නිරෝෂා ගඟ අසල ඇති ගල්පරය මත වාඩි වූවාය. මේ ගඟ කුඩා දිය පාරක් සේ අවුත් කඳු, හෙල් ගල්පර, තැනිතලා පසුකොට ඉදිරියටම ගලා බසින්නේය. ඒ මහා සාගරය හමුවන තෙක්ය. නිරෝෂා ගලන ගඟ දෙස බලා සිටියාය.
“විහඟ එක්ක අත්වැල් බැඳගෙන උඹ ඊයේ රෑ හීනෙන් හන්තාන කන්ද නැග්ගා නේද නිරෝ.” “ෂා. . . කෙල්ලගේ හිනාව. . . ඉතින් ඒ හීනය ළඟදීම සැබෑ වේවි. . .”
දැනට දින කිහිපයකට පෙර නිලක්ෂි, වින්ද්‍යා, දුෂාන්ති ඒ සැම එකතු වී කොඳුරා කිවූ ඒ සෑම වචනයක්ම ඇගේ හදවතේ අහුමුළුවල සිට එබිකම් කළේය. ඒ වචන ආයෙමත් නෑසෙන්නට හදවතේ නොපෙනෙන තැනක සඟවන්නට නිරෝෂා තැත් කළාය. එහෙත් එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බව දැනුණි. විහඟ තවමත් නිරෝෂාගේ හදවත තුළ අරක් ගෙනය. මෙතෙක් කල් විහඟව ඇගේ හදවත පිළිගත්තේ ළබැඳි සෙනෙහසකිනි. එහෙත්… හදවත ඇතුළත සක්මන් කරන ඔහු පිළිබඳ දැන් ඇයට ඇතිවන්නේ සියුම් කෝපයකි. විහඟගේ නපුරු සිතුවිලි ළඟ නවතින්නට නිරෝෂාගේ සිත එයට ඉඩ නොදුන්නාය.
“ඒයි. . . නිරෝෂා උඹ පාස් ඉහළින්ම. first shai එකෙන්ම කැම්පස් යන්න පුළුවන්. කන්ග්‍රැජුලේෂන්ස්.”
“මං නම් ෂුවර් නෑ අනේ. බී දෙකයි ඒ එකයි.”
ඊයේ ගයත්‍රි, නිරෝෂා එන පෙරමඟට දිව ආවේ එලෙසිනි. නිරෝෂා, ගයත්‍රිෙග් අතින් ඇදගෙන පාසලේ දැන්වීම් පුවරුව දෙසට ඉඟිළුණාය.
. . “ඒ තුනයි නිරෝ…”
මිතුරියෝ කෑගැසූහ. ඒ සිනහව, ඒ සතුට සමඟ මුළු ජීවිතේම වලාකුළක් මෙන් පාවී යන්නා සේ නිරෝෂාට දැනුණි. පාසලේ ගත කළ ඒ පැය කිහිපය ඇගේ ජීවිතයේ ලැබූ ප්‍රීතිමත් වූ කාලපරිච්ඡේදයක් යැයි සිතුණි. විදුහල්පතිතුමිය ප්‍රමුඛ ගුරු මණ්ඩලය සමත් වූ සිසුවියන් සැමට සුබ පැතූහ. ඒ සියලු ප්‍රීති ප්‍රමෝදයන් අවසානයේ නිරෝෂා දිව ගියේ නිෙවසටය. මව සහ පියා මේ ප්‍රතිඵලය පිළිබඳ සතුටු වන බව දන්නීය. මේ ඔවුනගේ දහඩිය කුසුම්ය.
නිරෝෂාගේ පියා කුඹුරු අස්වද්දමින් මුළු ජීවිත කාලය පුරාවටම උපයා ගත් ධනය අරපරිස්සමෙන් පරිහරණය කරන්නට පුරුදුව සිටියේය. ඒ අතර නිරෝෂාගේත්, රවිඳුගේත් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් කරන ලද්දේ විශාල කැපකිරීමකි. එකම අරමුණ වී ඇති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇයටත්, ඇගේ සොහොයුරාටත් ලබාදීමටය.
