Monday, March 16, 2026
Epaper
Home Highlightsසැබෑ ආදරය ජය ගත් මන්දනා දේවරකොණ්ඩාගේ ප්‍රේම ගීතය

සැබෑ ආදරය ජය ගත් මන්දනා දේවරකොණ්ඩාගේ ප්‍රේම ගීතය

by Shanaka Lakehouse

ප්‍රේමය කියන්නේ එකිනෙකා දෙස බලමින් ඉන්න එක නොව, එකම දිශාවකට එකට බැලීමයි. මෙය ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රේමය ගැන කියැවෙන ප්‍රසිද්ධ කියමනක්. කාලයක් සිය ප්‍රේමය රහසක් කර ගෙන උන්නු ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි රශ්මිකා මන්දනාත් සිය ජීවිතයේ එකම දිශාවකට එකට බැලිය හැකි සොඳුරු පිරිමියෙක් සිය යුග දිවිය රසවත් කරන්නට තෝරාගෙන. ඇය සහ ඔහු පසුගිය පෙබරවාරි විසි හය වැනිදා එකිනෙකා අතිනත ගත්තේ සිය ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැනක් දෙමින්. ඇය සිය සහකරුවා ලෙස තෝරා ගෙන තිබුණෙත් දකුණු ඉන්දීය නළු විජය දේවරකොණ්ඩාව. ඉතින් අප කවුරුත් ආදරවන්තයන්ගේ මාසය ලෙස හඳුන්වන ආදරණීය පෙබරවාරියේ රශ්මිකා මන්දනා සහ විජය දේවරකොණ්ඩා එකිනෙකා අතිනත ගත්තේ ප්‍රේමණීය පෙබරවාරියට සැබෑ අරුතක් එක් කරමින්.

ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම අවධානය දිනා ගත් මෙම විවාහ මංගල්‍යය නම් කර තිබුණේ “ද වෙඩින් ඔෆ් විරෝෂ්” නමින්. සිය සිනමා රසිකයන් විසින් ඔවුන් දෙදෙනාගේ නම් භාවිත කරමින් ඇමතූ ආදරණීය ආමන්ත්‍රණය වන විරෝෂ් නාමය මෙම විවාහ මංගල්‍යයට යොදා ගෙන තිබීම කැපී පෙනෙන කරුණක්. එය තමන්ව හදවතෙහි දරා සිටින රසිකයන්ට ගෞරවයක් දෙනු පිණිස කළ නම් කිරීමක් බවද වැඩිදුරටත් සඳහන්. රාජාස්ථාන් නුවර උදායිපූර් අයි.ටී.සී. මෙමන්ටෝස් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම විවාහ මංගල්‍යයට පවුලේ සහ සිය සිනමා ක්ෂේත්‍රයේ සමීපතමයන්ට පමණක් ඇරයුම් කර තිබීමද විශේෂත්වයක්.

අද වන විට සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනූ නිළියක් වුණත් මන්දනාගේ ළමා කාලය ගෙවෙන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. එක්දහස් නවසිය අනූ හයේ අප්‍රේල් පස් වැනිදා කර්ණාටක ප්‍රාන්තයේ විරාජ්පෙට්හි ඇය උපත ලබනවා. ඇගේ මව ගෘහිණියක් වූ අතර පියා කෝපි වත්තක් සහ කුඩා උත්සව ශාලාවක් හිමි සුළු ව්‍යාපාරිකයෙක්. ඇගේ පියාගේ ව්‍යාපාර එතරම් ලාභ නොලැබූ බවත් එකල කුලී නිවෙස්වල දිවි ගෙවමින් දුෂ්කර දිවියක් ගෙවූ බවත් රශ්මිකා වරෙක සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබුණා. එවන් දහසක් දුෂ්කරතා මැද වුවද සිය ඉගෙනුම් කටයුතු නොපසුබටව සිදු කළ මන්දනා වයස අවුරුදු දහ අට පසු කරන විට උපාධි තුනක් සමඟ ඉහළ අධ්‍යාපනයකට හිමිකම් කීම කැපී පෙනෙන කරුණක්.

