලාවේ රහස්

by Shanaka Lakehouse

ඔබේ පෞරුෂය සුවඳවත් කරගන්න ලෝකයේ සුවඳ විලවුන්වල අගනුවර ලෙස විරුදාවලිය ලත් ප්‍රංශයේ ‘ග්‍රාස්’ (Grasse) නගරය, සැබවින්ම සුවඳින් පිරුණු පාරාදීසයකි. එහෙත්, මෙම සුවඳ විලවුන් කලාව ප්‍රංශය තුළ මෙතරම් ජනප්‍රිය වීමට පාදක වූයේ එතරම් සුවඳවත් කතාවක් නම් නොවේ. අතීත ප්‍රංශයේ රජවරුන් සහ කුමාරිකාවන් දිය නෑමට එතරම් කැමැති වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරෙන් නික්මෙන අප්‍රසන්න ගන්ධය මකා ගැනීමට ඔවුහු සුවඳ විලවුන් අධික ලෙස භාවිත කිරීමට හුරු වූහ. එදා ධනවත් රජ පවුල්වලට පමණක් සීමා වූ මෙම සුවඳ විලවුන් කලාව, අද වන විට ලෝකයේ ඕනෑම යමකුට තම පෞරුෂය ඉස්මතු කර ගැනීමට ඇති ප්‍රබලතම මෙවලම බවට පත්ව තිබේ.

සුවඳ විලවුන් ලොවේ ‘නහය’ (The Nose)

ප්‍රංශයේ සුවඳ විලවුන් නිපදවන ශිල්පීන් හඳුන්වන්නේ ‘නෝස්’ (The Nose) එසේත් නැතිනම් ‘නහය’ යන නමිනි. මෙය ඉතා ගෞරවනීය නාමයකි. මන්ද, මෙම ශිල්පීන්ට සුවඳ වර්ග දහස් ගණනක් එකිනෙක වෙන් කර හඳුනාගැනීමේ අසිරිමත් හැකියාවක් පවතී. එකම සුවඳ විලවුන් වර්ගයක් නිර්මාණශීලිව නිපදවීම සඳහා මල්, මුල් සහ පත්‍ර වර්ග සිය ගණනක් මුසු කරනු ලබයි. එය හරියටම මියුරු සංගීත නිර්මාණයක් මෙන් ඉතා සියුම් කාර්යයකි. ප්‍රංශ වැසියන් විශ්වාස කරන්නේ සුවඳ විලවුන් යනු පුද්ගලයකුගේ පෞරුෂය ලෝකයට පෙන්වන කැඩපතක් බවයි. විශේෂයෙන්ම අද කාලයේ තරුණ පිරිස තමන්ට අනන්‍ය වූ සුවඳක් තෝරා ගැනීමට උනන්දු වන්නේ එම නිසාවෙනි.


සුවඳ විලවුන් භාවිතයේ නිවැරදි කලාව

සුවඳ විලවුන් භාවිත කිරීම ද එක්තරා අන්දමක කලාවකි. අපේ රටේ බොහෝ දෙනකු සුවඳ විලවුන් මුළු සිරුර පුරාම තවරා ගැනීමට පෙලඹෙන්නේ එහි නියම ක්‍රමවේදය නොදැනයි. එහෙත් ප්‍රංශ කලාවට අනුව, සුවඳ විලවුන් තැවරිය යුත්තේ සිරුරේ ස්පන්දනය දැනෙන ස්ථානවල පමණි.

මැණික් කටුව, කන් පෙත්තට පිටුපස ප්‍රදේශය සහ බෙල්ලේ දෙපැත්ත වැනි ස්ථාන ඒ සඳහා වඩාත් සුදුසු වේ. ශරීරයේ පවතින උණුසුම සමඟ එම සුවඳ මුළු දවස පුරාම ඉතා මෘදු ලෙස පරිසරයට මුදා හැරේ. මෙලෙස ක්‍රමානුකූලව සුවඳ විලවුන් ගැල්වීමෙන් ඔබේ ආකර්ෂණය වැඩි වන අතර, අන් අය අතර ඔබේ පැවැත්ම කැපී පෙනෙනු ඇත.

