Monday, March 16, 2026
Epaper
Home Highlightsදෙවියන් පවා නමස්කාර කරන මනුෂ්‍යයා ඔබ ද?

දෙවියන් පවා නමස්කාර කරන මනුෂ්‍යයා ඔබ ද?

by Shanaka Lakehouse

අප ජීවත් වන වර්තමාන සමාජයේ බොහෝ දෙනා තමන්ට වඩා බලයෙන්, ධනයෙන් හෝ නිලයෙන් ඉහළ අය ඉදිරියේ හිස නැමීමටත්, ඔවුන්ව වන්දනා කිරීමටත් පුරුදුව සිටිති. උසස් නිලතල දරන්නන්, ප්‍රභූවරුන් හෝ ධනවතුන් දුටු විට සමාජය ඔවුන්ට දක්වන ගෞරවය අතිමහත්ය. එහෙත් සැබෑ ගුණවන්තයකු නැමිය යුත්තේ කා ඉදිරියේ ද? ලොව උසස්ම සැප විඳින දෙවියන් පවා නමස්කාර කරන්නේ කාට ද? මේ පිළිබඳ ඉතා ගැඹුරු සහ වටිනා උපදේශයක් සංයුක්ත නිකායේ සක්කනමස්සන සූත්‍රයේ අන්තර්ගත වේ.

සක් දෙවිඳුන්ගේ අබිරහස් නමස්කාරය

දිනක් මාතලී දිව්‍ය පුත්‍රයා දිව්‍ය රථය සූදානම් කරගෙන සිටියදී, දෙවියන්ට අධිපති සක් දෙවිඳුන් රථයට නැඟීමට පෙර සතර දිශාවට හැරී මහත් භක්තියෙන් නමස්කාර කරනු දුටුවේය. මුළු ලොවටම අධිපති, මහා පුණ්‍යවන්ත සක් දෙවිඳුන් මෙලෙස කාට නමස්කාර කරන්නේදැයි මාතලී පුදුමයට පත් විය. ඔහු මහත් විස්මයෙන් යුතුව විමසා සිටියේ, “ස්වාමීනි, ඔබ වහන්සේට වඩා උසස් කෙනකු මේ ලොව සිටී ද? ඔබ මෙතරම් ගෞරවයෙන් වන්දනා කරන්නේ කාට ද?” යනුවෙනි.

එවිට සක් දෙවිඳුන් දුන් පිළිතුර අද අප සැමගේ ජීවිතවලට මහත් ආදර්ශයකි. උන්වහන්සේ පැවසුවේ තමන් නමස්කාර කරන්නේ පසිඳුරන් දමනය කළ උතුම් රහතන් වහන්සේට පමණක් නොව, නිවැරදි මඟ යමින්, දැහැමිව තම අඹුදරුවන් පෝෂණය කරන, ගුණධර්ම රකින ගිහියන්ටත් බවයි. සක් දෙවිඳුන්ගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මිනිසකුගේ උසස් බව තීරණය වන්නේ ඔහු සතු භෞතික සම්පත්වලින් නොව, ඔහු ජීවත් වන ආකාරය අනුව බවයි.

දෙවිඳුන් පැහැදුණු මාතෘපෝෂක ඇත් රජුගේ කතාව

ගුණධර්ම රකින අයට දෙවියන් පමණක් නොව තිරිසන් සතුන් පවා ගරු කරන බව පැහැදිලි කිරීමට අපේ පැරණි බණ කතාවල එන “මාතෘපෝෂක ජාතකය” කදිම නිදසුනකි. එක් කලෙක අප මහා බෝසතාණන් වහන්සේ ඇත් කුලයක ඉපදී තම අන්ධ මෑණියන්ට ඉතා ලැදිව උපස්ථාන කළහ. උන්වහන්සේ වනයේ තිබෙන රසවත් පලතුරු පළමුව මෑණියන්ට දී, පසුව තමන් අනුභව කළහ. දිනක් දඩයක්කාරයකුගේ මාර්ගයෙන් රජුට හසු වූ මේ ඇත් රජු රජමාලිගාවට රැගෙන යන ලදී.

