Monday, March 16, 2026
Epaper
Home Highlightsගුවන් හමුදා පාපැදි සවාරිය 2026 බාධක මැදින් තරගය ජයගත් ඈන් ශෙනාලි

ගුවන් හමුදා පාපැදි සවාරිය 2026 බාධක මැදින් තරගය ජයගත් ඈන් ශෙනාලි

by Shanaka Lakehouse

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි අභිමානවත් සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද “ගුවන් හමුදා පාපැදි සවාරිය 2026” තරගාවලියේ කාන්තා අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට 24 හැවිරිදි ඈන් ශෙනාලි පෙරේරා සමත් වූවාය. Friends Cycling Club නියෝජනය කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගත් ඇය, ශ්‍රී ලංකාවේ කාන්තා පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිය නාමය තවදුරටත් ස්ථාවර කර ගැනීමට සමත් විය.

මීරිගම සිට කොළඹ දක්වා කිලෝමීටර් 80කට අධික දුරක් ආවරණය කරමින් පැවැති මෙම තරගය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ. එහිදී කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ දිනේෂා දිල්රුක්ෂි දිනාගත් අතර, තෙවැනි ස්ථානය Speed Star Cycling Club හි සුදාරිකා ප්‍රියදර්ශනී විසින් හිමිකර ගන්නා ලදී. සමස්ත කණ්ඩායම් ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

ඈන් ශෙනාලි මෙම තරගයට එක්වූයේ දෙවැනි වරටය. මීට පෙර වසර හතරක් නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩා කළ ඇය, පසුව විදේශ පුහුණුවක් සඳහා එම සේවයෙන් ඉවත් වී ස්වාධීන ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් තරග බිමට පිවිසියාය. ඇයගේ මෙම ජයග්‍රහණය පිටුපස ශක්තිමත් අධ්‍යාපනික පසුබිමක් ද පවතී. කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක වන ඇය, ක්‍රීඩා විද්‍යාව (Sport Science) පිළිබඳ උපාධිධාරිනියකි. ඇය මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවක් හදාරමින් තම දැනුම තවදුරටත් පුළුල් කර ගනිමින් සිටියි.

මෙවර තරගය ඇයට අතිශය අභියෝගාත්මක වූයේ තරගය අතරතුර මුහුණ දීමට සිදුවූ අනතුරක් හේතුවෙනි. උඩුගම්පොළ ප්‍රදේශයේදී තවත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමඟ ඇය අනතුරකට ලක්වූ අතර, එහිදී ඇයට සුළු තුවාල ද සිදු විය. එහෙත් එම බාධකය හමුවේ පසුබට නොවූ ඈන් ශෙනාලි, නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව යළිත් තරගයට අවතීර්ණ වූවාය. තරගය අවසන් වීමට තවත් කිලෝමීටර් කිහිපයක් තිබියදී නැවතත් ප්‍රධාන තරග පොකුරට එක් වූ ඇය, අවසාන මීටර් කිහිපය දක්වා පැවැති දැඩි සටනකින් පසු තත්පර කිහිපයක පරතරයකින් ජයග්‍රහණය තහවුරු කරගත්තාය.

තම ජයග්‍රහණය උදෙසා මවුපියන් සහ සහෝදර සහෝදරියන් ලබාදෙන අසීමිත සහයෝගය ඇය ගෞරවයෙන් අගය කරයි. අනතුරක් මධ්‍යයේ වුවද අත්නොහළ උත්සාහයෙන් ඇය පෑ මෙම දක්ෂතාව, මෙරට පාපැදි ක්‍රීඩාවේ අනාගතයට මහත් ආදර්ශයකි.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?