“ඉස්සරහටත් හොඳට ඉගෙන ගන්න මගේ දුව. ඉගෙනීමෙන් ඉහළම තැනට යන්න අපට බැරි වුණා. අපේ ජීවිතවල තියෙන අඩුව දුවගේත්, පුතාගේත් ජීවිතවලින් දකින්න අපි කැමැති නෑ… ඒකයි අම්මයි, මමයි ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්නේ… ”
තාත්තා පැවසුවේය. ඇගේ මව සහ පියා අතිශයින් සතුටට පත්ව සිටියහ.
නිරෝෂාගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ අයියාගේ පැමිණීමය. නිරෝෂා නිෙවස තුළ ඒ මේ අත කරකැවෙමින් ඈත දෙවැට දෙස නෙත් යොමා සිටියාය. එකම දිනයක නිරෝෂාට වඩා විනාඩි කිහිපයකට පෙරාතුව උපත ලද අයියා අධ්‍යාපනය ලැබුවේ නගරයේ පාසලකය. නිරෝෂා බාලිකා පාසලක අධ්‍යාපනය ලැබුවාය. නිරෝෂාට තම සහෝදරයාගේ ප්‍රතිඵල දැනගන්නා තුරු ඉස්පාසුවක් නොමැති විය. ඒ සමඟම ඇය සිටියේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි. අයියාගේ පැමිණීමත් සමඟම විහඟගේ පැමිණීමත් සිදුවන බව නිරෝෂා දැන සිටියාය. විහඟ, රවිඳුගේ හොඳම මිතුරා ය.
නිරෝෂාගේ හදවතට ළං වී සතුට, වේදනාව බෙදාගෙන ඇගේ හදවත දිනා ගත්තේ විහඟය. රවිඳුට එය රහසක් නොවන නමුත් ඒ පිළිබඳ තම සොයුරියගෙන්වත්, මිතුරාගෙන්වත් කිසිදු විටෙක ඔහු අසා නොමැත. ඒ කෙසේ වෙතත් නිරෝෂා තම සොයුරාගේ මෙන්ම විහඟගේ ද සමත් වීම එක සිතින් ප්‍රාර්ථනා කරමින් සිටියාය.
“අධ්‍යාපනය තමයි නිරෝ ජීවිතය ඉහළට ගෙනයන ශක්තිමත් හිනිපෙත්ත.
මං කවදාවත් ඔයාගේ අධ්‍යාපනයට බාධා කරන්නේ නෑ කියල හිතාගෙන තමයි ඔයාට ළං වුණේ. අපි දෙන්නම ඉගෙන ගනිමු. අපි දෙන්නටම එකට කැම්පස් යන්නත් ලැබේවි.” විහඟ සෑමවිටම පැවසුවේය.
“මට කැම්පස් යන්න තරම් රිසල්ට් මදි නිරෝ.”
විහඟගේ සතුටත් එක්ක තමාගේ සතුට බෙදාගන්නට සිටි ඇයට අසන්නට ලැබුණේ වේදනාබර කඳුළක කතාවකි.
“ඔයා…?”
නිරෝෂාට අදහා ගන්නට නොහැකි විය. අදහගන්නට නොහැකි වුවත් එය එලෙසින්ම සිදුවී තිබුණි. ඇයගේ අයියා ඉහළින්ම විභාගය සමත් වී තිබුණි.
නිරෝෂා කිසිවක් කතා නොකර නිශ්ශබ්දව සිටියාය. අයියා ද නිශ්ශබ්දය. අවසානයේ විහඟ කතා කළේය.
දැන් ඉතින් මම ජොබ් එකක් හොයාගන්න ඕෙන.
විහඟ ඔහුගේ අලුත් බලාපොරොත්තුව පිළිබඳ කතා කළේ එලෙසය.
“ඇයි විහඟ. . . . . . . එක්සෑම් එක ආයෙත් කරමු. මාත් ඔයාට උදවු කරන්නම්”.
