බොහෝ දෙනෙකුට අද වන විට ප්‍රධාන ගැටලුවක් වන්නේ වාස්තු විද්‍යාව සත්‍යයක් ද යන්නයි; එහි විද්‍යාත්මක පසුබිමක් තිබේද යන්නයි. ඒ අනුව වාස්තු විද්‍යාව යනු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකි. මෙය මුලින්ම ආරම්භ වන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ පැරැණි ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාව නැතිනම් වාස්තු ශාස්ත්‍රය යනුවෙන් හැඳින්වෙයි.
මෙය අවුරුදු අටදහසක පමණ ඉතිහාසයකින් යුක්තය. මෙහි මුල්ම සාක්ෂිය අපට හමුවන්නේ මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙනි. මීට වසර පන්දහසකට පමණ පෙර ඉන්දියාවේ ඉන්දු නිම්නය ආශ්‍රිතව මෙය ආරම්භ වී ඇත. මෙම ශිෂ්ටාචාරයේ ඉදිකර තිබූ නගර වාස්තු ශාස්ත්‍රයේ එන වාස්තු පුරුෂ මණ්ඩලවලට අනුව ඉදිකර ඇති බව නටබුන්වලින් සාක්ෂි හමු වී ඇත. මෙවැනි ඉතිහාසයක් ඇති වාස්තු විද්‍යාව මුඛ පරම්පරාගතව පැවත එමින් පසුකාලීනව පොත්පත්වල රචනා වී වර්තමාන තත්ත්වයට වර්ධනය වී ඇත. මූලිකව මෙය ලෝකයම භාවිත කළත්, මෙහි ඇති තාර්කික බවත් විද්‍යාත්මක පසුබිමත් සමඟ 1960 දශකයෙන් පසු මෙය දර්ශනයක් බවට ලෝකයම පිළිගෙන ඇත. සංස්කෘත වචනයක් වන “වාස්තු” යන්නෙහි සිංහල තේරුම වාසය කිරීම යන්නයි.
මිනිසාගේ මූලික අවශ්‍යතා යටතේ නිවාස ගොඩනැඟීම සිදු කරනු ලබයි. අතීතයේ ගස්, ගල්වලින් තම නිවාස තනාගත් මිනිසා ටිකෙන් ටික දියුණුවට පත් වී ඇත. අද වන විට ආරක්ෂාකාරී ලෙස මෙන්ම සුවපහසු ලෙස නිවාස තනා ගැනීමට ඔවුන් ශක්තිමත් වී ඇත. ඒ සමඟම පෞද්ගලිකත්වය යන කරුණු මත තනි තනි වශයෙන් කාමර ඉදිකර ගැනීමට යොමු වී ඇත. සුව පහසුව වගේම මානසික නිදහස අපේක්ෂා කරන මිනිසා ඇසට ප්‍රිය ලෙස තම නිවහන තනා විවිධ අලංකරණයන් භාවිත කරයි.
පරිසරය හා මිනිසා අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. පරිසරයේ සිදුවන වෙනස්වීම් මිනිසාට මොනයම් ආකාරයකින් හෝ බලපෑම් එල්ල කරයි. එමෙන්ම මිනිසා විසින් සිදු කරන සෑම ක්‍රියාවලියකම බලපෑමක් පරිසරයට ද දැනෙයි. නිවසක් ගත් විට එය ස්වභාවධර්මයට ආවේණික දෙයක් නොව, පරිසරයට ආගන්තුකව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දකි. එය ස්වභාවධර්මය සමඟ නොගැළපීමක් ඇති වුවහොත් නැතිනම් පරිසරය සමඟ මිශ්‍ර නොවුවහොත් එහි බලපෑම නැවත පැමිණෙන්නේ මිනිසාටමය. ඒවා ශාරීරිකව මෙන්ම මානසිකව ද පැමිණිය හැකිය. ශාරීරික වශයෙන් ලෙඩරෝගවලට ලක්විය හැකිය. මානසික වශයෙන් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික මට්ටමක් නොමැති විය හැකිය. ඒ මඟින් මිනිසුන්ට පවුල් ප්‍රශ්න, දිළිඳුකම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙවැනි තත්ත්වයන් වාස්තු විද්‍යාවේ ‘වාස්තු දෝෂ’ ලෙස හඳුන්වනු ලබයි.
