දේපළක් ගොඩනඟා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. පුද්ගලයකු තමන්ටම කියා දේපළක් ගොඩනඟා ගන්නේ මහත් වූ කැපවීමෙ
න් හා පරිශ්‍රමයක් දරාය. මෙලෙස මහත් වෙර වීරයෙන් දිවා, රෑ නොබලා ඔබ ගොඩනඟා ගත් දේපළක් බලෙන් අයකු අත් කර ගැනීමට යන්නේ නම් එය මොනතරම් අසාධාරණ ක්‍රියාවලියක් ද යන්න විශේෂ කොට කිව යුතු කාරණාවක් නොවේ. මවුපිය උරුමයෙන් හෝ පරම්පරා උරුමයෙන් අප සන්තකව පවතින දේපළක් ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් වෙයි. සමහර අවස්ථාවල අපට අප සතු දේපළක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෙනත් කෙනෙකු විසින් භුක්ති විඳිය හැකිය. මෙවැනි අවස්ථාවකදී ගත යුතු නීතිමය පියවරක් ලෙස රේ වින්ඩිකාෂියෝ නඩුකරය පෙන්වා දිය හැකිය. ඔබත් ඔබේ දේපළ අවභාවිත වන තත්ත්වයක පසු වන්නේ නම් මෙම රේ වින්ඩිකාෂියෝ නඩුකරය පිළිබඳ දැන සිටීම ඉතා වැදගත් වන්නේය.
රේ වින්ඩිකාෂියෝ නඩුකරයක් යනු කුමක්ද?
රේ වින්ඩිකාෂියෝ නඩුකරයක් ලෙස සරලව හැඳින්විය හැක්කේ අයිතිවාසිකම් ප්‍රකාශ කර ගැනීමේ නඩුකරයක් ලෙසයි. මෙය රෝම ලන්දේසි නීති සංකල්පයේ එන නීතිමය තත්ත්වයකි.
නියම අයිතිකරුවකුට භුක්තිය නැවත ලබා ගැනීම, යම් අයකුට අයිති දේපළක් වෙනත් කෙනෙකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් භුක්ති විඳින විටදී එලෙස නීත්‍යනුකූල භාවයෙන් තොරව භුක්ති විඳින පාර්ශ්වයෙන් නියම අයිතිකරුට අයිතිය ලබා දීම මෙම නඩුකරයේ මූලික පරමාර්ථය වේ. උදාහරණයක් ලෙස ඔබ නාගරික ප්‍රදේශයක පදිංචිකරුවෙක් යැයි සිතන්න. නමුත් ඔබට ග්‍රාමීය ප්‍රදේශයක ඔබටම අයිතිය හිමි වෙනත් ඉඩමක් ද තිබේ. මෙම ග්‍රාමීය ප්‍රදේශය තුළ ඔබ සතු ඉඩමේ වෙනත් කෙනෙකු නීත්‍යනුකූල නොවන අන්දමින් වාසය කරන විට ඔබට රේ වින්ඩිකාෂියෝ නඩුකරයක් පැනවීම මඟින් ඔබට හිමි දේපළ අයිතිය තහවුරු කර ගනිමින් අදාළ පියවරයන් ගත හැකිය.
මෙම නඩුකරයකදී පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?
මෙම නඩුකරයේදී සැබෑ අයිතිකරු හෙවත් පැමිණිලිකාර පාර්ශ්වය තමා සතු දේපළවල පරම අයිතිය ඔප්පු කළ යුතුය. දේපළ හරි ආකාරව හඳුන ගැනීම මෙහිදී වැදගත් වෙයි. එමෙන්ම පදිංචිව සිටින්නා නීත්‍යනුකූල නොවන අන්දමින් පදිංචිව සිටින බව ද එහිදී ඔප්පු කළ යුතුය. පරම අයිතිය ඔප්පු කිරීමේදී ඔප්පුවක් තිබීම, ප්‍රකාශන ඔප්පුවක් හෝ නියම ඔප්පුවක් තිබීම වැදගත් වෙයි.