එහිදී රජු පූජා කළ රසමුසු භෝජන ඇත් රජු ප්‍රතික්ෂේප කරමින් කඳුළු සැලීය. රජු මෙයට හේතු විමසූ විට ඇත් රජු කියා සිටියේ, “රජතුමනි, මාගේ අන්ධ මෑණියන් වනයේ කුසගින්නේ හඬමින් සිටියදී මට මේවා අනුභව කළ නොහැකිය. මා නැතිව මගේ මෑණියන් මිය යනු ඇත” යනුවෙනි. ඇතාගේ මේ මාතෘ ප්‍රේමය සහ උතුම් ගුණය දුටු රජු මහත් සේ පුදුමයට පත් විය. රජු වහාම ඇත් රජු නිදහස් කර මෑණියන්ට උපස්ථාන කිරීමට ඉඩ සැලසීය. එදා එම ඇත් රජුට නමස්කාර කළේ රජවරුන් පමණක් නොව, මුළු දෙව්ලොවම සතුටින් සාධුකාර දුන්හ. තම මවුපියන්ට සලකන, තම නිවෙස පින්බිමක් කරගන්නා ඕනෑම අයකුට දෙවියන්ගේ ආශීර්වාදය නිතැතින්ම හිමිවන බව මෙයින් සනාථ වේ.

ගුණධර්ම පිරිහෙන සමාජයක අපේ වගකීම

අද සමාජයේ බොහෝ පවුල් සබඳතා බිඳවැටෙන්නේ ඉවසීම, කරුණාව සහ මනුෂ්‍යත්වය වැනි ගුණධර්ම අවම වීම නිසාය. මිනිසකුගේ වටිනාකම මැනිය යුත්තේ ඔහු පාවිච්චි කරන නවීන දුරකතනය, ඔහු පදවන යානවාහන හෝ ඔහු පලඳින විසිතුරු ආහරණවලින් නොවේ. ඔහු සතු අවංකකම සහ සදාචාරයෙනි. ශරීරයට වැළඳෙන බරපතළ රෝගයකදී වෛද්‍යවරයකුගේ උපදෙස් සහ ප්‍රතිකාර අවශ්‍ය වන්නා සේම, සමාජයේ පැතිරෙන වෛරය, ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව වැනි මානසික වයිරසවලින් මිදීමට බුදුදහම නමැති ඖෂධය භාවිත කළ යුතුය.

සමහරු තමන්ගේ දියුණුව වෙනුවෙන් අනුන්ට බැණ වදිමින්, කේලාම් කියමින් අකුසල් රැස් කරගනිති. තවකෙකු පරයා යෑමට උත්සාහ කරනවා වෙනුවට, අන් අයගේ දියුණුවේදී සතුටු විය හැකි මුදිතා ගුණය වර්ධනය කරගත යුතුය. නීරෝගි මනසක් ඇති කරගැනීමට නම් නිරන්තරයෙන්ම පින්කම්හි නියැළීමෙන් සිත පිරිසුදු කරගත යුතුය. තම පවුලේ සාමාජිකයකුට කරදරයක් වූ විට මෙන්ම අසල්වැසියාට විපතක් වූ විට පිහිට වීම දෙවියන්ගේ වන්දනාවට පවා සුදුසු උතුම් ක්‍රියාවකි.

ජීවිතයට වටිනා පණිවුඩයක්

දෙවියන් පවා නමස්කාර කරන්නේ කවරෙකුටදැයි සක් දෙවිඳුන් විසින්ම දේශනා කරන ලදි. ඒ අනුව, මවුපියන්ට සලකන, පවුලේ වැඩිහිටියන්ට ගරු කරන, මෘදු මොළොක් වචන කතා කරන, කේලාම් නොකියන සහ මසුරුකම දුරු කළ තැනැත්තා දෙවියන් පවා වන්දනා කරන උසස්ම මිනිසා වේ. අප කරන සෑම යහපත් ක්‍රියාවක්ම, අප සිතන සෑම පින්බර සිතුවිල්ලක්ම අපේ සසර ගමන ආලෝකවත් කරයි.

එබැවින්, පටු වාසි තකා අධාර්මිකව ජීවත් වනවා වෙනුවට, සක් දෙවිඳුන් පවා නමස්කාර කරන ඒ උතුම් ගුණධර්ම අපේ ජීවිතවලටත් එකතු කරගනිමු. දැහැමිව ජීවත් වෙමින්, තම වගකීම් නිවැරදි අයුරින් ඉටු කරන ගුණවතුන් වීමට අදම අදිටන් කර ගනිමු. එවිට ඔබ යන යන තැන දෙවියන්ගේත්, මනුෂ්‍යයන්ගේත් ආරක්ෂාව සහ ගෞරවය ඔබට නිතැතින්ම හිමි වනු ඇත. එය මේ ජීවිතයට පමණක් නොව සසර ගමනටම මහත් ආලෝකයක් වනු නොඅනුමානය.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?