Monday, March 16, 2026
Epaper
Home Beautyපැහැපත් සහ දීප්තිමත් සමක් සඳහා ෆේෂල් සත්කාරයේ රහස්

පැහැපත් සහ දීප්තිමත් සමක් සඳහා ෆේෂල් සත්කාරයේ රහස්

by Shanaka Lakehouse

ඕනෑම කාන්තාවක්, තරුණියක් ආසයි මුහුණේ සම පැහැපත්ව තියාගන්න. ඉතින් ඔබේ සම නීරෝගිව සහ දීප්තිමත්ව තබා ගන්න ඔබට කරන්නට පුළුවන් හොඳම සත්කාරයක් තමයි ෆේෂල් කියන්නේ. මේ වන විට ලෝකයේ බොහෝ ෆේෂල් වර්ග ජනප්‍රිය වෙමින් පවතිනවා.

සාම්ප්‍රදායික සහ මූලික ෆේෂල් වර්ග, සමේ වර්ගය අනුව, සමේ විවිධ තත්ත්වයන් අනුව සහ සම වඩාත් පැහැපත් කර ගැනීමට පවා ෆේෂල් වර්ග බොහෝ රූපලාවණ්‍ය විශේෂඥයන් මේ වන විට හඳුන්වා දී තියෙනවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි රූපලාවණ්‍ය ශිල්පිනී ශ්‍රීනි ප්‍රනාන්දු ‘තරුණී’ සමඟින් අද කතා කරන්නේ කවුරුත් ලස්සන වෙන්න කරන ෆේෂල් ගැනයි. අදින් ඇරඹෙන මේ රූපලාවණ්‍ය පාඩම් මාලාව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළී ඉන්න අයට වගේම රූපලාවණ්‍යට උනන්දුවක් දක්වන අයටත් අත්වැලක් වේවි.

ෆේෂල් එකක් යනු

ෆේෂල් එකක් යනු රූපලාවණ්‍යාගාරයකට ගොස් මාසයකට සැරයක් මුහුණට කරගන්නා සත්කාරයක් කියා වැඩි දෙනෙක් සිතුවත්, එහි ඊට වඩා ගැඹුරු හරයක් ඇත. මිනිස් සම දවස් 28ක් ඇතුළතදී නැවත නැවත අලුත් වේ. දින 28ම දිනපතා රූපලාවණ්‍යාගාරයකට යෑමට නොහැකි නිසා මේ සම නඩත්තු කරන්න ඕනේ නිවෙසේදීමයි. මාසයකට වරක් රූපලාවණ්‍යාගාරයකට ගොස් ෆේෂල් එකක් කරන්නේ මේ සම ගැඹුරින් ක්ලෙන්සර් වීමට අවශ්‍ය නිසයි.

නමුත් රූපලාවණ්‍යාගාරයකදී වුවත් ෆේෂල් එකක් කරන්න පුළුවන් සීමාවක් තිබේ. ඩීප් ක්ලෙන්සර් එකක සීමාව තීරණය වන්නේ ඔබට ඒ ගැන තියෙන දැනුවත්භාවය මතයි. ඇතැම් අයට එවැනි ඩීප් ක්ලෙන්සර් එකක් රූපලාවණ්‍ය නිෂ්පාදන යොදා ගෙන කරන්න පුළුවන් වෙද්දී, තවත් අයට රූපලාවණ්‍ය උපකරණ යොදාගෙන ඊට වඩා සම ඇතුළට තුවාල කරලා කරන්න පුළුවන්. මයික්‍රෝ නීඩ්ලින් සහ මයික්‍රෝ ඩර්මැබ්‍රේෂන් ඒවාට හොඳම උදාහරණ. නමුත් මේ වගේ දේවල් කරන්න නම් රූපලාවණ්‍ය පිළිබඳ හසළ දැනුමක් තිබීම වැදගත්. සම තුවාල කිරීමක් හරහා කරන සත්කාරයක් නිසා ඉතා සියුම් දේ ගැන පවා සැලකිලිමත් වීම වැදගත්. එවැනි සත්කාරවලින් සම වයසට යන එක අඩු කිරීමට අවශ්‍ය කරන කොලජන් නිෂ්පාදනය ඇති කරයි. එබැවින් ෆේෂල් එකක් යනු සැලෝන් එකක් වෙත ගොස් කරන ඩීප් ක්ලෙන්සින් එකකට එහෙම නැත්නම් ගැඹුරින් කරන පිරිසුදු කිරීමක් කියා හැඳින්විය හැකියි.

ෆේෂල් එකකයි ක්ලීන් අප් එකකයි වෙනස?

නිවෙසේදී කරන සාමාන්‍ය පිරිසුදු කිරීමක් ක්ලීන් අප් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් ක්ලීන් අප් එකක් සඳහා යන්නේ සැලෝන් එකකටයි. නමුත් එය නිවෙසේදී කරන සත්කාරයක්. දිනපතා නිවෙසේදී කරන සත්කාරයක් තමයි ඒ විදිහට මාසයකට සැරයක් සැලෝන් එකකදී කරගන්න පුරුදු වෙලා ඉන්නේ. දිනපතා නිවෙසේදී සම ක්ලීන් අප් කිරීම ඉතා වැදගත්. ක්ලෙන්සර්, ටෝනර් සහ මොයිස්චරයිසර් යොදාගෙන මේ ක්ලීන් අප් එක කරගන්න පුළුවන්. හැබැයි දිනපතා ඒක විතරක් කිරීම ප්‍රමාණවත් නැත. ඊට වඩා ඩීප් ක්ලෙන්සර් එකක් මාසයකට සැරයක් සැලෝන් එකකදී කිරීමයි නිවැරදිම සත්කාරය වන්නේ. නමුත් ඒ පිළිබඳ නිසි දැනුමක් ඇත්නම් එය නිවෙසේදී වුවත් කර ගත හැකියි.