මනස සුවපත් කරන සුවඳක බලය

සුවඳ විලවුන්වලට අපේ මානසික මට්ටම පවා උසස් කිරීමට ඇති හැකියාව පුදුමසහගතය. නිදසුනක් ලෙස, ‘ලැවෙන්ඩර්’ සුවඳට මනසේ පවතින පීඩනය අවම කර සන්සුන් බවක් ලබා දිය හැකිය. ඔබ නිතරම මානසික පීඩනයෙන් පෙළෙන අයකු නම්, ලැවෙන්ඩර් සුවඳැති සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගැනීම වඩාත් උචිතය. එමෙන්ම ‘ලෙමන්’ හෝ ‘ඔරේන්ජ්’ වැනි පලතුරු සුවඳ සිරුරට සහ සිතට නව ජවයක් සහ ශක්තියක් ලබා දෙයි.

ගෘහිණියක් ලෙස ඔබ දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන විට, සිතේ ඇති වන විඩාව නිවා ගැනීමට ඔබ කැමැති සුවඳක් සහිත සබන් වර්ගයකින් හෝ සුවඳ විලවුන් ස්වල්පයකින් ලැබෙන සහනය ඉමහත්ය. එය ඔබේ හිතේ තියෙන නොසන්සුන් බව පලවා හැරීමට උපකාරී වේ.

පිරිසුදුකම සහ ආත්ම විශ්වාසය

ප්‍රංශ සුවඳ විලවුන් කලාවෙන් අප උගත යුතු වටිනාම පාඩම වන්නේ නිවැරදි පිරිසුදුකම සහ පිළිවෙළයි. සිරුරේ පවතින අප්‍රසන්න ගන්ධයන් වසන් කිරීමට වඩා, සිරුර පිරිසුදුව තබාගෙන තමන්ට ගැළපෙන සුවඳක් පාවිච්චි කිරීමෙන් ආත්ම විශ්වාසය ගොඩනඟා ගත හැකිය.

විශේෂයෙන්ම රැකියාවකට යන බිරියක තම රැකියාවේ ස්වභාවයට ගැළපෙන පරිදි මෘදු සුවඳක් තෝරාගත යුතුය. උත්සව අවස්ථාවකට සහභාගී වන විට මීට වඩා තරමක් ප්‍රබල සුවඳක් භාවිත කිරීමෙන් ඔබේ පෞරුෂය තවදුරටත් ඉස්මතු කරගත හැකිය. මෙලෙස අවස්ථාවට උචිත ලෙස සුවඳ තෝරා ගැනීමට ඔබ පෙලඹෙන්නේ නම්, ඔබ යන එන ඕනෑම ස්ථානයක ගෞරවයක් ඇති වේ.

ජීවිතයත් විලවුන් බෝතලයක් වැනි ය. එහි ඇති වටිනාකම ලොවට දැනෙන්නේ එය විවෘත කළහොත් පමණි. තාවකාලික අලංකාරයට වඩා පිරිසුදුකම සහ මෘදු සුවඳක් ඔබේ ජීවිතයේ කොටසක් කරගන්න. ඔබ තුළ ඇති ගුණාංග සුවඳක් සේ ලොවට විහිදුවන්න. එතැන් පටන් ඔබ යන එන හැම තැනකම ප්‍රංශයේ ග්‍රාස් නගරයේ මෙන් සුන්දර සුවඳක් පැතිරෙනු නොඅනුමානය. පිරිසුදුකමෙන් හා සුවඳින් සන්නද්ධ වූ විට, ඔබේ ගමනට ඇති කිසිදු බාධාවකින් ඔබව අඩාළ කළ නොහැකි වනු ඇත.

 

TEXT – තුෂාණි රාජපක්ෂ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?