නිරෝෂා පැවසුවේ විහඟගේ දියුණුව පිළිබඳ සිතමින්ය. විහඟ ඊළඟ වතාවේ විශ්වවිද්‍යාල වරම් ලැබීම නිරෝෂාගේ එකම ප්‍රාර්ථනය විය.
“වැඩක් නෑ . . . . ඉගෙන ගත්තා කියලා මොන ප්‍රයෝජනයක් ද?”
නිරෝෂාට අදාගන්නට නොහැකි වූයේ විහඟගේ ඒ වචනය. විහඟගේ ප්‍රතිපත්ති වෙනස් වූ ඉක්මන. මෙපමණ කාලයක් අධ්‍යාපනය ජීවිතයට ඇති එකම ආලෝකය බව නිරෝෂාටත් කියාදුන් විහඟ වෙනස් වී ඇත. ඒත් වේදනාවෙන් සිටින මොහොතක ඔහුගේ ඒ අදහස සමඟ තර්ක නොකරන්න යැයි නිරෝෂාගේ හදවත පැවසුවේය. ඒ නිසාම විහඟගේ අදහස් පිළිගත නොහැකි වුවද නිරෝෂා නිහඬ වූවාය.
“නිරෝ. . . දැන් ඔයා මොකද කරන්නේ?”
විහඟ එසේ ඇසුවේය.
අදහගන්නට නොහැකිව පුදුමයට පත්ව තිබුණු ඇයගේ සිත විහඟගේ ඒ ප්‍රශ්නයත් එක්කම අන්දමන්ද වූයේය.
“මොකද කරන්නේ? ඇයි විහඟ දන්නේ නැද්ද. . . මං කැම්පස් තේරෙනවා කියලා. දිස්ත්‍රික් රෑන්ක් එක 22. මාව උඩින්ම කැම්පස් තේරෙනවා කියලා කවුරුත් කියනවා. ඉතින් මං කැම්පස් යනවා.”
නිරෝෂා එසේ පැවසුවේ විහඟට නොවේ තමාගේ සිතටමය.
“නිරෝ… මං ඇහුව ප්‍රශ්නයට උත්තරයක් දෙන්න”.
විහඟ නැවතත් පැවසුවේය.
“විහඟ මං කැම්පස් යනවා.. අම්මාගෙ තාත්තගෙ කැමැත්ත ඒක… තාත්තාගෙත්, අම්මගෙත් දහඩිය මහන්සියට මං වටිනාකමක් දෙන්න ඕනෙ”
නිරෝෂා පැවසුවාය. නිරෝෂාගේ ඒ වචන සමඟම විහඟගේ මුහුණ පුරා කෝපයේ රේඛා සටහන් ඉවක් බවක් නොමැතිව දිවයනවා නිරෝෂා දුටුවාය.
“ඔයා කැම්පස් යනවා. . . මං කැමැති නෑ නිරෝ ඔයා කැම්පස් යනවට…”
විහඟ එසේ ප්‍රකාශ කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම නිරෝෂාගේ සිත අසරණ වූයේය.
“විහඟ… මෙච්චර කාලයක මගේ හිතේ තිබුණ බලාපොරොත්තුව. අම්මා තාත්තගේ කැමැත්ත. ඒ ඔක්කොම මං ඔයා නිසා නැති කරගන්න ඕෙනද?”
නිරෝෂා ඇසුවේ දැඩි වේදනාවකිනි. එහෙත් නිරෝෂාගේ වඵන ඉදිරියේ විහඟගේ සිත තව තවත් දරදඬු විය.
“මං දන්නවා ඔයා දැන් කැම්පස් යන්න පොරකන්නේ ඇයි කියලා. මට වඩා ඉගෙන ගත්ත කෙනෙක් ඔයාට හොයාගන්න. ඒක තමයි ඇත්ත නිරෝ.”
විහඟ ඒ වචන පැවසුවේ නිරෝෂාගේ සිත ද නපුරුකමට හුරු කරන්නා සේය.