ෆේෂල් එකක වාසි

සමේ පැහැපත් පෙනුම වැඩි කරයි. කුරුලෑ ලප (බ්ලැක්හෙඩ්ස්, වයිට් හෙඩ්ස්) කැලැල් පාලනය වී නිකැළැල් සමක් ලබා දෙයි. මුහුණේ මැරුණු සෛල ඉවත් කර පිග්මන්ටේෂන් තත්ත්වය පාලනය කරයි. සමේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කරයි. සමේ රුධිර සංසරණය වැඩි කර සමේ සෞඛ්‍ය වර්ධනය කරයි. සමේ තෙතමනය රඳවා ගනියි. සම, මෘදු සහ සන්සුන් කරයි. මේ හරහා සමේ කොලජන් මට්ටම වැඩි වන නිසා සමේ රැලි ඇති වීම අවම කරයි. එමඟින් තරුණ බව රැක දෙයි. සමේ වියළි බව පාලනය කරයි.

නිෂ්පාදන තෝරා ගැනීම

ෆේෂල් එකක් කිරීමට පෙර තමාට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත්. නොගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමෙන් සමට හානිකර තත්ත්ව ඇති විය හැකියි. ඒ වගේම අවශ්‍ය ප්‍රතිඵලය නොලැබිය හැකියි. ඔබ නිවෙසේදී ෆේෂල් කරන කෙනෙක් නම් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත ගොස් ප්‍රථමව ඔබේ මුහුණේ ස්වභාවය හඳුනාගෙන ඉන් පසුව ගැළපෙන නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබා ගන්න.

උදාහරණ විදිහට ඔබට ඇත්තේ කළු ලපවලින් පිරුණු මුහුණක් නම් ඔබ නිෂ්පාදන තෝරාගත යුත්තේ කළු ලප ඉවත් කිරීම සඳහා ඇති අමුද්‍රව්‍ය සහිත රූපලාවණ්‍ය නිෂ්පාදනයි. ඇතැම් ෆේෂල්වලදී ඉතාම ගැඹුරින් සත්කාරය කරද්දී ග්ලයිකොලික් වැනි ඇසිඩ් වර්ග යොදා ගනු ලබයි. එවැනි සත්කාර නිවෙසේදී කළ නොහැකි අතර රූපලාවණ්‍යාගාරයකටම යා යුතුයි. ඇතැම් අය තෝරා ගන්නා බ්ලීචිං අඩංගු නිෂ්පාදන සම තවත් සංවේදී කරයි. එය පිග්මන්ටේෂන් වැඩි වීමට හේතුවකි. සත්කාරයකින් බලාපොරොත්තු විය යුත්තේ පැහැපත් භාවය මිස සුදු පැහැ වීම නොවේ. තමන්ට පැහැයෙන් අඩු සමක් ඇත්නම් ඒ සම සුදු කරනවා කියන්නේ ඒ සම තවත් සංවේදී පැත්තට අරගෙන යෑමයි.

සුදුසු වයස

වයස අවුරුදු 13 පැන්නට පසු උදේ සවස ක්ලෙන්සර්, ටෝනර් සහ මොයිස්චරයිසර් පාවිච්චි කිරීම සුදුසුයි. ඒ අය මාසෙකට වරක් ෆේෂල් එකක් කිරීම ගැටලුවක් නොවේ. යොවුන් වියට එළැඹෙද්දී හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා සමෙන් තෙල් නිපදවීම සිදු වේ. ඒ හරහා කුරුලෑ ඇති වී මුනු දිලිසීමට පටන් ගනියි. බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් තත්ත්ව ඇති වීමටත් එය හේතුවකි. මේ අයට යොදා ගත යුතු වන්නේ තෙල් රහිත නිෂ්පාදනයි.

ඒ වගේම අවුරුදු 30 වෙධි අය මාසයකට වරක් ෆේෂල් එකක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අවුරුදු 30න් පසු සමෙහි කොලජන් නිෂ්පාදනය අඩු වන නිසා සම ඉක්මනින් රැලි වැටීමට හේතුවකි. ෆේෂල් එකක් කිරීමෙන් සමෙහි මැරුණු සෛල ඉවත් වන නිසා කොලජන් නිෂ්පාදනය පවත්වා ගැනීමට හේතුවක් වේ.

නොකළ යුතු අය

අතිශයින් සම සංවේදී අය ෆේෂල් කරද්දී තෝරා ගන්නා නිෂ්පාදන ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ අය සුවඳ අඩු, රසායනික ද්‍රව්‍ය අඩු, නිෂ්පාදන පාවිච්චි කිරීම වැදගත්. නිෂ්පාදනයක සුවඳ වැඩි වෙන්න, වැඩි වෙන්න ඒ නිෂ්පාදනයේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි. වර්ණ වැඩි වෙද්දීත් එහෙමයි. වර්ණය සහ සුවඳ කියන්නේ ශරීරයට අවශ්‍ය දේවල් නොවෙයි. ඒවා අවශ්‍ය නිෂ්පාදනය ලස්සන කිරීමට පමණයි. ඒ වගේම ගැබිනි මවුවරුන් සහ කිරි දෙන මවුවරුන් ද නිෂ්පාදන තෝරා ගැනීමේදී ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන තෝරා ගන්න උනන්දු වන්න.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?