ඒ වගේම දෙදහස් දහහතර වසරේදී කර්ණාටක ප්‍රාන්තයේ “ද ටයිම්ස් ඔෆ් ඉන්දියා” අනුග්‍රහයෙන් පැවැත්වූ “ක්ලීන් ඇන්ඩ් ක්ලියර් ෆ්‍රෙෂ් ෆේස්” හි පළමු ස්ථානයද ඇය හිමි කර ගන්නවා. අනතුරුව ඈ ක්ලීන් ඇන්ඩ් ක්ලියර්හි සන්නාම තානාපතිනිය ලෙස වැඩ භාර ගන්නා විට ඇය 18 වැනි විය නොඉක්මවූ යෞවනියක්.

මෙහි දැන්වීම් රැසක නිරූපිකාවක ලෙස කටයුතු කරන මන්දනාට, රක්ෂිත් ෂෙට්ටි නම් නළුවා මුණ ගැසෙන්නේ මේ අතරතුරයි. ඔහු කන්නඩ සිනමාවේ දක්ෂ නළුවෙක් ලෙස ඒ වන විටත් ජනාදරයට පත් වූ චරිතයක්. ඔහු සම නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතය රඟ දැක්වූ ‘කිරික් පාටි’ චිත්‍රපටයේ රංගනයට රශ්මිකාට ඇරයුම් කරන්නේ යටි සිතේ හෙළි නොකළ බලාපොරොත්තුවක් සඟවාගෙන. රශ්මිකා ඒ ඇරයුම භාර ගන්නේ ඉතාම සතුටින්. ඒ අනුව කන්නඩ සිනමාවෙන් ඉන්දීය සිනමාවට ප්‍රවේශ වන්නට මන්දනාට අවස්ථාව හිමි වෙනවා.

ඒ අනුව මෙහි රූගත කිරීම් අතර රක්ෂිත් ෂෙට්ටි, මන්දනාට තවත් ඇරයුමක් ගෙන එනවා. ඒ අනුව රශ්මිකා මන්දනාට ප්‍රේමයේ දොරගුලු විවර වෙනවා. රක්ෂිත්ගේ ප්‍රේමණීය ඇරයුමට කැමැත්ත පළ කරන මන්දනා දෙදහස් දහහත වසරේදී විවාහ ගිවිස ගන්නේ දෙපාර්ශ්වයේම ඥාතීන්ගේ ආශීර්වාද මැදින්. ඒ වන විටත් රශ්මිකා මන්දනා කන්නඩ සිනමාවේ චිත්‍රපට දෙකක රඟ දක්වමින් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියා.

ඒ ජනප්‍රියත්වය නිසාම කර්ණාටක සිනමාවේ ආකර්ෂණීයම නිළිය බවට පත් වන්නේ සිනමාවට ප්‍රවේශ වී දෙවසරක් ගෙවෙන්නට පෙරයි. ඇය මේ කාලයේදී විරාජ්පෙට්හි සුපිරි නිවෙසක් තනන්නට පටන් ගන්නේ සිය සිනමා ජීවිතයෙන් හරිහම්බ කර ගත් මුදල්වලින්.

මේ සමයේම තෙළිඟු සිනමාවට ඇරයුම් ලබන මන්දනා ඒ පිළිබඳව සිය පෙම්වතාට දන්වා සිටියේ ඔහු ඊට අවසර දෙනු ඇතැයි වූ නොතිත් ආසාවෙන්. කන්නඩ සිනමාවට වඩා තෙළිඟු සිනමාව ලොව පුරා විහිදුණු දැවැන්ත කර්මාන්තයක් නිසාම එය ඇයට ලැබුණු විසල් අවස්ථාවක් බව ඈ දැන සිටියා. එහෙත් ඒ සඳහා රක්ෂිත්ගේ අවසරය හිමි වන්නේ නෑ. ඔහු ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ කන්නඩ සිනමාවේ පමණක් රැඳී සිටින්නැයි බල කරමින්.

ඒ වන විට විවාහ ගිවිස ගෙන සිටි මන්දනා – රක්ෂිත්ගේ විවාහයට තිබුණේ දින කිහිපයක් පමණයි. එහෙත් සිය සබඳතාවට තිත තැබීමට තීරණය කරන මන්දනා, රක්ෂිත් හා යුග දිවිය අත්හැර තෙළිඟු සිනමාවට පිවිසෙනවා. ඒ වන විට මන්දනා පසු වූයේ විසි දෙවැනි වියෙහියි.