ඉන්දියාවේ සිටි සෘෂිවරු සමාජයේ සාමාන්‍ය ජනතාවට වඩා යම් දැනුමක් අවබෝධ කරගත් පිරිසකි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ සිත දියුණු කරගත් පිරිසකි. මිනිසුන් යමක් කරන්නේ නම් ඒ සියල්ලෙන්ම මානසික සුවයක් අපේක්ෂා කරති. මිනිසාත් පරිසරයත් අතර ඇති අවියෝජනීය සබඳතාව මුලින්ම අවබෝධ කරගනු ලබන්නේ මේ සෘෂිවරුන් විසිනි. මිනිසා විසින් ඉදිකරන නිවාස, ගොඩනැඟිලි ආදියෙන් ස්වභාවධර්මයට වන බලපෑමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආපසු මිනිසාට සිදුවන බලපෑමත් මුලින්ම අවබෝධ කරගත්තේ මොවුන්ය. ඊට අමතරව අපට ලැබෙන සූර්ය ශක්තිය, සුළඟේ දිශාව, සඳේ පිහිටීම නිසා වන බලපෑම, අනෙකුත් ග්‍රහලෝක මෙන්ම ගුරුත්වාකර්ෂණය සහ පෘථිවියේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ආදී දේවලින් ගොඩනැඟිලිවලටත්, පසුව මිනිසාටත් වන බලපෑම මොවුන් අවබෝධ කරගෙන ඇත. පසුව මෙම වාස්තු විද්‍යාව මුලින්ම වේද ග්‍රන්ථවල සඳහන් කර ඇත. ප්‍රධාන වේද හතරට අමතරව ස්කන්ධ, අග්නි, මත්ස්‍ය, ගරුඬ, නාරද, වායු, බ්‍රහ්මාණ්ඩ හා ලිංග යන පුරාණවලත් වාස්තු විද්‍යාව පිළිබඳ සඳහන් වේ. රාමායනය, මහාභාරතය මෙන්ම විශ්වකර්ම වාස්තු ශාස්ත්‍රය, පුරාණ මංජරී, මානසාර, සමරාංගණ සූත්‍රධාරය ආදී වාස්තු විද්‍යාව වෙනුවෙන්ම රචනා වූ විශේෂ ග්‍රන්ථ කිහිපයක් ද පවතී. ඒවා වර්තමානයේද වාස්තු විද්‍යා අත්පොත් ලෙස සලකනු ලබයි. ඒ අනුව වාස්තු විද්‍යාව අතීතයේ පටන් මිනිසාගේ විශ්වාස මත වර්තමානය තෙක් වර්ධනය වී ඇත. ඒවායෙහි සත්‍ය අසත්‍යභාවය තීරණය වන්නේ පරිසරය හා මිනිසා සමතුලිතතාවයකට පැමිණි විටය. එම සමතුලිතතාව ඇති කිරීමට නම් පුරාණ සෘෂිවරුන්ගේ වාස්තු විද්‍යා කරුණු ඇසුරු කළ යුතුය.