ඔබ සතුව මෙම දේපළවල පරම අයිතිය ඇත්නම්, ඔබ සතු පරම අයිතිය ඇති ඉඩමේ වෙනත් කෙනෙකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බලහත්කාරයෙන් වාසය කරන්නේ නම් ඔබට එම ඉඩම පිහිටි ප්‍රදේශයේ දිස්ත්‍රික් උසාවියේ හෝ ඔබ වෙනත් ප්‍රදේශයක ජීවත් වන්නේ නම් එම ප්‍රදේශයේ දිස්ත්‍රික් උසාවියේ මෙම රේ වින්ඩිකාෂියෝ නඩුකරයක් ගොනු කළ හැකිය.
මෙවැනි නඩුවකදී දේපළේ අයිතියට අමතරව, අහිමි වූ ලාභය සඳහා වන්දි ලබා ගැනීමට නීතියෙන් ඉඩක් තිබේද?
යම් හෙයකින් ඔබේ ඉඩමට හානියක් සිදු කර ඇති නම් ඔබට එය සම්බන්ධව වෙනත් නඩුවක් ගොනු කරමින් වන්දි මුදලක් හෝ අලාභ ගාස්තුවක් ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබේ ඉඩම හෝ දේපළවලට හානියක් සිදුව ඇත්නම් නැවත වෙනත් නඩුකරයක් ගොනු කරමින් තමාට අසාධාරණයක් සිදු වී ඇති බව ඉදිරිපත් කරමින් වන්දි මුදල් සම්බන්ධයෙන් ඉල්ලුම් කළ හැකිය.
සිරිමාවෝට එදිරිව මොහිදින් නඩුකරයේදී රේ වින්ඩිකාෂියෝ නඩුවකදී දේපළවල නියම අයිතිය හඳුනා ගැනීම ඉතාම අවශ්‍ය බව දක්වයි. නියම අයිතිය තිබුණත් ඉඩම නියමාකාරව හඳුන ගැනීම ද වැදගත් බව දක්වයි.
මෙම නඩුකරයක් ගොනු කිරීමට නීතිඥවරයකු වෙත යාමට පෙර සූදානම් කරගත යුතු ලිපිගොනු මොනවාද?
මෙම නඩුවක් ගොනු කිරීමේදී අනිවාර්යයෙන් ඉඩමේ හෝ දේපළේ ඔප්පු හෝ ප්‍රකාශන ඔප්පු තිබීම වැදගත් වේ. එමෙන්ම ඉඩම හඳුනාගෙන තිබීම ද වැදගත් වේ. මෙම නඩුවක් ගොනු කිරීමට ප්‍රථම තමා සතුව ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමට හැකි දෝෂ රහිත ඔප්පු තිබෙනවාද යන්න පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙයි. ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමේදී පත්තිරුවක් ඇත්නම් එය ද සහායක සාක්ෂියක් ලෙස භාවිත කළ හැකිය. එමෙන්ම කේවියට් ලියවිල්ලක් ඇත්නම් එය ද මෙම නඩුකරයකදී ඉතා වැදගත් වෙයි.
මෙවැනි නඩුකරයක් අවසානයේ අධිකරණයෙන් බලාපොරොත්තු විය හැකි සහනය කුමක්ද?
රේ වින්ඩිකාෂියෝ නඩුකරයක් ගොනු කිරීමෙන් පසුව නිවැරදි අයිතිය පැමිණිලිකරු වෙත ඔප්පු වූ විට බලහත්කාරයෙන් පදිංචිව සිටින්නා වෙත අදාළ ඉඩමෙන් ඉවත්ව යාමට නියෝගයක් ලබා දීම සිදු වේ. එමෙන්ම දේපළ හානියක් සිදුවී ඇත්නම් වෙනත් නඩුවක් ගොනු කිරීමෙන් ඒ හා සම්බන්ධ කරුණු සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් වන්දි මුදලක් ද ලබාගත හැකිය.
TEXT – ජිවන්ත ගුණවර්ධන