හම්බ කරලා මට ඔයාව බලාගන්න බැරිකමක් නෑ, ඔයා ඉගෙනගත්තා කියලා ජොබ් එකක් කරන්නද?
නිරෝ. . . ඔයාට මගේ කැමැත්තට කැමැති වෙන්නම වෙනවා මගේ අදහස්වලට ළං වෙන්න බැරි කෙනෙකුට ළං වෙන්න මට බෑ.”
විහඟ පැවසුවේ අණකිරීමක ස්වරූපයෙනි. ඒ අණකිරීම් සර්වසාධාරණ නොවන බව ඊයේ රාත්‍රිය පුරා නිරෝෂා කල්පනා කළාය.
“අද හැන්දෑවට ගඟ ළඟට එන්න මට ඔයාව හමුවෙන්න ඕෙන.”
අද උදේ පාන්දර විහඟෙහෙන් ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණි.
ඊයේ සිට අද දවස පුරාවටම නිරෝෂාගේ සිත සිතුවිලි රාශියක් මැද අතරමංව තිබුණි. නිරෝෂා සැන්දෑ කාලයේ ගඟ අද්දර කුඹුක් සෙවණේ ගල්තලාවට ගියාය. තම නිෙවස අසලින් ගලන ගංගාව ඇගේ දෑස් ඉදිරියේ දැශ්‍යමාන වේ.
ජීවිතය ගලා යන ගංගාවක් වැනිය. ගල්පර, තැනිතලා ඔස්සේ ගංගාව ගලා බසින්නේ බාධක මැදය. සුනිල දිය දහරින් පිරුණ ගංගාව වරෙක සුදු සේලයක් මෙන් ගලා බසී. වරෙක උරගයකු මෙන් ඉදිරියට ගමන් කරන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ සෑම අවස්ථාවකම නොසෙල්වී ගඟ දිය ඉදිරියට ගෙන යන්නට ශක්තියක් වන්නේ ගං ඉවුරුය. ගඟ දිය ඉවුරු දෙපස හැපෙමින් ගලා යයි. ගං ඉවුරු ගඟ දියෙහි සැඩ පහර දරා සිටින්නේ නිහඬවමය. නිරෝෂාගේ ජීවන ගමන දුක්ඛ දොම්නස් සහ ප්‍රීති ප්‍රමෝදයත් සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන්නට පටන්ගෙන ඇත.
ජීවිතයට එන සෑම සිදුවීමක්ම ගලා යන ගඟ දිය දහර ඉවුර දෙක දරා සිටින ආකාරයටම හදවත සහ බුද්ධිය නම් ඉවුරු දෙක දරා සිටිනවා නොවේදැයි නිරෝෂාට පසක් විය. හදවතත් බුද්ධියත් එක සේ සමාන්තරව, ජීවිතයේ ගමන් කරවීමට නම් තමාද නිහඬව නොසැලී ජීවිතයට මුහුණ දිය යුතු බව අවසානයේ නිරෝෂාට සිතුණි.
“නිරෝ…”
විහඟ, නිරෝෂා ඉදිරියට පැමිණ ඇය දෙස බලා සිටියේය.
“නිරෝ ඔයා කැම්පස් යන්නේ නෑ නේද?”
විහඟ නැවතත් අද ඒ ප්‍රශ්නයම ඇසුවේය. ඒ වදන්වල තිබුණේ රළු බවක යැයි ඇයට දැනුණි.
“නෑ මං යනවා කැම්පස්. මගේ ජීවිතය දියුණු වෙනවට ඔයා අකැමැති වුණාට මගේ ජීවිතේ අඳුරු වෙනවට මං කැමැති නෑ.”
නිරෝෂා පැවසූයේ විභාගයේ දී ප්‍රශ්න උත්තරවලට පිළිතුරු ලිව්වාටත් වඩා වේගයෙනි. වේගයෙන් පිටවූ වචනවලට වංගුවලින් හැරෙන්නට හෝ එක් නිමේෂයක් නතර වන්නට හෝ ඇය ඉඩ නොදුන්නාය.
