පසුගියදා දිනයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ ඛේදවාචකය අප සැමගේම හදවත් කම්පා කළා. මවුපියන් රැකියාවට ගිය අතරතුර,
එහි තිබුණු අඩි එකහමාරක් පමණ ගැඹුරු අනාරක්ෂිත පොකුණකට වැටී අවුරුදු එකහමාරක් වයසැති පුංචි එයෝන් සදහටම දෑස් පියාගත්තා.
සීසීටීවී දර්ශනවල සටහන් වී තිබුණේ මේ පුංචි දරුවා තමන්ගේ අතින් විසිවුණු යමක් ගන්නට පොකුණට බහින ආකාරයයි. දරුවා ජලයේ අපහසුවෙන් ගැටෙමින් “අම්මේ…” කියා කෑගසන බවත්, පොකුණේ බිත්තියේ එල්ලී සිටින්නට උත්සාහ කරන බවත් ඒ දර්ශනවලින් පෙනෙන්නට තිබුණා. නමුත් අවාසනාවකට, ඒ කෑගැසීම හෝ ජලයේ දඟලන ශබ්දය එතැන සිටි පාලිකාවගේ අවධානයට ලක්වී තිබුණේ නැහැ.
දරුවෙක් වතුරට වැටුණු විට උදවු ඉල්ලා කෑගැසුවත්, එය අපේ අවධානයට ලක් නොවුවහොත් තත්පර 20ත් 60ත් අතර වැනි ඉතා කුඩා වෙලාවකින් ඒ දරුවා සදහටම ජලයේ ගිලී යා හැකියි.
🔴 අනතුර තියෙන්නේ පූල් එකේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ හෝ වැවේ විතර ද? නැහැ. දරුවෙක්ගේ ජීවිතයක් නැති කරන්න අඩි ගණනක් ගැඹුරු ජලාශයක් ඕනෙම නෑ. “අඟල් 2ක වතුරක්…” වුණත් ඒ සඳහා ප්‍රමාණවත්.
ඔබේ ගෙදර නාන කාමරේ තියෙන වතුර බාල්දිය… ඔබ දරුවාව නාවන නාන තටාකය (Baby Bathtub) වුණත් මාරාන්තික වෙන්න පුළුවන්. බොහෝ අනතුරු සිදුවන්නේ කුඩා දරුවන් නිෙවසේ ඇති මෙවැනි ජලය පිරවූ බඳුන් අසල තනිවීමෙනි.
හිතන්න… ඔබ දරුවාව බාත් ටබ් එකේ / නාන බේසමේ ඉන්දවලා, “විනාඩියකට” එහාට හැරිලා තුවාය ගේන්න යනවා. නැත්නම් දුරකතනයට ආපු ඇමතුමක් බලනවා. ඒ විනාඩිය ඇතුළත, දරුවා ලිස්සලා මූණ වතුරට වැටෙන්න පුළුවන්. පුංචි දරුවන්ට ශරීරයට සාපේක්ෂව බර වැඩි හිසක් ඇති නිසාත්, අනතුරක් ගැන අවබෝධයක් නැති නිසාත් ඔවුන්ට තනිවම යළි ඔළුව උස්සගන්න බැරි වෙන්න පුළුවන්.
මේකෙන් බේරෙන්න තියෙන එකම විසඳුම තමයි “නොනවතින අවධානය” (Constant Supervision). වෛද්‍යවරු මේකට කියන්නේ “Touch Supervision” එහෙමත් නැත්නම් “අතේ දුරින්” ඉන්න එක කියලයි.
ඒ කියන්නේ, ඔබේ දරුවා වතුර ළඟ (පූල් එක, බාල්දිය, බාත් ටබ් එක) ඉන්නවා නම්, ඔබ කොච්චර ළඟින් ඉන්න ඕනෙ ද කියනවා නම්, ඔබට අත දික් කරපු ගමන් දරුවාව අල්ලා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
👉 ෆෝන් එක පැත්තකින් තියන්න. ඒ පණිවිඩය, ඒ කෝල් එක, දරුවා වතුරෙන් එළියට ගත්තට පස්සෙත් බලන්න පුළුවන්.
👉 වෙන අයත් එක්ක කතා කරන එක නවත්වන්න.
👉 “මම ළමයා දිහා බලාගෙන ඉන්නේ” කියලා හිතුවට, ඔබේ අවධානය 100%ක්ම එතැන නෑ. දරුවාව තනියම තියලා යන්න එපා.
👉 විනාඩියකට ගිහින් දොර අරින්න, තුවාය අරන් එන්න යන්න එපා. ඒක කරනවා නම්, දරුවාවත් වතුරෙන් එළියට අරන්, තුවායේ ඔතාගෙන එක්කන් යන්න.
කුඩා දරුවන්ගේ වගකීම, වෙනත් කුඩා දරුවකුට හෝ වැඩිමහල් සහෝදරයකුට පවරන්න එපා.
අහිංසක පුංචි එයෝන්ගේ පවුලේ අයට සිදුවූ මේ විපත අපේ දරුවන්ට වෙන්න කලින් අපි අවදි වෙමු. විනාඩියක අපේ නොසැලකිල්ල, ජීවිත කාලය පුරාවටම විඳවන්නට සිදුවන ඛේදවාචකයකට පාර කපන්නට පුළුවන්. ඒක කවදාවත් අමතක කරන්න එපා.