ප්‍රේමය කියන්නේ ඇස්වලින් නොව මනසින් බලන දෙයක් යන්න සනාථ කරමින් සිය පළමු විවාහයට තිත තබන්නට ගත් තීරණයෙන් පසු මන්දනා තෙළිඟු සිනමාවේ ජනප්‍රිය තාරකාවක් බවට පත් වෙනවා. ළමා වියේ කටුක දිවියක් ගත කළ ඇය තෙළිඟු සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ සුඛෝපභෝගී දිවියක් ගොඩනඟා ගන්නේ ස්වාධීන ජීවිතයකට හුරු වෙමින්. එහි ‘චලෝ’ චිත්‍රපටයෙන් අතිශය ජනාදරයට පත් මන්දනාට ‘ගීත ගෝවින්දම්’ චිත්‍රපටයටද ඇරයුම් ලැබෙනවා. මන්දනාට, විජය දේවරකොණ්ඩාව මුණ ගැසෙන්නේ එහිදීයි.

රශ්මිකාගේ දිවියට විජයගේ ආගමනයෙන් ලැබෙන්නේ විසල් ආලෝකයක්. අමිතාබ් බච්චන්, සල්මන් ඛාන්, රන්බීර් කපූර්, අල්ලු අර්ජුන්, තලපති විජේ ඇතුළු බොලිවුඩ්, කොලිවුඩ් ඇතුළු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග කටයුතු කරමින් ඉන්දීය සිනමාවේ සුපතල නිළියක් වන්නට ඇයට අවස්ථාව ලැබෙන්නේ විජයගේ ආලෝකය නිසාමයි.

ආදරය තියෙන තැන ජීවිතය තියෙනවා යන මහත්මා ගාන්ධිගේ ප්‍රකාශය සනාථ කරමින් මන්දනාගේ දිවියට අාලෝකයක් ලබා දිය හැකි සහකරුවෙක් ඇයට හිමි ව තිබෙන බව නම් සැබෑවක්.

කෙසේ නමුත් මන්දනා සහ දේවරකොණ්ඩා විවාහ ගිවිස ගත්තේ දෙදහස් විසිපහේ ඔක්තෝබර් මාසයේයි. අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ ඇය ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහාද එක්ව තිබුණේ සිය මිතුරියන් කිහිප දෙනෙක් සමඟයි.

‘ගීත ගෝවින්දම්’ සිනමා සිත්තමෙන් ගොඩනැඟුණු මන්දනා – දේවරකොණ්ඩා ආදර කතාවට වසර ගණනාවක් පුරා ඉන්දීය රසිකයන්ගෙන් ලැබුණෙත් උණුසුම් ප්‍රතිචාරයක්. මන්දනාට ගැළපෙනම සහකරුවා විජය දේවරකොණ්ඩා බව ඔවුන්ගේද ප්‍රතිචාරය වුණා.

පසුගියදා මන්දනා – දේවරකොණ්ඩා විවාහ මංගල්‍යය සිදු වුණේ දෙදෙනාගේම සංස්කෘතික චාරිත්‍රවලට මුල් තැන දෙමින්. ඒ අනුව උදෑසන දේවරකොණ්ඩාගේ තෙළිඟු සම්ප්‍රදායට අනුවත් සන්ධ්‍යාවේ මන්දනාගේ කොඩැගු සම්ප්‍රදායට අනුකූල විවාහ චාරිත්‍රවලින් මෙම විවාහ මංගල්‍යය වර්ණවත් වුණා. මන්දනා මෙහිදී අලංකාර රන්වන් පැහැ සාරියකින් සැරසී සිටියා.

තමන්ව නිවැරදිව තේරුම් ගත්, තමන්ට සැබෑ ආදරය කියා දුන් හොඳම මිතුරා තමන්ගේ ස්වාමි පුරුෂයා වී ඇති බව රශ්මිකා මන්දනා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි දක්වා තිබුණා. සැබෑ ආදරය යදම්වලින් බැඳ දමා හෝ එක්ටැම් ගෙයක සිර කර හෝ නවතාලිය නොහැකියි. ජීවිතය සිර කරන ආදරයකින් ජීවිතයට පලක් තිබේද? දහසකුත් හැඟීම්වලින් පිරුණු නමුත් එකිනෙකාගේ නිදහස අගය කරන සැබෑ ආදරය ජය ගත් මන්දනා – දේවරකොණ්ඩා ආදර කතාව අපට කියන්නෙත් එවන් කතාවක් නොවේද?

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?