මධ්‍යම අමෙරිකාව නිජබිම කරගත් චියා ඇට, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද සෞඛ්‍යසම්පන්න දිවි
යකට හුරු වූවන් අතර බෙහෙවින් ජනප්‍රියය. මෙහි අඩංගු ඔමේගා-3, තන්තු සහ ප්‍රෝටීන් නිසා සිරුරේ බර අඩු කර ගැනීමටත්, හදවතේ නීරෝගි බව රැක ගැනීමටත් මහඟු පිටුවහලක් ලැබේ.
විශේෂයෙන්ම තරුණ පෙනුම සහ සමේ පැහැපත් බව රැක ගැනීමට මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය උපකාරී වේ.
මෙම බීජ ජලයේ පොඟවා ගත් විට ජෙලි වැනි ස්වභාවයක් ගන්නා අතර, එමඟින් කුසගින්න පාලනය කර සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරයි. කෙසේ වෙතත්, මෙය පරිභෝජනය කිරීමේදී නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. චියා ඇට වියළිව ආහාරයට ගැනීමෙන් වැළකී, වෛද්‍යවරයකුගේ උපදෙස් මත හෝ මිනිත්තු 15-20ක් දියරයක පොඟවා භාවිත කිරීම සුදුසුය. කෙඳි සහිත බව ඉහළ බැවින් සිරුරේ ක්‍රියාකාරීත්වය අඩාළ නොවීමට අවශ්‍ය තරම් ජලය පානය කිරීමට ද වගබලා ගත යුතුය.

චියා එනර්ජි බෝල්ස් Chia Energy Balls
අවශ්‍ය ද්‍රව්‍ය:
චියා ඇට මේස හැඳි 2ක්
පොඩි කරගත් රටඉඳි කෝප්ප 1/2ක්
ඕට්ස් (Oats) කෝප්ප 1/2ක්
කජු හෝ රටකජු කැබලි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
සියලුම ද්‍රව්‍ය එකට දමා හොඳින් අනා ගන්න. පසුව කුඩා බෝල සාදා ශීතකරණයේ තබන්න. දරුවන්ට මෙන්ම ව්‍යායාම කරන අයට මෙය ගුණදායක මෙන්ම ක්ෂණික ශක්තිය ලබා දෙන රසවත් කෙටි කෑමකි.

චියා ඇට මිශ්‍ර පලතුරු යුෂ
අවශ්‍ය ද්‍රව්‍ය
ඇපල් හෝ දොඩම් යුෂ වීදුරුවක්
පොඟවා ගත් චියා ඇට මේස හැන්දක්
අයිස් කැට කිහිපයක්
සාදාගන්නා ආකාරය
ඔබ කැමැති ඕනෑම පලතුරු යුෂ වීදුරුවකට කලින් පොඟවා ගත් චියා ඇට එකතු කර හොඳින් කලවම් කරන්න. මෙය සාමාන්‍ය පලතුරු පානයකට වඩා වැඩි පෝෂණයක් සහ “Crunchy” ගතියක් ලබා දෙයි.

චියා ඕවර්නයිට් ඕට්ස් Chia Overnight Oats
අවශ්‍ය ද්‍රව්‍ය:
චියා ඇට මේස හැන්දක්
ඕට්ස් කෝප්ප 1/2ක්
කිරි කෝප්ප 1ක්
කුරුඳු කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
රාත්‍රියේදී භාජනයකට මේ සියල්ල දමා කලවම් කර වසා ශීතකරණයේ තබන්න. පසුදා උදෑසන වන විට චියා ඇට සහ ඕට්ස් කිරි උරාගෙන උකු වී පවතී. උදෑසන උයන්න වෙලාවක් නැති අයට මෙය සෞඛ්‍යසම්පන්නම විසඳුමයි.

චියා සහ යෝගට් Chia & Yoghurt
අවශ්‍ය ද්‍රව්‍ය
පොඟවා ගත් චියා ඇට මේස හැඳි 2ක්
නැවුම් යෝගට් කෝප්පයක්
ඕට්ස් හෝ කොර්න් ෆ්ලේක්ස් ස්වල්පයක්
කැමැති පලතුරු වර්ග කිහිපයක්
සාදාගන්නා ආකාරය
වීදුරුවක් ගෙන එහි පතුලට යෝගට් තට්ටුවක් දමන්න. ඒ මතට පොඟවා ගත් චියා ඇට තට්ටුවක් සහ පලතුරු කැබලි තට්ටුවක් බැගින් මාරුවෙන් මාරුවට දමන්න. අවසානයට උඩින් ඕට්ස් හෝ කොර්න් ෆ්ලේක්ස් ඉස පිළිගන්වන්න. මෙය හරිම ආකර්ෂණීය පෙනුමක් ඇති උදෑසන ආහාරයකි.
TEXT – තුෂාණි රාජපක්ෂ