නිවෙසක් සාදා ගැනීමේදී වාස්තු දෝෂ අතර ‘පොරවක හැඩයේ’ නිවෙස් හෝ ගොඩනැඟිලි සුදුසු ද නැද්ද යන්න ඇතැම් අයට තිබෙන විශාල ගැටලුවකි. පොරව හැඩය යනු ඉංග්‍රීසි භාෂාවේ එන “L” අකුරේ හැඩය ඇති නිවෙසකි. සාමාන්‍යයෙන් L හැඩයේ නිවෙසක් සමචතුරස්‍රාකාර හෝ සෘජුකෝණාස්‍රාකාර නිවෙස්වලට වඩා වාස්තු අතින් දුර්වලය. නමුත් L හැඩයේ නිවෙස්වලත් එම හැඩය යොමු වී ඇති දිශාව අනුව ප්‍රතිඵල එකිනෙකට වෙනස් වේ. මෙහිදී සලකනු ලබන්නේ නිවසේ කුමන කොටසද නිවසට අහිමි වී ඇත්තේ යන්නයි. උදාහරණයක් ලෙස, සෘජුකෝණාස්‍රාකාර නිවෙසක ඊසාන කොටස ඉවත් කිරීමෙන් L හැඩයේ කොටසක් ඉතිරි වේ. එය L හැඩයේ නිවසක් පිහිටිය හැකි අසුබම ආකාරයයි. එහිදී පවුලේ අයගේ සාර්ථකත්වයට බාධා ඇති කරන අතර මූල්‍යමය තත්ත්වයට හානි විය හැකිය. නිවසේ සාමකාමී බවට මෙන්ම මානසික නිදහසට ද බාධා පමුණුවයි. එමෙන්ම නිවසේ නිරිතදිග කොටස අහිමි වීමෙන් බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. එහිදී ගෘහමූලිකයාගේ අස්ථාවරභාවය, මූල්‍යමය ගැටලු, ගෘහමූලිකයාට පවුලේ අධිකාරී බලය අහිමි වීම සහ පවුලේ අය අතර ගැටුම්, සිත් අමනාපකම් ඇති වීමට හේතු වේ. නමුත් නිවසේ ගිනිකොණ හා වයඹ කලාපයන් අහිමි වීම එතරම් බරපතළ කාරණා නොවනු ඇත.
වර්තමානයේ සෘජුකෝණාස්‍රාකාර මෙන්ම සමචතුරස්‍රාකාර නිවසක්ම ගොඩනැඟීම ප්‍රායෝගික නොවනු ඇත. මිනිසාට පවතින අවශ්‍යතා සහ පවතින ඉඩකඩ අනුව, ගෘහ නිර්මාණාත්මක අලංකාරයක් එකතු කිරීමට L හැඩැති නිවෙස් ඉදිකරනු ලබයි. එවැනි අවස්ථාවලදී නිවෙසේ අනෙක් දිශා බලගැන්වීම මඟින් ඔබගේ අවශ්‍යතාව මත වයඹ සහ ගිනිකොන කොටස් ඉවත් කොට L හැඩැති නිවෙස් ඉදිකළ හැකිය. නමුත් කිසියම් හේතුවක් නිසා ඊසාන හෝ නිරිත කොටස් ඉදිනොවන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස යම් නිවසක ඊසාන කොටස අහිමි නම්, ඒ කොටසේ වැරන්ඩාවක් හෝ පොකුණක් වැනි යමක් ඉදිකිරීමෙන් එම සීමාව නිවසේ වර්ගඵලයට ඇතුළත් කර ඉන් ඇතිවන දෝෂය අවම කරගත හැකිය. නැතිනම් නිවස සෘජුකෝණාස්‍රාකාර වන ආකාරයට අත්තිවාරම සම්පූර්ණ කොට එම කොටස් වෙනත් සුදුසු කාර්යයකට පාවිච්චි කළ හැකිය. මෙවැනි වෙනස්කම් සිදු කිරීමේදී වාස්තු විද්‍යාඥයකුගේ සහාය ඇතිව සිදු කිරීම වඩාත් සුදුසු වේ. මන්ද අනවශ්‍ය ලෙස සහ නොසලකිලිමත් ලෙස කරන ඉදිකිරීම් නිසා පවතින දෝෂය තීව්‍ර විය හැකි බැවිනි. එමෙන්ම L හැඩයේ නිවෙස්වල එම හැඩයේ කොටස් දෙක පටු සහ දිගින් වැඩි නම් ඉන් ඇතිවන දෝෂය වැඩිය. පැහැදිලිව විශාල සමචතුරස්‍රාකාර හෝ සෘජුකෝණාස්‍රාකාර කොටසක් පෙනෙන්නට තිබේ නම් සහ අනෙක් කොටස් ඊට සාපේක්ෂව කුඩා නම් ඉන් ඇතිවන දෝෂය ඉතාම අවමය.
TEXT – ඉරේෂා ගුණසේකර
